728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 9, 2023

මැයි 09 සැමරුම් ෆේස් බුක් නිර්මාණ


 අද 2022 මැයි 09 වැනිදා 'ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට එල්ලවූ ප්‍රහාරයට වසරක් සපිරෙයි.එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් නිසාවෙනි.

ගාලු මුවදොරින් ආරම්භ වූ එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් රටපුරා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගත නොවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ද දිවි අහිමිවුයේ ඛේදනීය සිදුවීමකිනි.

ප්‍රකෝපකාරී පිරිස් විසින් පහරදීම හේතුවෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි සිදුවී ඇති අතර මේවන විට ඔවුන්ගෙන් අති බහුතරයකට රජයේ වියදමින් හානිපූර්ය කර ඇත.මෙදින ඇතිවු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් විශාල පිරිසක් අත්අඩංගුවට පත්වු අතර මේවන විට ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

එවක රට මුහුණ පා තිබු ආර්ථික අර්බුදය සහ දිගින් දිගටම ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාලකයින්ට එල්ල වෙමින් පැවති ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු බවට දේශපාලන කරළිය තුල කතාබහක් ඇති වී තිබුණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මස 09 වෙනිදා අරලියගහ මන්දිරයේදී ප්‍රකාශයක් සිදුකර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් ප්‍රමුඛ ආධාරකරුවන් පසුගිය වසරේ මැයි මස 09 වෙනිදා උදෑසන සිට අරලියගහ මන්දිරයට රැස්වූයේ සිය නායකයාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස බලකිරිමටයි.

එදින දහවල් 12.00 තෙක් අරලියගහ මන්දිරය ඇතුළත පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සිටි දේශපාලඥයින් සහ ආධාරකරුවන් අනතුරුව ඉන් පිටතට පැමිණ ගාලු පාරේ අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල පිහිටා තිබු ' මයිනා ගෝ ගම' දෙසට ගමන් කලහ.

පසුව එම ස්ථානයේදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් සාමකාමී විරෝධතාවයක නියැලී සිටි ' මයිනා ගෝ ගම' භූමියේ සිටි අරගලකරුවන්ට පහර දී ගාලු මුවදොර දෙසට ගමන් කලහ.

මිනිත්තු 15ක් වැනි කාලයක් තුලදී ඔවුන් ගාලු මුවදොර පිහිටා තිබු ' ගෝඨා ගෝ ගම' අරගල භූමියට ඇතුල් වූ අතර එහි සිටි සාමකාමී අරගලකරුවන්ට සහ ඔවුන් රැඳී සිටි කුඩාරම්, ඉදිකර තිබු වෛද්‍ය මධ්‍යස්ථානය, පුස්තකාලය ඇතුළු ස්ථාන රැසකට පහර දී විනාශ කරන ලදී.

අරලියගහ මන්දිරයේ සිට ' මයිනාගෝ ගම' සහ 'ගෝඨා ගෝ ගම' අරගලකරුවන් රැඳී සිටි භුමියට දේශපාලන ආධාරකරුවන් විසින් පහරදෙන අවස්ථාවේදී එය වැළැක්වීමට හෝ පිරිස විසුරුවා හැරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසියට සෘජුව චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් "ගෝඨා ගෝ ගම" ට සහ "මයිනා ගෝ ගම" ට එල්ල කරනු ලැබූ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා තිබු අතර ඉන් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල් ගත කර තිබුණි.

' ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආධාරකරුවන් විසින් ප්‍රහාර එල්ල කරනු ලබන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රචාරය වීමත් සමග එය කොළඹ නගරය තුල මෙන්ම ඉන් පිටත ජනතාව ආවේගයට පත් කරවන ලද සිදුවිමක් විය.

ප්‍රහාරය හේතුවෙන් කොළඹ නගරය තුලදී සාමාන්‍ය ජනතාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ මන්දිරයට පැමිණි බව කියන බස් රථවලට පහර දුන් අතර ඇතැම් ඒවාට ගිනි තබන ලදී.

මෙයට අමතරව ගංගාරාමය අසලදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට සාමාන්‍ය ජනතාව විසින් පහර දී ඔවුන් බේරේ වැවට බස්සවා සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය තුල හුවමාරු විය.

කොළඹ සිට පොළොන්නරුවේ සිය නිවස කරා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගමන් කරමින් තිබූ රථය නිට්ටඹුව ප්‍රදේශයේදී සාමාන්‍ය ජනතාවගේ ප්‍රහාරයට ලක්විය. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

එම වෙඩි තැබීමත් සමග කුපිත වූ ජනතාව විසින් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී තිබු අතර එහිදී ඔවුන් දෙදෙනා ද මරණයට පත්විය.'ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට එල්ලවූ ප්‍රහාරයත් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ රටේ විවිධ ප්‍රදේශවල පිහිටි නිවාසවලට මහජනතාව ප්‍රහාර එල්ල කරන ලදී.

එලෙස පහරදීමට ලක්වූ නිවාස අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි මැදමුලන නිවස ද විය. එමෙන්ම තංගල්ලේ පිහිටි ඩි.ඒ.රාජපක්ෂ පිළිරුව මෙන්ම කෞතුකාගාරය ද ප්‍රහාරයට ලක්විය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ මන්ත්‍රීවරුන් 74 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළ වලට හානි සිදුවූ බවය.මැයි 09 සැමරුම් ෆේස් බුක් නිර්මාණ එකතුවක් මේ සමග පළවේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මැයි 09 සැමරුම් ෆේස් බුක් නිර්මාණ Rating: 5 Reviewed By: webgossip24.com