728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 7, 2023

මම නම් එහෙම ලොකුවට ෆිගර් මේන්ටේන් කරන කෙනෙක් නෙවෙයි


 සාරා අබේවර්ධන කියන්නේ මේ දවස්වල කාගේත් ආකර්ෂණය දිනාගෙන ඉන්න චරිතයක්. ඇය වඩාත් අපිට සමීප වන්නේ හිරු ටීවීහි හිරු step up ඩාන්සින් රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක් ලෙසින්. වෘත්තියෙන් ඇය නර්තන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම කායවර්ධන උපදේශිකාවක් විදියටත් වැඩ කරලා තියෙනවා. කාලයකට පස්සේ රියැලිටි විනිසුරුවරියක් ලෙසින් පුංචි තිරය හරහා ආලින්දයට එන සාරා අබේවර්ධනගේ රුවින් මෙවර පිනිපලස කවරය හැඩවෙන නිසාත් මේ සොඳුරු කතාබහ සාරා අබේවර්ධන සමගයි...


ඔබ උපේක්ෂා සාරංගි අබේවර්ධන නේද?


ඔව්. මගේ නමේ දෙවැනි කොටස තමයි ගොඩක් යාළුවො පාවිච්චි කළේ. සාරංගි කියන එකත් කෙටි වෙලා යාළුවො තමයි සාරා කියලා මුලින්ම කතා කළේ. දැන් හැමෝම මට කතා කරන්නේ සාරා කියලා. ඒ නිසා මගේ සම්පූර්ණ නම භාවිත වෙනවා හරි අඩුයි.

පවුලේ විස්තර කිව්වොත්...


අම්මා, තාත්තා සහ නංගි. නංගි මට වඩා අවුරුදු පහක් බාලයි. දැන් මම විවාහ නිසා මගේ මහත්තයා සහ මහත්තයාගේ අම්මා ඉන්නවා.


පාසල් ගියේ...


ශ්‍රී ජයවර්ධන විද්‍යාලයට.


පාසල් කාලයෙන් පස්සේ කොහොමද අධ්‍යාපන කටයුතු...


වැඩිදුර අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඇක්වයිනාස් එකෙන් ලබා ගත්තා. ඊට පස්සේ මම මාස හයක් වගේ කාලයක් ඉන්දියාවේ ගිහින් ෆිල්ම් සහ ඩාන්සින් Choreography ඉගෙන ගන්නවා.


පාසල් කාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට මොනවද කළේ...


මම ක්‍රීඩාව පැත්තෙන් ඇත්ලටික්වල ධාවන අංශයෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ එක්කම ජාතික නෙට්බෝල් කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ මගේ දණහිසේ ඇතිවුණු ආබාධයක් නිසා ඒ පැත්ත පොඩ්ඩක් නතර කරන්න වුණා. ඊට පස්සේ තමයි වේදිකා නාට්‍ය පැත්තට යොමු වුණේ.


නර්තනය හැදෑරුවේ?


මගේ ගුරුවරයා විද්‍යාරත්න ප්‍රනාන්දු. ඔහු පහතරට පරම්පරාගත නැට්ටුවෙක්. ඔහු යටතේ සහ ඔහුගේ ආදරණීය බිරිඳ නිශා ලියනගේ යටතේ තමයි මම නර්තනය හැදෑරුවේ. ඒ දෙන්නා තමයි මගේ නර්තනයේ මුල් පුරුක්. ඊට පස්සේ ජාතික නර්තන කණ්ඩායමට සම්බන්ධ වුණා. ජාතික නර්තන කණ්ඩායමේ අවුරුදු තුනක් වැඩ කළා.


එතකොට නිරූපණ පැත්තට යොමු වුණේ?


නිරූපණ ශිල්පිනියක් විදියටම මම ලොකු දෙයක් කළේ නැහැ. ඒක කළේ විනෝදාංශයක් විදියට. කාලයත් එක්ක, එක එක අයගෙන් වැඩ ලැබෙද්දී මම උත්සාහ කළා. ඒ හැර මම රෑම්ප් මොඩ්ලින් කරලා නැහැ. ඒකට වුවමනාවක් තිබ්බෙත් නැහැ. මම කළේ ෆිටෝන් මොඩ්ලින්. ඒ නිසා බ්‍රෑන්ඩ් දෙක තුනක් එක්ක මම තවම වැඩ කරගෙන යනවා.


සාරා කායවර්ධන උපදේශිකාවක් විදියටත් වැඩ කළා නේද?


ඔව්. මම පොඩි කාලේ ඉඳන් ඇත්ලටික් කරපු නිසා මගේ ලයිෆ් ස්ටයිල් එකේ ඒක දිගටම තිබ්බා. ඒ නිසා ඒ ගැන වැඩිපුර අධ්‍යනය කරලා කාලයක් පර්සනල් ට්‍රේනින් කළා. දැන් නම් පොඩ්ඩක් ඒ දේවල් තාවකාලිකව නතර කරලා ඩාන්සින් පැත්තට වැඩි නැඹුරුවක් දීලා තියෙනවා.

පහුගිය කාලයේ එතරම් දකින්න නොලැබුණේ ඇයි...


මගේ රැකියාව එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියා. මම තානාපති කාර්යාලයක වැඩ කළ නිසා නිතරම විදෙස්ගත වෙන්නත් වුණා. ඒ වගේම මගේ ජොබ් එකේ තියෙන ආරක්ෂක හේතූන් නිසාත් මට පොඩ්ඩක් එළියට එන්න බැරි වුණා. මම වසර හයක වගේ කාලයක් රැකියාවේ නිරත වෙලා හිටිය නිසා මගේ විනෝදාංශ වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි වුණා. ඊට පස්සේ මම විවාහ වුණා. විවාහයෙන් පස්සේ ජොබ් එකෙන් අයින් වුණා. ඒ නිසා දැන් ආයෙමත් සුපුරුදු විදියට නර්තනය පැත්තට යොමු වෙලා තියෙනවා.


සාරා ආයේ නවත්තපු තැනින් නර්තනය පටන් ගන්නේ විවාහයත් එක්ක...


මම ආයේ නර්තනයට අවතීර්ණ වීමේ එකම හේතුව මගේ සැමියා. එයා හරි කැමැතියි මම කරන දේට. එයා තමයි මාව තල්ලු කරන්නේ මේ දේවල් කරන්න කියලා. ඔහු නිසා මගේ නර්තනයට තිබ්බ වුවමනාව උනන්දුව තවත් ටිකක් වැඩි වුණා.


ඔබේ ඒ ආදර කතාව ගැනත් කියමු...


177 බස් එකේ ක්ලාස් ඇරිලා ගෙදර එද්දි තමයි එයාව මම මුලින්ම දකින්නේ. ඒ දවස්වල මම නෙට්බෝල් කරන කාලේ. මගේ මූණේ පිම්පල් එකයි. ස්කින් රූටින් ඒ දවස්වල නැහැ. අපිට එහෙම සල්ලි තිබ්බෙත් නැහැ. අතට අහුවෙන සබන් කෑල්ල ගාන කාලේ. මගේ ජීවිතේ මුලින්ම පිරිමි කෙනෙක්ට කියලා හිත ගිය එකම කෙනා ඔහු. බස් එකෙන් බහිද්දී එයා මට කාඩ් එක දීලා ගියා. මාස හයක් විතර අපි කතාබහ කළා. නමුත් ඊට පස්සේ එයාට වෙන රටකට යන්න වුණා වැඩිදුර ඉගෙනීම් කටයුතු එක්ක. ඒ නිසා අපේ ආදර සම්බන්ධය නතර වුණා. ඊට පස්සේ එයාට වෙන ගැහැනු ළමයි සහ මට වෙන පිරිමි ළමයි හිටියා. නමුත් අවුරුදු දහයකට පස්සේ මගේ ප්‍රථම ආදරේ හම්බ වුණා. ඒ වෙලාවේ හිතා ගත්තා අපි මැරි කරමු කියලා. දැන් අපි මැරි කරලා අවුරුදු දෙකහාමාරක් වෙනවා.


අවුරුදු දහයකට පස්සේ හමුවීම වෙන්නේ කොහොමද?


එයා රට යාමත් එක්ක තමයි අපේ දුරස් වීම ඇති වුණේ. නමුත් එයාව නිතරම මගේ ඔළුවට ආවා ගියා. ඔය අතරේ අවුරුදු දහයක් වෙද්දී මම වෙනමම චරිතයක්. මම සුනිල් පෙරේරා මහතාගේ ‘කොත්තමල්ලි’ සින්දුවේ විෂුවල් එකේ හිටියා. එතකොට ඒක යාළුවො එක්ක බලද්දී මාව දැකලා, මාව දන්නවා කියලා කියන්නේ නැතුව ඉඳලා. එතකොට එයා මාව දන්නේ උපේක්ෂා කියන නමින් නිසා මාව හොයලා තියෙන්නේ උපේක්ෂා කියන නමින්. ඊට පස්සේ සමාජ මාධ්‍ය තුළින් දැකලා තමයි මට මැසේජ් කළේ කොහෙද හිටියේ මෙච්චර කල් කියලා. එයා හිතලා තියෙන්නේ දැන් මම ජනප්‍රිය නිසා ලොකු සීන් වෙන්න ඇති කියලා. ඒ නිසා කාලයක් ඈත ඉඳන් බලන් ඉඳලා කොහොම හරි කතා කරන්න පටන් අරන් මාස හයක් ඇතුළත තීරණය කළා දැන් ඇති අපි මෙහෙම හිටියා. මම ලංකාවට එන්නම්, අපි මැරි කරමු කියලා. එහෙම තමා ආයේ හමුවුණේ.


පතාගෙන ආපු ආදර කතාවක්...


මම කේන්දර නම් ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඇස්වහ කටවහ නම් මම විශ්වාස කරනවා. ඇත්තටම විවාහය නිසා අපේ කේන්දර බැලුවා. මම බෞද්ධ, එයා ක්‍රිස්තියානි. ඒ වෙලාවේ කේන්දරේ බලපු හාමුදුරුවෝ කිව්වෙත් මේ දෙන්නා පතාගෙන ආව දෙන්නෙක් කියලා.


පොඩි කාලේ වේදිකා නාට්‍යවලට දායක වුණානේ...


වේදිකා නාට්‍ය කරන්න ආස වුණත් කවදාවත් ටීවී එකක රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට නම් වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය කියන්නේ අහසයි පොළවයි වගේ. ඒ නිසා මම හිතනවා මට බැරි දෙයක් කරන්න මම යන්න ඕනේ නැහැ කියලා. මට දක්ෂතාව තියෙන දේ තුළ පමණක් රැඳිලා හිටියම ඇති කියලා හිතනවා.


හොඳ සිනමා නිර්මාණයකට ඇරයුමක් ලැබුණොත්, දෙපාරක් හිතයි නේද?


ඔව්. අනිවාර්යෙන් දෙපාරක් හිතනවා. මම නර්තනයට දක්ෂ නිසා මේ පැත්තට යොමු වෙලා ඉන්නේ. මම කැමැති නැහැ මට බැරි වැඩ කරන්න. නමුත් මට හිතුණොත් මේක හොඳ නිර්මාණයක් කියලා එදාට මම දෙපාරක් හිතලා තීරණයක් ගන්නවා.


සාරා, හරි ලස්සනට බස හසුරුවනවා, නිවේදන ක්ෂේත්‍රයට කැමත්තක් නැද්ද?


නැහැ. මට ආසාවක් නැතිව ගොඩක් දේවල් කරන්නේ නැහැ. මගේ හිත ගිය තැන එක්ක තමයි මම වැඩ කරන්නේ. තවම නම් මගේ ඔළුවේ නැහැ නිවේදන කටයුතු කරන්න. ඒ එක්කම බොහෝ දේවල් මම දැනගත යුතුයි නිවේදන කටයුතු කරන්න. එහෙම දැනුමක් තියෙනවා කියලා හිතුණු දවසට මම ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙයි.


විලාසිතා ගැන කතා කළොත්...


මම විලාසිතා ගැන දකින්නේ තමන්ගේ හිත කියවීමක් විදියට. තමන්ගේ පෞරුෂය අනුව තමන්ට ගැළපෙන දෙයක් අඳින්න පලඳින්න පුළුවන්. ඒ දේවල් නිවැරදිව තෝරා බේරා ගැනීම තමයි අපි කළ යුත්තේ. මම පෞද්ගලිකව විලාසිතාවලට ගොඩක් කැමැති කෙනෙක්. සෑහෙන්න වෙනස් දෙයක් කරන්න කැමැති කෙනෙක්. හැබැයි මට නොගැළපෙන දේ නොකරන කෙනෙක්.


සාරා, ශරිරය මේන්ටේන් කරන්න මොනවගේ දේවල් ද වැඩිපුර කරන්නේ


මම නම් එහෙම ලොකුවට ෆිගර් මේන්ටේන් කරන කෙනෙක් නෙවෙයි. හිතේ හැටියට කන කෙනෙක්. හැබැයි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් දවස් දෙක තුනකට කලින් ලෑස්ති වෙන කෙනෙක්. එහෙම නැතුව ලොකු ඩයට් ප්ලෑන් එකක් එක්ක ශරීරයට වදයක් දෙන කෙනෙක් නෙවෙයි.

ටැටූ ගැන මොකද හිතන්නේ...


මම ටැටූ එකක් කියලා මුලින්ම ගැහුවේ මගේ හස්බන්ඩ්ගේ නම. මම ටැටූවලට ගොඩක් කැමැතියි. ඒක තමන්ට අර්ථවත් දෙයක් වෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. එහෙම නැතුව කාලයක් ගිහින් ඒක මකලා වෙන එකක් කරන විදියේ ටැටූ නම් ටැටූ කලාවත් කරදරයක් වෙනවා. piercing වලට පවා මම කැමැති කෙනෙක්. ඒ වගේ අලුත් අලුත් දේවල් අත්හදා බලන්න කැමැතියි.


ලංකාවේ ගොඩක් අය කැමැති සුදු වෙන්නනේ, සාරා කොහොමද මේ දේ දකින්නේ...


මම වැඩ කළේ තානාපති කාර්යාලයක නිසා මම විදෙස් ජාතිකයන් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඒ අය අපේ රටේ අයගේ තියෙන ස්වාභාවික පැහැයට කොයි තරම් කැමැතිද කියලා. අපේ ළමයි නිකම් සුදු වෙලා ඒ අනන්‍යතාව නැති කර ගන්න බලනවා.


ඔබේ නංගි ඩාන්සින්වලට සම්බන්ධ නැද්ද?


නංගි ඉස්සර නම් ඩාන්සින් කළා. එයා දැන් ඩුබායිවල රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඒ වැඩවලට එයා දක්ෂයි. මේ කාලේ නම් ලංකාවට ඇවිත් ඉන්නවා එයාගේ අලුත් වැඩක් පටන් ගන්න.


සාරාගේ ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් ඇති...


අපි ගොඩක් කාර්යබහුල ජීවන රටාවක ඉන්නේ. ඉතින් ඒ කාර්යබහුල ජීවිතේ එක මොහොතක් හෝ නතර වෙලා බලන්නේ නැහැ අපි කොහෙද ඉන්නේ කියලා. අපේ වටේ කවුද ඉන්නේ. අපිට මග හැරෙන දේවල් මොනවද කියන එක. සමහර වෙලාවට අපිට ඕනෙම දේ අපෙන් ගිලිහිලා අපි වෙන වෙන දේවල් පස්සේ දුවන රේස් එකක අපි ඉන්නේ. ඉතින් මම ඉල්ලන එකම දේ. මොහොතක් හෝ නතර වෙලා දෙපැත්ත බලන්න. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න. තියෙන දේ අගය කරමින් ලද සියල්ලට ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන්න.


ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී ලැබුණු දේවල් ගැන මොකද හිතෙන්නේ..


මම ගොඩක් සතුටු වෙනවා. හේතුව මගේ අම්මගෙයි තාත්තාගෙයි ඔළුවේ තිබ්බා නම් මම මේ තැනට ආ යුතුයි කියලා. ඒ තැනට මම බොහොම හෙමින් ආව කෙනෙක්. මම කෙටි මාර්ගවලින් ඉක්මන් ගමන් යනවා හරි අඩුයි. ඉතින් මම හැම තිස්සෙම හිමින් ගමනක් ආව කෙනෙක්. කාලය අරන් ඉබ්බෙක් වගේ ගමනක් ආව කෙනෙක්. අද හිතෙනවා ඉබි ගමනින් හරි මම හරි තැනට ආවා කියලා

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම නම් එහෙම ලොකුවට ෆිගර් මේන්ටේන් කරන කෙනෙක් නෙවෙයි Rating: 5 Reviewed By: webgossip24.com