728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 12, 2023

රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි - සති අග නිවාඩු නෑ සේවා මුරය පැය 12ක්


 කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් ම අහෝසි කර පැය 12ක සේවා මුරයක් ගෙනෙන්නට වර්තමාන රජයේ සූදානමක් තිබෙන බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් චෝදනා කළේ ය.

අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගන්නට කර්මාන්ත හිමියන්ට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වහා නතර කළ යුතු බව ද හෙතෙම කීය.

ලෝකයේ වෙනත් රටවල් පැය 8ක සේවා මුරය පැය 6ක් දක්වා අඩු කිරීමේ ප්‍රවණතාවක නියැළී සිටින මොහොතක මෙලෙස ලංකාව සේවකයන් පිට අධික බරක් පැටවීම අසාධාරණ බව ත් මේ හේතුවෙන් කම්කරුවන් දිනාගත් අයිතීන් උල්ලංඝණය වන බව ත් ඔහු පැවසීය.

රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විවිධ ප්‍රචාරයන් සිදු කරමින් වසර ගණනාවක් පුරා වෘත්තීය සමිති දිනාගත් ආරක්ෂණ නීති සියල්ල ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කළේ ය.

සතියකට දවස් 4ක් වැඩ කළ යුතු වන අතර දවස් 3ක් නිවාඩු ලබා දී එම නිවාඩු දිනයන් වැටුප් රහිත ඒවා බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ත්, එසේ ම, සාමාන්‍ය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දින නිවාඩුව ඉවත් කර සතියේ කුමන හෝ දවසක එම නිවාඩුව ලබා දෙන්නට අවස්ථාව සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

කම්කරු වෘත්තීය සමිති සංවිධාන සියල්ල මේ සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන බව ත් මෙවැනි යෝජනා මුල් අවධියේම පරාජය කිරීමට අවශ්‍ය පියවර සියලු දෙනා එකමුතුව ගත යුතු බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

සියලු ම රාජ්‍ය සේවකයන් සඳුදා (මැයි 15) සිට සේවයට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය කර ඇති බව රාජ්‍ය පරිපාලන ලේකම්, රංජිත් අශෝක පැවසීය.

මීට අදාළ වන චක්‍රලේඛය නිකුත් කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, 2021.10.01 දිනැති 02/2021 (ම) හි 07 ඡේදයේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක කෙරෙන බව අදාළ චක්‍රලේඛයෙහි සඳහන් වෙයි.

එම චක්‍රලේඛයේ විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් වගබලා ගත යුතු බව ද එහි දක්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය යොමු කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රාජ්‍ය සේවයේ ඇඟිලි සලකුණු සඳුදා සිට අනිවාර්යයි - සති අග නිවාඩු නෑ සේවා මුරය පැය 12ක් Rating: 5 Reviewed By: webgossip24.com