728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

තවම මට දැනෙන කෙනෙක් හමුවෙලා නැහැ

 


මේ දිනවල තිරගත වන චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව “යුගාත්‍රා“ චිත්‍රපටයේ එරන්දි සහ අමායාගේ චරිත නිරූපණය කරන්නේ අසංකි ද සිල්වා. ඔබට මතක නම් අසංකි සිනමා ප්‍රවේශය ලැබුවේ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ රෂ් චිත්‍රපටය හරහා. මේ දිනවල තිරගත වෙන්නේ අසංකි රංගනයෙන් දායක වන දෙවන සිනමා නිර්මාණයයි. 

යුගාත්‍රා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරවලින්ම අපි කතාවට මුල පිරුවා.

යුගාත්‍රා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මේ මම රංගනයෙන් දායක වුණු දෙවන සිනමාපටය. බලන හැමෝගෙන්ම වගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ එක්කම මංගල දැක්මට සහභාගී වුණු ‌ෙජ්‍යෂ්ඨ කලාකරුවන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන නම් නිහතමානී සතුටක් තියෙනවා.

චන්න අයියා තමයි මට මේ නිර්මාණයට කතා කළේ. මම පිටපත කියවලා බැලුවා. එතකොට තේරුම් ගියා ලස්සන ආදර කතාවක් කියන එක. අයියාගේ නිර්මාණ හොඳ බව මම කොහොමත් දැනගෙන හිටියා. ඒ විශ්වාසයත් ඇතුව බොහොම කැමැත්තෙන් මේ නිර්මාණයට මගේ රංගන දායකත්වය ලබා දුන්නා.

මට මේ චිත්‍රපටය තුළ තිබුණේ එරන්දි සහ අමායාගේ චරිත නිරූපණය කරන්න. ඒ චරිත දෙක කොහොමද චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කියන එක මේ වෙද්දීත් චිත්‍රපටය බලපු අය දන්නවා ඇති. ආත්ම දෙකක කතාවක්. එරන්දි කියන චරිතය මට නිරූපණය කරන්න ලැබුණේ ඉතා පොඩි ප්‍රමාණයක්. ඒ වුණාට ඒ චරිතය මේ චිත්‍රපටය තුළ සුවිශේෂ සහ රංගන ශිල්පිනියක් විදියට අභියෝගාත්මක චරිතයක්.

ඒ චරිතය යම් විදියකට සංකීර්ණ චරිතයක්. එරන්දිගේ චරිතය එක තැනකදී විරූපී චරිතයක් වෙනවා. ඒ කොටස ස්ක්‍රීන් එකෙන් බලද්දී සාමාන්‍ය විදියට පෙනුණට ඇත්තටම රූපගත කරද්දී අමාරු වුණා. ඒ චරිතය කරලා නැවත මම අමායා විදියට ලොකේෂන් එකට එනවා. ඒ දේවල් සරල වුණේ නැහැ. නමුත් මම ඒ චරිත දෙකම බොහොම ආසාවෙන් කළා. අමායා කියන චරිතයටත් මම කැමැතියි. එරන්දි තුළ මට පොඩි කොටසක් කරන්න තිබුණත් ඒ තුළ මට රංගනය තුළින් කරන්න දෙයක් තිබ්බා. ඒ නිසා එරන්දි කියන චරිතය මට අමතක වෙන්නෙම නැහැ.

යුගාත්‍රා චිත්‍රපටයේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ද රංගනයෙන් දායක වෙන නිසා ඒ අය සමඟ වැඩ කිරීම තුළින් ලැබුණු අත්දැකීම් ගැනත් අසංකි කියන්න අමතක කළේ නැහැ.

“අපි රූගත කළේ නුවර ප්‍රදේශයේ. යුගාත්‍රා චිත්‍රපටයේ චන්න අයියා, මාෂි, සනත් ගුණතිලක, නදීකා ගුණසේකර සහ ලක්ෂ්මන් මෙන්ඩිස් ඇතුළු පිරිස රඟපෑවේ. රූපගත කිරීම් කළ කාලය හරිම සුන්දරයි. අපි එක්ක වැඩ කළ හැම කෙනෙක්ම හරිම සුහදව වැඩ කළා. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් වුණත් සනත් අයියා නදීකා අක්කා සහ ලක්ෂ්මන් අයියා අපි එක්ක බොහොම හොඳින් අපේ රංගන ජීවිතේට අවශ්‍ය කරන ගුරුහරුකම් ලබා දෙමින් වැඩ කළා. ඒ නිසා අපි හැමෝම හරි එකමුතුවෙන් සහ ආදරෙන් මේ නිර්මාණය කළා.

විශේෂයෙන්ම චන්න පෙරේරා කියන අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කිරීම හරිම පහසුයි. ඔහු දන්නවා කිසිම කලබලයකින් තොරව තමන්ට අවශ්‍ය කරන චරිතය ගොඩනඟා ගන්න. අපිට අපේ විදියට රඟපාන්න නිදහස දෙනවා. ඒ දේවල් වලදී එයාට වෙනස් කර ගන්න ඕනේ දේවල් කියලා හදාගන්නවා. ඒ නිසා රූපගත කිරීම් කළ කාලය බොහොම සතුටින් අපි ගත කළා.“

යුගාත්‍රාවලින් පස්සේ අසංකිව අපිට නැවත රිදී තිරයෙන් දැකගන්න ලැබෙන්නේ ජිගලෝ චිත්‍රපටයෙන් කියලයි අපිට කිව්වේ. ඒ නිසාම මම ඇහුවා අසංකි සිනමාවට පමණක් සීමා වෙලාද? පුංචි තිරයට එන්න අදහසක් නැද්ද කිලා ඇහුවම නම් කිව්වේ “එහෙම සීමාවීමක් නම් නැහැ. පුංචි තිරයේ වුණත් හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්න ඉඩ තියෙනවා.“ කියලයි. අපි බලමු ඉදිරියේදී පුංචි තිරයෙන් දකින්න ලැබේවිද කියලා.

කොහොම නමුත් රෂ් සහ යුගාත්‍රා හි අසංකි ආදරවන්තියක් නිසාම සැබෑ ජීවිතේ ආදරවන්තියක් ද ඇහුවම නම් කිව්වේ සැබෑ ජීවිතේ ආදරවන්තියක් නෙවෙයි කියලා. ඒ නිසාම ඇහුවා ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන්ම යෝජනාවක් ආවොත් භාර ගන්නවද කියලත්

“ඒක ඇත්තටම ක්ෂේත්‍රයේ කෙනෙක් ද බාහිර ක්ෂේත්‍රයක කෙනෙක් ද කියන එකට වඩා හිතට දැනෙන පුද්ගලයෙක් වීම තමයි මූලික වෙන්නේ. ඒ නිසා ඒ කෙනා මොන ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද කියන එක තවම මමවත් දන්නේ නැහැ. විවිධ අයගෙන් යෝජනා එනවා. නමුත් තවම මට දැනෙන කෙනෙක් හමුවෙලා නැහැ. මම හොයන කෙනා ඒ අය තුළින් දැක්කේ නැහැ. එහෙම කියන්නේ මම දේවල් ලොකුවට හොයන්නේ නැහැ. හැබැයි අපිට දැනෙනවානේ මේ කෙනා තමයි කෙනා කියලා. එහෙම දැනුණේ නැහැ තවම කිසි කෙනෙක්ව. ඒ කෙනාව හම්බෙනකම් ඉවසීමෙන් බලන් ඉන්නවා.“

ඕනෙම ජීවිතේක අනාගත බලාපොරොත්තු තියෙනවනේ, අසංකි බලාපොරොත්තු වෙන්නේ නම් දිගටම සිනමා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ගමන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක.

මේ කතාබහට සමුදෙන්න කලින් යුගාත්‍රා චිත්‍රපටය තවමත් නැරඹුවේ නැති ප්‍රේක්ෂකයින්ට යුගාත්‍රා චිත්‍රපටය නරඹන්නත් අසංකි ඇරියුම් කළා.

“මට ආදරේ කරන සහ සිනමාවට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයින්ට මට කියන්න තියෙන්නේ යුගාත්‍රා කියන්නේ වෙනස් විදියේ ලස්සන ආදර කතාවක්. ඒ එක්කම කුතුහලයත් එක්කයි මේ ආදර කතාව දිගහැරෙන්නේ. පවුලේ ඕනෙම කෙනෙක්ට බලන්න පුළුවන් ලස්සන ගීත තියෙන ලස්සන සිනමා පටයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම චිත්‍රපටය බලන්න කියන ඇරියුම මම මේ මොහොතේ කරනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තවම මට දැනෙන කෙනෙක් හමුවෙලා නැහැ Rating: 5 Reviewed By: webgossip24.com