728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

ප්‍රශ්න ඇති කරල මගේ ගමන නතර කරන්න බැහැ


 
පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ මේ දවස්වල අපිට නිතරම අහන්න දකින්න ලැබෙන නමක්. 2021 වර්ෂයේ ලාංකික විවාහක රූ රැජන තරගාවලියේදී මෙන්ම 2022 වසරේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේදීත් ඇය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත් වුණා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළත් ඇය අතිශයින් ජනප්‍රිය චරිතයක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේම තවත් කාන්තාවක් සමග පුෂ්පිකා ද සිල්වා මත ගැටුමක් ඇති ඇතිකරගෙන කියලත් මේ වෙද්දී බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් මේ කාරණා පිළිබඳව පුෂ්පිකා ද සිල්වා ‘පිනිපලසට’ කිව්වේ මේ වගේ කතාවක්‘‘.


පුෂ්පිකා ද සිල්වා කියන නම දැන් උණුසුම් පුවත් මවන මාතෘකාවක් වෙලා නේද?


පුෂ්පිකා ද සිල්වා කියන්නේ රටක් ලෝකයක් දන්න චරිතයක්. මම මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒත් හැම තිස්සෙම මට ඇති වෙන ප්‍රශ්න නිසා සමාජයේ නිතරම මම කතාබහට ලක්වන චරිතයක් වෙලා.


ජනප්‍රියත්වය, ධනය, බලය, තරුණකම මේ හැම දෙයක්ම තාවකාලිකයි. බලන්න පහුගිය කාලේ මේ රටේ තාරකාවෝ කී දෙනෙක් බිහි වුණාද? නමුත් එතනින් කීයෙන් කී දෙනාද මිනිස්සුන්ට මතක? හැම දවසකම මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන චරිතයක් වෙන එක පහසු නැහැ. කොහොම වුණත් ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඒ නිසා තමයි මම ගැනම සමහරු මේ තරම් හොයන්නේ.


ඈත පොළොන්නරුවේ ඉඳලා ජීවිතේ ඉලක්ක හොයාගෙන ඇවිල්ලා 2010-2011 වසරවල දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් නිර්මාණය වුණු මම ඒ දුෂ්කර ගමන ගැන අද ගොඩක් සතුටු වෙනවා. මේ වෙද්දී හතර වතාවක් මගේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගියපු, රට වෙනුවෙන් පුළුවන් මට්ටමින් ජයග්‍රහණ ලබාගත් කෙනෙක්.


කිසිම දෙයක් නොකර ඉන්න මනුස්සයෙකුට වඩා මොකක් හරි යහපත් සේවයක් කරන කෙනෙකුට කොහොමත් නොහිතන චෝදනා එල්ල වෙනවා. මමත් කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැතිව මගේ පෞද්ගලික දේවල් විතරක් කරගෙන හිටියා නම් කාටවත් මම විශේෂ මාතෘකාවක් වෙන එකක් නෑ.

නිරූපණ ක්ෂේත්‍රය නියෝජනය කරන තවත් කාන්තාවක් සමග සිදුවූ මත ගැටුම මොකක්ද?


ප්‍රශ්න කියන දේවල් ඉතින් ඉතිං නැත්තේ කාටද? ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නැහැනෙ. පහුගිය කාලේ මට දිගින් දිගටම සිද්ධ වුණු ප්‍රශ්න නිසා මම ක්ෂේත්‍රයේ ගොඩක් අයව ඇසුරු කරන එක පවා නතර කරලා හුදෙකලා ජීවිතයක් තමයි ගත කරන්නේ. සමහර අයගේ නම්බර්ස් පවා බ්ලොක් කරලයි මම ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ඒ අයත් ගිහිල්ලා ඔය මට විරුද්ධව කතා කරන පාර්ශ්වයට එකතුවෙලා, බළලුන් ලවා කොස් ඇට බාවා ගන්නවා වගේ, අර පාර්ශ්වය ඉත්තෙක් කරගෙන එයාලගේ පෞද්ගලික ඇරියස් කවර් කරන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සමහර ප්‍රශ්න හදිසි වෙලා විසඳන්න බැහැ.


විවිධ පිරිස් මේ විදිහට ඔබව අපහසුතාවට පත් කරන්නේ කාගේ හරි වුවමනාවකට කියලද ඔබ කියන්නේ?


විවාහක රූ රැජන කිරුළ ගලවා ගැනීමේ සිදුවීමෙන් පස්සේ මගේ ඉදිරි ගමන ගැන එක්තරා පාර්ශ්වයකට බය හිතිලා මගේ ගමන නවත්තන්න මට ගොඩක් ප්‍රශ්න ඇති කළා. මම නොගියපු සාදවලට සහභාගි වුණා කියල මම නොගියපු අවස්ථාවලට ගියා කියලා මට අපහාස කරන්න උත්සාහ කළා. ඒ පාර්ශවය තමයි විවිධ පුද්ගලයන් ඉත්තන් බවට පත් කරගෙන මට ප්‍රශ්න ඇති කරන්නේ. දිගින් දිගටම මේ වගේ සිදුවීම් සිද්ධ වෙනකොට මේක පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා මම හොයා ගත්තා. මේ ළඟදී මට මූණට මුණ ගැහිලා, මට මුහුණ දෙන්න ශක්තියක් නැතුව ඒ කෙනා පැනලා දිව්වා.

මෙතන ලොකුම ප්‍රශ්නය කාන්තාවක් තමයි තවත් කාන්තාවකට ගරහන්නේ. මේ වෙනකොට එයාට තනතුරු බලතල කිසිවක් නැති නිසා ගෙදරට වෙලා ඉන්න ගමන් අනික් අයට මඩ ගහන එක තමයි එයා කරන්නේ. ඔය වගේ මිනිස්සුන්ට යන්න ආත්මයක් නැහැ මරණයෙන් පස්සේ. මෙහෙම කියනකොට ඒ කවුද කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා.

කාලයක් ළඟම හිටි අය දැන් පුෂ්පිකාට හතුරුකම් කරනවා කියලද ඔය කියන්නේ?


ජේසුස් වහන්සේව ළඟම හිටපු අය තමයි පාවා දීලා කුරුසයේ ඇණ ගහන තත්ත්වයට පත් කළේ. බුදුන්වහන්සේට පවා මිනිස්සු අපහාස කළා. උන්වහන්සේලාටත් එහෙම නම් මම කවුද? මම එදා කියපු දේම තමයි එදත් අදත් හෙටත් කියන්න තියෙන්නේ. පුෂ්පිකා ද සිල්වා කියන්නේ වැටි වැටී නැගිටින යකඩ ගැහැනියක්. කිසිම කෙනකුට මාව වට්ටන්න බැහැ.


ඇයි ඔවුන් එහෙම කරන්නේ?


මගේ කීර්ති නාමයට හානි කරන්න ඒ අය මේ තරම් උත්සාහ කරන එකෙන්ම මට තේරෙනවා ඒ අයට මාව කොච්චර ලොකු අභියෝගයක් වෙලාද කියන එක. නමුත් ඒ අය ඔය කරන දේවල්වලින්ම තමයි මම තව තවත් ශක්තිමත් සහ ධෛර්යමත් කාන්තාවක් බවට පත්වෙන්නේ. ඒ වෙනුවෙන් මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා.


පුෂ්පිකා සමාජ සේවා කටයුතුවල නිරත වෙන්නේ ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් කියලත් පිරිසක් කියනවා?


2011 අවුරුද්දේ ශ්‍රී ලාංකික රූ රැජන වුණු මට ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය අලුත් දෙයක් නෙමෙයි. මම මේ වගේ දේවල් කරන්නේ කිසි ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි.


විවිධ අවස්ථාවල ලෝකයට ගියාම මට ලැබුණු හැම අත්දැකීමකින්ම හැම වරප්‍රසාදයකින්ම මම මේ රටේ ජනතාවට මට පුළුවන් තරමින් සේවය කළා. අද වෙනකොට මේ රටේ සියලු ජනතාවට කිසිම ජාති ආගම් කුලමල පක්ෂ පාට භේදයකින් තොරව උදව් කරන්න මට පුළුවන් වුණා. ඒක මම ඉතාමත් නිහතමානී ආඩම්බරයකින් කියනවා.

ඔබ ඉහළ මැති ඇමැතිවරුන්ගෙන් යැපෙනවා, ඒ දේවල් වහගන්න තමයි සමාජ සත්කාර කරන්නේ කියලා පහුගිය දවසක චෝදනාවක් නැගුණා නේද?


මගේ පවුල් පසුබිම හරිම ශක්තිමත්. මම එන්නේ ව්‍යාපාරික පවුල් පසුබිමකින්.


මගේ තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම පොඩි කාලේ ඉඳලම තාත්තා ඉගැන්නුවේ පුළුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන්න කියලා. මම සමාජ සේවා කටයුතු කරන්නේ මගේ පවුලෙන් පොඩි කාලේ ඉඳලා මට ඉගෙන ගන්න ලැබුණු දේවල් නිසා. අද කාලේ මිනිස්සුන්ට උදව් කරන එක සමහර අයට රැල්ලක් විලාසිතාවක් වෙලා. සමහර අය ප්‍රසිද්ධිය ලබා ගන්න ක්‍රමයක් විදිහට ඒක කරනවා. ඒත් මට එවැනි බලාපොරොත්තුවක් නැහැ. කාගෙන්වත් යැපෙන්නවත් කාගෙන්වත් සල්ලි අරන් වියදම් කරන්නවත් මට වුවමනාවක් නෑ.


එහෙනම් ඇයි ඔබ එවැනි දේ සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කරන්නේ කියලා කවුරු හරි ඇහුවොත්?


ලෝකයේ පිළිගත් ප්‍රින්සස් ඩයනා, මදර් තෙරේසා, මයිකල් ජැක්සන් වැනි පුද්ගලයන් කළ සමාජ සත්කාර සමාජ මාධ්‍යවලට දැම්ම නිසා තමයි අපි ඒ ගැන දන්නේ. මම කරන හැම දේම සෝෂල් මීඩියා දාන්නේ නෑ. ඒත් සමාජයට හැකි තරම් උපකාර කිරීම සහ තවත් පිරිසක් ඒ වෙනුවෙන් යොමු කිරීම තමයි මගේ පරමාදර්ශය වුණේ.


අපි පොඩි කාලේ තාත්තා කරපු සමාජ සේවා කටයුතු සමාජගත කරන්න සෝෂල් මීඩියා තිබුණේ නැහැ. නමුත් අද ඒක තියෙනවා. මගේ සමාජ මාධ්‍ය මම පාවිච්චි කරන්නේ හැම වෙලාවකම හොඳ දෙයක් මේ සමාජයට ඉදිරිපත් කරන්න. සමාජ මාධ්‍ය හරහා පුෂ්පිකා ද සිල්වා කියන චරිතය බ්‍රෑන්ඩ් එකක් විදියට නිර්මාණය වුණේ මම කරන සමාජ සේවා කටයුතු නිසාමයි. සමාජයට සේවය කිරීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා.

මම කරන කරන හැම දෙයක්ම විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. ඒ අය මම කරන සමාජ සේවා කටයුතුවලට පවා විවේචන එල්ල කරනවා. ඒ අයට ඒ වචනයක් පාසා වන්දි ගෙවන්න දවසක මේ සොබාදහමින් දඬුවම් ලැබේවි.

පුෂ්පිකා තව ටිකක් ඉවසුවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?


ඔයාට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් අප්‍රේල් 4 වැනිදා අපේ රටේ ප්‍රසිද්ධ වේදිකාවකදි මට ලැබුණු කිරුළ ඉතාමත් අපහාසාත්මක විදිහට ඔවුන් මගෙන් ආපහු ගලව ගත්තා. ඒ මොහොතේ ඒ වැඩසටහන ලක්ෂ ගණනක් සජීවීව නරඹමින් හිටියේ. ඒ වෙලාවේ ඔවුන් මට සලකපු නරක විදිහ සහ මම එතැනදි ප්‍රතිචාර දක්වපු විදිහෙන් මගේ ඉවසීම ගැන මුළු ලෝකයම දැන ගත්තා.ඔවුන්ගේ ප්‍රශංසාව මට ලැබුණා.


මගේ දෙමව්පියෝ මගේ සහෝදරයන් වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් මගේ වටා එකතු වුණා ,මාත් සමග සිට ගත්තා. ඒ අයගේ ආදරය නිසා තමයි මම මේ තරම් ශක්තිමත්ව නැගී සිටින්නේ. මම ඉවසීම ගැන හොඳට දන්නවා. ඒත් හැමදාම නිකරුණේ චෝදනා විඳින්න මම කැමති නැහැ.


මම කවදාවත් මේ රටේ නීතිවිරෝධී දේවල් කරලා නැහැ. මිනී මරල නැහැ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරලා නැහැ. වැඩිපුර වැරදි තියෙන මිනිස්සු තමයි වැඩිපුර උඩ පනින්නේ. මට එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අනික මම මේ වෙනකල් කිසිම කෙනෙකුට මඩ ගහපු කෙනෙක් නෙමෙයි. මම මගේ දරුවා එක්ක මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්.


පහුගිය දවස්වල සිදු වූ සිදුවීමටත් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන කියලා දැනන්න ලැබුණා?


දිගින් දිගටම මේ වගේ දේවල් සිද්ධ වෙනකොට මේවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම මගේ නීතිඥවරුන් එක්ක මේ දවස්වල සාකච්ඡා කරමින් පවතිනවා. මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන් මම නීති මාර්ගයෙන් කටයුතු කරනවා. මම හැමදාමත් හිතන්නේ නිවැරදිව ජීවත් වන මිනිසුන් සොබාදහම විසින් ආරක්ෂා කරනවා කියලා. නීතියෙන් වගේම ස්වභාව ධර්මයෙන් අනිවාර්​ෙයන්ම වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ප්‍රශ්න ඇති කරල මගේ ගමන නතර කරන්න බැහැ Rating: 5 Reviewed By: webgossip24.com