728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 14, 2023

මම ලිංගික බලපෑම්වලට යටත් වුණ කෙනෙක් නෙමෙයි


 
ඇය නමින් මරියොන් වෙත්තසිංහ. පසුගිය කාලයේ අපට ඇයව මුණගැසුණේ හිතුමතේ ජීවිතේ සහ විජයබා කොල්ලය සිනමාපට තුළිනි. මේ දිනවල තිරගත වන දඩයම චිත්‍රපටයේ කීර්ති ගජනායකගේ දියණිය වන දේදුගේ චරිතයට ද පණපොවයි. ප්‍රංශයේ ජීවත්වන මරියොන් පසුගියදා ලංකාවට ආවේ දඩයම චිත්‍රපටයේ මංගල දර්ශනයට. ඉතිං මරියොන්ට අපි මේ ඉඩකඩ වෙන්කරන්න තීරණය කළා.

 මරියොන් කොච්චර කාලෙකින්ද ලංකාවට ආවේ.

මම මේපාර ලංකාවට ආවේ අවුරුදු හතරකට පස්සේ. 2018 වසරේ තමයි අන්තිමටම ලංකාවට ආවේ.

● මෙවර ලංකාවට එන්න විශේෂ හේතුවක් තිබුණා ද?

ඔව්. අනිවාර්යයෙන්ම මේපාර ලංකාවට ආවේ වෛද්‍ය නියොමාල් පෙරේරා සහ වෛද්‍ය නිශානි විශේෂයෙන් ආරාධනා කළා දඩඉම චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න කියලා. මේපාර විශේෂයෙන්ම මම ලංකාවට ආවේ එහි මංගල දර්ශනයට.

 මහේන්ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්කූල් එකේ ඉන්නකොට තමයි ඔබට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ?

මාව මුලින්ම දඩඉම චිත්‍රපටයට යෝජනා කළේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. මොකද ඔහුව එතකොට චිත්‍රපටයේ චරිතයකට තෝරාගෙනයි තිබුණේ. ඒ වෙලාවේ ඒගොල්ලො හොය හොය හිටියා” දේදුගේ චරිතය කරන්න ගැහැනු ළමයෙක්. අන්තිමේ මහේන්ද්‍ර සර් මාව යෝජනා කළා. ඊට පස්සෙ වෛද්‍ය නියොමාල්” වෛද්‍ය නිශානි සහ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ක්ලාස් එකට ඇවිල්ලා මාත් එක්ක කතාබහ කරල තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ.

● ස්වර්ණා” ජැක්සන් සහ මහේන්ද්‍ර වැනි දැවැන්තයන් සමග වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ ඉන්න දැවැන්තයන් සමග වැඩකරන පළමුවැනි අවස්ථාව මේක නෙමෙයි. නමුත් මට කවදාවත් රංගනයේදී බයක් දැනිලා නැහැ. දැවැන්තයන් සමග වැඩකරනකොට මට හැඟෙන දේ තමයි ඒක මගේ ජීවිතයට ලැබෙන ලොකු අවස්ථාවක් කියලා. ඒ වගේම මම හරි භාග්‍යවන්තයි මේ වගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක රඟපාන්න ලැබීම.

මම ලිංගික බලපෑම්වලට යටත් වුණ කෙනෙක් නෙමෙයි

● ඇයි මේ හදිසියේම ලංකාව දාල ගියේ?

හදිසියේම දාල ගියේ නැහැ. මම කොහොමත් ප්‍රංශයේ තමයි ඉපදුනේ. මම මගේ මුළු ජීවිත කාලයම ප්‍රංශයේ තමයි ගතකළේ. 2018 වසරේ තමයි මට චිත්‍රපටයකට රංගනයෙන් දායකවෙන්න ලැබුණේ. ඒකට මම ආවා. ඊට පස්සෙ ටික කාලයක් ඉන්නවා කියලා තමයි හිතුවේ. අන්තිමේ මට විජයබා කොල්ලය” දඩඉම චිත්‍රපටවලට දායක වෙන්න ලැබුණා. අවුරුද්දකින් පස්සේ තමයි ලංකාවෙන් ගියේ.

 රංගනයට එද්දී කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවාද?

ඔව්. ඒවාට අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි මොන කැපිලි කෙටිලි තිබුණත් අපේ ජීවිතයට හිමි දේවල් අපිට ලැබේවි කියලා. මම විශ්වාස කරන තවත් දෙයක් තමයි යම් අධ්‍යක්‍ෂවරයකුට හෝ අධ්‍යක්‍ෂවරියකට මාව අවශ්‍ය නම් ඒ තීරණය ගන්නේ ඔහු හෝ ඇයයි කියලත්.

මම ලිංගික බලපෑම්වලට යටත් වුණ කෙනෙක් නෙමෙයි

● දිගටම ලංකාවේ ඉන්නවාද?

අනිවාර්යයෙන්ම රඟපාන්න නම් දිගටම බලාපොරොත්තුවක් තිබෙනවා. දිගටම ලංකාවෙ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ ප්‍රංශයේ රංගන ශිල්පිණියක් වෙලා අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තුව. නමුත් මම කවදාවත් ලංකාව අමතක කරන්නේ නැහැ. මොකද මට මුලින්ම රංගනයට දොරක් ඇරුණේ ශ්‍රී ලංකාවෙන්. ලංකාවේ හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. දිගටම ජීවත් වෙන්න අදහසක් තවම නැහැ.

● ආපහු කවදාද ලංකාවෙන් යන්නේ?

තව ටික දවසකින් යන්න තමයි හිතාගෙන ඉන්නේ.

● නවක නිළියක් විදිහට අධ්‍යක්‍ෂවරුන්ගේ අයුතු බලපෑම්වලට ලක්වෙලා තිබෙනවාද?

මට ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ නෑ. වෙන ප්‍රශ්නවලට තමයි මම මුහුණ දුන්නේ. අලුත් කෙනෙක් හින්දා අපි ගොඩක් වෙලාවට හිතනවා අපිට නිර්මාණවලට ආරාධනා නැතිවේවි කියලා. සත්‍ය කතා කළොත් අපිව නිර්මාණවලට ගන්නේ නැතිවෙයි කියල. චිත්‍රපටයක් කරනවා කියන්නේ ටීම් වර්ක් එකක්. එතැනදී නවකද” පරණද කියලා අදාළ වෙන්නේ නැහැ. මොකද චරිතයට සුදුසු කෙනාවනේ තෝරන්නේ. මම කවදාවත් ලිංගික බලපෑම්වලට යටත්වෙලා නැහැ. නමුත් මම අණකිරීම්වලට මුහුණදීලා තිබෙනවා. ඒවාටත් මම යටත්වෙලා නහැ.

● දේදුගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් කට්ටිය කිව්වා හරි ආසාවෙන් බැලුවා කියලත්. ඒ වගේම මගේ රංගනය රසවින්දා කියලත් කිව්වා.

● ටෙලි නාට්‍යවල රඟපාන්න අදහසක් නැද්ද?

මම මේ ගමන ආරම්භ කළේ සිනමාවෙන්. ඉතිං මම කැමති සිනමා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. මම මෙගා ටෙලි නාට්‍යවල නම් රඟපාන්න කොහොමත් කැමති නැහැ. හොඳ ටෙලි නාට්‍යයකට මට තවම හරිහමන් ඔෆර් එකක් ආවේ නැහැ. හොඳ අධ්‍යක්‍ෂවරයකු යටතේ හොඳ නළු නිළියන් පිරිසක් යටතේ වැඩ කරන්න ආරාධනාවක් ලැබුණොත් මම භාර ගනීවි.

● ක්‍ෂේත්‍රයේ නළුවන්ගෙන් ආදර යෝජනා එහෙම ඇවිත් තියෙනවාද?

නැහැ. ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා නැහැ. නමුත් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඒක හරි ස්වාභාවික දෙයක්නේ. මොකද අපි මේ ක්‍ෂේත්‍රයේ එකට වැඩ කරන්නේ. එකට වැඩ කළාට අපිත් මනුස්සයෝ. හැඟීම් දැනීම් කියන දේවල් එන්න පුළුවන්. මට තවම එහෙම ආවේ නැහැ. ආවත් ඒකෙ මම කිසි වැරැද්දක් දකින්නේ නැහැ. ඒ කෙනා අනුව කොහොම උත්තරයක් දෙයි ද කියන්නවත් මම දන්නේ නැහැ. අනික ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ.

● එතකොට මරියොන්ට පෙම්වතෙක් නැතිද?

නැහැ. මට පෙම්වතෙක් නැහැ. මම ඇත්තටම ඒ මාතෘකාව ගැන කතා කරන්න කැමති නැත්තේ” වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි” මොකද මගේ ප්‍රේක්‍ෂකයන්ට මගේ කලා ජීවිතය ඊටත් වඩා වැදගත් වෙනවා කියලා.

● මෙවර ලංකාවට ආවට පස්සෙ රඟපෑමට අලුත් ආරාධනා ලැබුණද?

දඩඉම චිත්‍රපටයෙන් පසුව දැනට එවැනි ආරාධනා ලැබුණේ නැහැ. දඩඉම චිත්‍රපටය තිරගත වෙලත් දවස් කිහිපයයි නේ. ඉතිං මම විශ්වාස කරනවා අනාගතයේදී මාව ඕනෑ අධ්‍යක්‍ෂවරයෙක් හිටියොත් මාව හොයාගෙන ඒවි කියලා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම ලිංගික බලපෑම්වලට යටත් වුණ කෙනෙක් නෙමෙයි Rating: 5 Reviewed By: webgossip24.com