728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 17, 2023

දකුණේ දුක්බර කතාවක් - සැමියාගේ සිරුර වළලන්න සල්ලි නැතිව රෝහලේ


 විජලිත හා මන්දපෝෂණය සමග ඇති වූ ඇදුම රෝගය උත්සන්න වීමෙන් මියගිය 75 හැවිරිදි සැමියාගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ බිරියට මුදල් නොමැති වීමෙන් දින 11ක් මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුරක් අද (17) කිහිපදෙනකුගේ මුදල් එකතුකොට මාතර සුසාන භූමියේදී සිදු කෙරිණි.

දික්වැල්ල බතීගම මහගෙදර වත්තේ පදිංචිව සිටි පුස්සල හේවගේ වීරසේන (75) නමැති අයකු මෙසේ මියගොස් තිබුණි. ඔහු පොල් කැඩීම ජීවිකාව බවට පත් කරගත් අයෙකි.

ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී බිරිය වන නාඋරුන්නගේ සෝමාවතී (77) මහත්මිය කියා තිබුණේ, තමා හා සැමියාට ආහාරපාන ලබාදෙන්නේ අසල්වැසියන් බවත්, සැමියා හතිය උත්සන්න වී බත්ගම රජයේ රෝහලෙන් මාතර මහ රෝහලට මාරු කර එවා තිබූ පසු තමා ඔහු බැලීමට ඒමට නොහැකි වූයේ අසනීප තත්ත්වය හා අතේ මුදල් නොමැති වීම නිසාවෙන් බවය.

එම නිසා සැමියාගේ අවසන් කටයුතු සිදු කිරීමට තමාට මුදල් නොමැති නිසා රජයේ වියදමින් එම කටයුතු සිදු කර දෙන ලෙසට ඇය හදිසි මරණ පරීක්ෂණයේදී ඉල්ලා සිටියාය.

තමන්ට දරුවන් නොමැති බව ද සැමියා සමග ජීවත් වන්නේ ද පොල් වත්තේ හිමිකරු ලබාදී ඇති කුඩා නිවසක බව ද ඇය කීවාය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.ඩී. සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ වම් පෙණහැල්ලේ නියුමෝනියාව සමග ඇති වූ ඇදුම රෝගය උත්සන්න වීමෙන් මරණය සිදුවී ඇති බවයි.

විජලිත හා මන්දපෝෂිත තත්ත්වය ද ඊට හේතු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කර තිබුණි.

මියගිය පුද්ගලයාගේ බිරියගේ ඉල්ලීම පරිදි රජයේ වියදමින් සිරුර භූමදානය කළ හැකි දැයි සොයා බැලීමට බතීගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනී නිශාදි රේෂනී මත්මිය මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියට කැඳවීමට මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා අද (17) කටයුතු කළේය.

මියගිය පුද්ගලයාගේ බිරිය සිටින බැවින් රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට මෘත ශරීරය තමාට බාරගත නොහැකි බව ග්‍රාම නිලධාරිනිය එහිදී දැනුම් දුන්නාය.

මේ නිසා කිසිත් කරකියා ගත නොහැකිව මියගිය පුද්ගලයාගේ බිරිය අසරණ වූවාය.

සිරුර භූමදානය කිරීමට මාතර මහ නගර සභාවට රුපියල් 3500ක මුදලක් ද, එය රැගෙන ගොස් මිහිදන් කිරීමට මල්ශාලාවට තවත් රුපියල් 11000ක් ද ඉල්ලා තිබුණි.

මියගිය පුද්ගලයාගේ බිරියගේ සමෘද්ධි ගිණුම් පොතේ රුපියල් 6000ක් ඉතිරි වී තිබූ අතර, එය රැගෙන ඒමට ඥාතියෙක් පිටත්ව ගියේය.

එම අවස්ථාවේදී මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා තම අතේ තිබූ රුපියල් 1000ක් ද මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය වාර්තාකරු රුපියල් 2000ක් ද තවත් එතැන සිටි කිහිප දෙනකු ද මුදල් එකතු කර ඉතිරි මුදල සොයා ගන්නා ලදී.

මේ පිළිබඳව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ, රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ හැක්කේ කාත් කවුරුවත් නැති අයකුගේ පමණක් බවය. බිරිය ජීවතුන් අතර සිටින නිසා ග්‍රාම නිලධාරිනියට සිරුර බාරගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කළ නොහැකි බවත්, ගමත් සමග එකතු වී එම කටයුතු සිදු කරන බවත් ඔහු කීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දකුණේ දුක්බර කතාවක් - සැමියාගේ සිරුර වළලන්න සල්ලි නැතිව රෝහලේ Rating: 5 Reviewed By: webgossip24.com