728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

සම්බුදු සසුනට එක්වෙමින් සසරෙන් එතෙර වෙන්න පාරමී පුරන දරු පවුලේ පින්බර කතාව


 වෙසක් පුන් පොහොය ගෙවී ගොස් ගත වී ඇත්තේ තවම දින දෙකකි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වූ ජනයා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සන්සුන් හා පහන් සිතින් තවමත් පේවී සිටිති. ඒ පින්බර සිතිවිල තව තවත් පින්බර කළ කතාවක් අපට අසන්නට ලැබුණේ රත්නපුරයෙනි. මේ ඒ පින්බර පුවතේ ඇතුළාන්තය සොයා ගිය ගමනකි. බුද්ධත්වයෙන් පසු ප්‍රථම ධර්ම දේශනාවෙන් පසු දම් සරණ සපුරා තෙරුවන් සරණට අඩුවක්ව පැවැති සඟ සරණ ද සපුරාලමින් බුදුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයාණන් වහන්සේලා වූ පස්වග තවුසන් සසුන්ගත වීමෙන් සංඝ සමාජයේ ආරම්භය සිදු විණි.

සිදුහත් කුමරුනට කිරි මවුන් වූ මහා ප්‍රජාපතී දේවිය පසුකලෙකදී බුදුන් බැහැදැක කරන ලද ඉල්ලීමක් අනුදැන වදාරමින් ඇයට සසුන්ගත වීමට ලබා දුන් අවසරයත් සමඟ මෙහෙණි සසුනද ආරම්භ වූයේ ඇය අනුව යමින් යශෝධරාවන් වැනි රජ කුමරියන් සිටු කුමරියන් සිහදහස් ගණන් මෙහෙණි සසුනට එක් කරගනිමිනි. එලෙස මහින්දාගමනයත් සමඟ මෙරට ඇති වූ බුද්ධ ප්‍රබෝධය වර්ණවත් කරමින් සසුන්ගත වූයේ රජ කුමාරවරුන් පමණක් නොව දෙවන පෑතිස් රජුන්ගේ බිසවක් වූ අනුලා දේවියද සසුන්ගත වෙමිනි.

ඒ කතාබහට අලුත් පිටුවක් පෙරළෙන්නේ නාමල්තලාවේ සෝනුත්තරා මෑණියන් සසුන්ගත වීමත් සමඟය. ඇය සසුන්ගත වන්නේ තනිවම නොව ඇගේ පුතුන් දෙදෙනා සහ සිවුහැවිරිදි දියණියත් සමඟය. එතනින් කතාව නිම වන්නේ නැත. සෝනුත්තරා සිල් මෑණියන් ගිහි කල සිටි ඇගේ ස්වාමිපුරුෂයා නිල් මධුශංක ද තවත් නොබෝ දිනකින් සසුන්ගත් වීමට පෙරුම් පුරමින් සිටී. මෙම පුවත අසන්නට ලැබුණේ රත්නපුර දොඩම්පේ මිල්ලකඩේ චිත්තානන්ද විවේකාරාම පිරිවෙන් විහාරයෙනි. විශේෂයෙන්ම වෙසක් සතිය එළඹෙමින් පැවති මොහොතක අසන්නට ලැබුණ මෙම පුවතත් සමඟ ඒ පිළිබඳ වැඩි යමක් සොයා දැනගන්නට මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විහාරය වෙත අප ගියේ එම පුවතේ ඇතුළාන්තය සොයා දැනගන්නටය.

දොඩම්පේ මිල්ලකඩේ චිත්තානන්ද විවේකාරාම පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය කොටපොළ සුධම්ම හිමිපාණන් සොයා අපි එම විහාරස්ථානයට ගියෙමු. උදාවෙන වෙසක් පොහොය වෙනුවෙන් විහාරස්ථානයේ කටයුතුවල කාර්යබහුලව සිටියත් අප ආගිය තොරතුරු අසා මහත් සතුටට පත්ව අපට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ තවත් සාසනික මෙහෙවරක් ඉටුකරන්නට ලද අවස්ථාවක් ලෙස සලකාගෙනය.

ඔව් මහත්තයා. මේ පන්සලේ තමයි ඒ මහණ පින්කම වුණේ. ඒ මෑණියෝයි, පුංචි සාමණේරවරුයි, දුවයි ඉන්නේ අර ඈත තියෙන කුටියේ උදේ වරුවම විහාර සුද්ධ පවිත්‍ර කරලා දැන් තමයි විවේක ගන්නේ. මහත්තයට මොනවද දැනගන්න ඕනි හාමුදුරුවෝ බොහොම කරුණාවෙන් අපේ ඉල්ලීමට කන් දුන්නා.

නැහැ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කරලා තියෙන්නේ මහණ පින්කමක් විතරක් නෙමෙයිනේ එ්කේ විශේෂයක් තියෙනවා. අම්මයි, දරුවෝ හතර දෙනයි එකම දවසේ එකම තැනක මහණ වෙලා. ඒ විතරක් නෙමෙයි බාලම දරුවට අවුරුදු හතරයි.කිරිසප්පයෙක්නේ. එකයි විශේෂය.



මේ ඇත්තෝ මෙහෙ මහණ වුණාට මෙහෙ අය නෙමෙයි. අම්පාර නාමල්තලාවේ. සැතපුම් සිය ගණනක් ඇත හද්දා පිටිසර. මට හම්බ වුණේ අහම්බෙන්. මට අවශ්‍ය වෙලා තිබුණේ දරුවෝ මහණ කරගන්න. ආරංචියක් ලැබිලා මම අම්පාරට ගියා. එහෙදි තමයි මේ පවුලේ ඇත්තෝ හම්බ වුණේ. ලොකු දරුවට තමයි මහණ වෙන්න ලොකුම වුවමනාව තිබුණේ. එයා කලිනුත් මහණ වෙන්න ගෙදරින් ගිහින් ගිය තැන තිබුණ අඩුපාඩු නිසා ආපසු ඇවිත් තිබුණා. ඒත් මහණ වෙන්න තිබුණු ආසාව අඩුවෙලා තිබුණේ නැහැ. මම ගිය ගමන්ම මගෙත් එක්ක එන්න සූදානම් වුණා.

අපි ලොකු දරුවාව මහණ කරන්න දින නියම කරගෙන දෙමාපියන්ට දැන්වූවා. ඒ අය අනිත් දරුවොත් එක්කම දවස් දෙක තුනකට කලින් මෙහෙ ආවා. ඇවිත් උත්සවයට කටයුතු කරන ගමන්ම වතාවත්වලටත් වන්දනාමානවලටත් ලොකු උනන්දුවකින් එකතු වුණා. මහණ පින්කමෙන් පස්සෙත් දවස් දෙක තුනක් හිටියා. පුංචි සාමණේරයන්ගේ ඇවතුම් පැවතුම් දැකලා අනිත් දරුවන්ටත් ලොකු ආසාවක් ඇති වුණා. ඒගොල්ලොත් මහණ වෙන්න ඕනි කියලා අඬා වැටුණා. මම දන්නේ නෑ. පෙර සංසාර පුරුද්දක් ද එහෙම නැතුව ලොකු දරුවාව දාලා යන්න බැරිකම ද කියලා. අන්තිමට අම්මත් කිවුවා අම්මටත් මහණ වෙන්න ඕනි කියලා.

මම හොයලා බැලුවා. දායකයොත් එක්ක කතා කළා. ළමයින්ගේ තාත්තගෙනුත් ඇහුවා. තාත්තත් වැඩේට කැමැති. මට හිතාගන්න බැරි වුණා. මම දවස් දෙක තුනක් කල් ඇරියා. ඒ අය අදහස වෙනස් කරගනී කියලා. ඒත් වෙනසක් වුණේ නැහැ.

ඒ පාර තමයි අපි ඔය විදිහට මේ අයව මහණ කර ගත්තේ. දරුවෝ මහණ කරන්න මාපියෝ කැමැත්ත දුන්නා. බිරියට මහණ වෙන්න ස්වාමිපුරුෂයා අවසර දුන්නා.

ඒත් මම හාමුදුරු කෙනෙක්නෙ. මට පුළුවන් සිල් දෙන්න විතරයි. මහණ කරන්න මට බැහැ. එකට මම පරකඩුවේ සන්ඝමිත්තාරාමේ නන්දකල්‍යාණි මෑණියන්ව සම්බන්ධ කරගත්තා. ඒ මෑණියෝ අපේ විහාරස්ථානයට සම්බන්ධයි. මගේ මෑණියොත් ජීවිතේ අවසාන කාලේ ගත කළේ පැවිදි ජීවිතයක්.

එයාටත් ගුරු වුණේ නන්දකල්‍යාණි මෑණියෝ. එයා මගේ ඉල්ලීම ඉටු කර දුන්නේ බොහොම කැමැත්තෙන්. එයා ඇවිදින් දරුවන්ගේ අම්මවයි, බාල දුවවයි සසුන්ගත කළා. දැන් ඒ අය ඔක්කොම මහණ වෙලා අර පහළ තියෙන ආරාමේ ඉන්නේ. 

මගේ ඉල්ලීමට අනුව සෝනුත්තරා සිල් මෑණියන්ට විහාරස්ථානයට එන්න කියලා ලොකු හාමුදුරුවෝ පණිවිඩයක් යැවුවේ පුංචි සාමණේර නමක් අතේ. සාමණේර නමක් වුණත් පුංචිකමත් දඟකාරකමත් අඩු වෙලා නොතිබුණු පොඩි හාමුදුරුවෝ පහළට දිවුවේ සිවුරුපට හුළඟට යන වේගයටයි. වැඩි වෙලා නොයාම සෝනුත්තරා මෑණියෝ එයා හිටපු ආවාස ගෙයින් පිටවෙනවා ඈත ආවාසේ හිටපු අපි බලන් හිටියේ ලොකු උනන්දුවකින්. මෑණියන්ගේ පස්සේ පුංචි සාමණේරවරු ඉහළට ඇදුණේ හරිම ලස්සනට. මෑණියෝ ලොකු හාමුදුරුවන්ට වැඳලා එකත්පස්ව හිඳගත්තේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය ලැබුණහමයි.

මෑණියෝයි, දරුවොයි මහණ වුණ විස්තරය අහලා තමයි මේ මහත්තයා ඇවිදින් ඉන්නේ. මහත්තයා අහන දේකට උත්තර දෙන්න ලොකු හාමුදුරුවෝ සිල් මෑණියන්ට කිවුවා.

ලොකු හාමුදුරුවන්ගේ අවසරය අනුව තමයි සෝනුත්තරා මෑණියෝ කතාව පටන් ගත්තේ. අපේ ගම අම්පාර නාමල්තලාව. මගේ ගිහි කාලෙ නම සුරේකා සංජීවනි. දැන් වයස 30යි. මගේ සැමියට අවුරුදු 33යි. එයාගේ රස්සාව සැලුන් වැඩ. කලින් නම් එයාගෙම වැඩපොළක් තිබුණා. දැන්නම් කොළඹ වැඩ කරන්නේ. අපි පදිංචි වෙලා හිටියේ අම්පාරේ නාමල්තලාවේ. ලොකු පුතාට 13යි. දෙවැනියට 7යි. ඊළඟ පුතා අවුරුදු 6යි. බාලයා දුව, එයාට තවම අවුරුදු 4යි. ඒ කියද්දීත් පුංචි සිල් මෑණියෝ සෝනුත්තරා මෑණියන්ගේ ඇගේ වෙළෙනවා. මෑණියෝ පුංචි මෑණියන්ගේ සිවුරු පොට හරිගැස්සුවා. සාමණේර තුන්නමත් පේළියට වාඩි වුණා.

ඇයි මෙහෙම මහණ වෙන්න හිතුණේ. තරුණ අම්මා කෙනෙක්; පුංචි දරුවෝ හතර දෙනෙක්. ඇත්තටම ජීවත් වෙන්න තියෙන අමාරුකම නිසා ද මෙහෙම වුණේ.

නැහැ, අපිට ඉන්න ගෙවල් දොරවල් තියෙනවා. කුඹුරු වතුපිටිවලින් ආදායම් ලැබෙනවා වගේම සැමියාගේ රැකියාවෙනුත් ලොකු අමාරුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි උපතින්ම බෞද්ධයෝ; ඒ වගේම පිළිවෙතිනුත් බෞද්ධයෝ. දහමට ළැදියි. දරුවොත් ඒ වගේමයි. ලොකු පුතාට මහණ වෙන්න ආසාවක් ආවේ යන්තම් තේරෙද්දී. මෙහෙට එන්න කලින් එයා මහණ වෙන්න කියලා පන්සලක නැවතිලා හිටියා. ඒත් එතන හරි ගියේ නැහැ. ඒ අතරේ තමයි අපේ නායක හාමුදුරුවෝ ආරංචියට අම්පාරට ආවේ. ලොකු පුතා තමයි මුලින්ම මහණ වුණේ. ලොකු පුතාව බලන්න ආපු මල්ලිලා දෙන්නත් මහණ කරන්න කියලා පෙරෙත්ත කළා. නංගි අයියලා දාලා යන්නේ නෑ. ඉතින් මම කොහොමද දරුවෝ දාලා යන්නේ. මේක සංසාර පුරුද්දක් වෙන්න ඇති. අපි ඔක්කොම බොහොම ආසාවෙන් සසුන්ගත වුණා. මෙතන පිරිවෙනක්. පුංචි සාමණේර හාමුදුරුවරු තව ගොඩක් ඉන්නවා. මම හිතන්නෙත් මගෙත් පරණ පිනක් වෙන්න ඇති. නිදහසේ බණක් භාවනාවක් කරගෙන සසරෙන් එතර වෙන්න ලැබුණ අවස්ථාවක් කියලයි මම හිතන්නේ. ඒ අවස්ථාව සලසලා දුන්න ලොකු හාමුදුරුවන්ට අනේකවාරයක් පින් දෙනවා.

දරුවන්ගේ තාත්තා නීල් මදුශංක අපි එක්ක කතා බහට එකතු වුණේ අන්තිමටයි.

දරුවොයි අම්මයි මහණ වුණහම මොකද හිතුණේ?

දරුවන්ගේ ආසාවට මම ඉඩ දුන්නා. දැන් දරුවෝ දාලා මටත් යන්න හිතෙන්නේ නැහැ. ගමේ තව ගැටලු කිහිපයක් තියෙනවා. ඒවා විසඳගෙන මමත් පන්සලට එනවා. මගෙත් අදහස මහණ දම් පුරන්න. අපි දැන් මෙතනට ඇවිත් සතියක් දෙකක් වෙනවා. පුදුම ආස හිතෙන පරිසරයක්. නායක හාමුදුරුවන්ගේ උපදෙස් අපිට හුඟක් වටිනවා. ජීවිතේ ඵලදායිව ගෙවන්න මෙතන හොඳ පින්බිමක්. නායක හාමුදුරුවන්ගේ ගමනට හොඳ හයියක් වෙන්න මමත් මහණ වෙනවා. ඒක වැඩි දවසක් නොයා සිද්ධ වෙයි. සියල්ල සිද්ධ වන්නේ හොඳට කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝටම මේ වෙසක් සතියේ ලොකු පින්කමක් කරගන්න ලැබුණා කියලයි මම හිතන්නේ. නීල් මධුෂංක එහෙම කියද්දී පොඩි සාංකාවක්වත් මුහුණෙන් පෙන්නුවේ නෑ.

සෝනුත්තරා මෑණියෝ පුංචි සාමණේරවරු පෙළගස්සගෙන ඒගොල්ල වැඩ ඉන්න කුටිය පැත්තට ගියේ දින චර්යාවේ ඉතිරි කොටස අරඹන්න.

තරුණ අම්මා කෙනෙක් සසර කෙටි කරගන්න දරුවොත් එක්කම සසුන්ගත වුණ කතාව අහලා හමාර වෙද්දී දැනුණේ ඇයි තවත් කෙනකුට එහෙම කරන්න බැරිද කියලා. ඒ වගේම මහණ වෙන්න අවශ්‍ය වෙන්නේ සසර කලකිරීම නෙමෙයි සසර අවබෝධ කර ගැනීම කියන එක මේ අය පසක් කරගන්න ඇතියි කියලා මට හිතුණා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සම්බුදු සසුනට එක්වෙමින් සසරෙන් එතෙර වෙන්න පාරමී පුරන දරු පවුලේ පින්බර කතාව Rating: 5 Reviewed By: webgossip24.com