728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 12, 2023

අරක්කු සැර වෙයි: පොලිසියේ 5කට පිළිමතලාවේදී ගහලා


 කඩුගන්නාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් පිරිසකට බීමත් කණ්ඩායමක් විසින් පිළිමතලාව නගරයේ දී සිදුකළ පහර දීමක් හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරීන් පස්දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට සහ කඩුගන්නාව හේනාවල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහර දීම ඊයේ (11දා) අලුයම 1.30 ට පමණ සිදුව තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ස්ථාන මරුවක් ලද කඩුගන්නාව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු වෙනුවෙන් පිළිමතලාව නගරයේ හෝටලයක දී පෙරේදා (10දා) රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු සහභාගි වී ඇත. එම අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි තවත් පිරිසක් සමග ඇති වූ බහින්බස් වීමක් මත පොලිස් නිලධාරීන් ඔවුන් සමග ගැටුමකට මුලපුරා තිබේ.

හෝටලයෙන් පිටතට පැමිණි දෙපිරිස ඊයේ (11දා) අලුයම 1.30 ට පමණ පිළිමතලාව නගරයේ පාලම අසලදී යළිත් බහින්බස් වී ඇත. පසුව දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති අතර කඩුගන්නාව පොලිසියේ ජංගම මුර සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ ගැටුම පාලනය කිරීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයාට ද පහරක් එල්ල වී තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා කඩුගන්නාව හේනාවල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලද සෙසු පොලිස් නිලධාරීන් සාදයට සහභාගි වූවන්ගෙන් හතරදෙනකු වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ මහනුවර ජාතික රෝහලට ය.

පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පිළිමතලාව ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අරක්කු සැර වෙයි: පොලිසියේ 5කට පිළිමතලාවේදී ගහලා Rating: 5 Reviewed By: webgossip24.com