728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 23, 2023

අම්මා අවසන් හුස්ම හෙළන්න කලින් මම ඇගේ පැතුම් ඉෂ්ට කළා


 දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ සංගීත ක්ෂේත්‍රය තුළ නොවෙනස්ව නම රැඳවූ ඇය මේ වන විට ගීත 60කට වැඩි ප්‍රමාණයකට හඬ මුසු කර ඇත. ක¾දුළු හෙළා නෑඹිලියට, ගාට  ගාට ඇවිදින් කියූ සැණින් ඇයව අමුතුවෙන් හැඳින්වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඝෝෂාකාරී සංගීත රාවයන් මධ්‍යයේ රසික හදවත්වලට සුභාවිත ගීතවලින් ආමන්ත්‍රණය කළ ඇය නමින් ප්‍රවීණ ගායිකා දීපිකා ප්‍රියදර්ශනී. සංගීතය නම් විශ්ව භාෂාවෙන් හරවත් ගීත ජනතාවට තිළිණ කළ ඇයගේ අලුත්ම ගීතය තමයි රන්‍ෙදා්ලි. එම ගීතයට ලැබුණු ප්‍රතිචාර සමඟින් ඇයගේ කලා කටයුතු සහ ජීවිත තතු බෙදාහදා ගැනීමට දීපිකා ප්‍රියදර්ශනී මෙවර හදගැස්ම ආලින්දයට ගොඩවැදුණා.

කොහොමද මේ දිනවල ජීවිතේ ගෙවෙන්නේ?

පසුගිය කොවිඩ් සමයේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් නිසා නවතා දමා තිබූ මගේ සෞන්දර්ය ශාලිකාවේ ඉගැන්වීම් කටයුතු නව මුහුණුවරකින් නැවතත් ආරම්භ කළා. Deepashika The Aesthetic Academy නමින් මැයි පළමුවැනිදා සිට නව මුහුණුවරකින් සෞන්දර්ය ශාලිකාව නැවතත් ආරම්භ වුණා. ප්‍රවීණ සංගීතවේදීන් සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් ඇතුළු ප්‍රවීණ ගුරුවරුන් අප සමඟ එකතු වුණා.

ඔබේ අලුත් ගීතය ‘රන්‍ෙදා්ලි’ ගැන කතා කළොත්?

රන්‍ෙදා්ලි ගීතය මට ලැබුණේ නුවර රෝහණ අරුප්පොළ කියන ඉන්ජිනේරුවරයාගෙන්. මේ ගීතය අපගේ පුරාණ කාලයත් එක්ක සම්බන්ධ කතාවක්. ගීතයෙන් ඔහු මූලිකවම දනවන්න උත්සාහ කරලා තිබෙන්නේ උපේක්ෂාව සහ කරුණාව. දරු සම්පත අහිමි වුණු කාන්තාවක් දරු සම්පත හිමිවුණු තවත් කාන්තාවක් දෙස උපේක්ෂාවෙන් බලන්න පොලඹවන ගීතයක්. රෝහණ ධර්මකීර්ති සහෝදරයා තමයි මේ ගීතය සංගීතවත් කළේ. ගීතයේ රූප රචනය සිදු කළේ මගේ නිවෙස ඉදිරිපිට තිබෙන මිතුරන් දෙපළකගේ නිවෙසේ.

ගොඩක් අය කියනවා ගීතයේ ඇහුවහම හරිම සංවේදී හැඟීමක් ඇතිවෙනවා කියලා. ගීතයකින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ ටික තමයි. රන්‍ෙදා්ලි ගීතයට ඉතාමත් ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ කාලයක් විවාහ නොවී ඉන්න තීරණය කරලා තිබුණා. නමුත් අද වෙනකොට දරුවෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. ඔබේ අලුත් ජීවිතය දැනෙන්නේ කොහොමද?

මම විවාහ වෙන්නේ නෑ කියලා කවදාවත් හිතලා තිබුණෙ නැහැ. නමුත් මම මවු කුසින් බිහි වුණු ආපු දවසෙ ඉඳලා ජීවිතේ වැඩි කාලයක් ගතකළේ මගේ අම්මත් එක්ක. මගේ පියා මියගියේ මම උසස් පෙළ හදාරන අවධියේ. එදා ඉඳලා අපේ ජීවිතයේ මුදුන්මල්කඩ වුණේ අම්මා. අම්මව බලාගන්න එක මම මගේ අතට ගත්තා. මගේ තරුණ කාලයේ මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒ හැමදේමත් සමඟ මම බොහෝ අවිවේකී වුණා. අම්මා ඉස්සර දෑත් එකතු කරලා වැඳගෙන කියනවා. අනේ ඉතින් ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඕන. කියලා. අම්මගේ එකම ප්‍රාර්ථනා වුණේ ඒක. අද ඒ දේ ඉෂ්ට වෙලා තිබෙනවා. ඇය අවසන් සුසුම් හෙළන්න කලින් මගේ දරුවන් දෙන්නව ඇයගේ අත්දෙක උඩින් තබන්න මට පුළුවන් වුණා. එදා මගේ අම්මා අනාවැකි ගොඩක් කිව්වා. මගේ සැමියා චාමික හේරත් කියන්නෙත් කලාවට ඉතාම ආදරය කරන කෙනෙක්. මගේ නිර්මාණවලට පුදුම ලෝබකමක් දක්වන කෙනෙක්. සැමියා සහ මගේ දරුවන් දෙදෙනාත් එක්ක මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා.

අලුතින් බිහිවන ගීතවල පද රචනා පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන නම් තිබෙන්නේ හරිම කලකිරීමක්. සෑම නිර්මාණයක්ම හොඳ නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් අද බිහිවන නිර්මාණ බහුතරයක තිබෙන්නේ හුදෙක් වචන ටිකක් පමණයි. පද රචනාවක් කියන්නේ ගීතයක වැදගත්ම දෙයක්. පද රචනා කරන්න හැමෝටම බැහැ. එයට භාෂාව සහ සාහිත්‍ය ගැන යම්කිසි අවබෝධයක් තිබෙන්න ඕන. අලුත් පරම්පරාවේ ඉන්නවා හොඳට රහට ලියන්න පුළුවන් අය.

වර්තමානයේ ළමා පරපුර දෙස බැලුවහම ඔවුන්ගේ ආකල්ප පිරිහිලා තිබෙන බව දකින්න ලැබෙනවා. දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් විධියට දෙන්න ඕන මොන වගේ දේවල්ද?

දරුවන්ව කුමන හෝ ආගමක පිහිටුවීම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ආගම සදාචාරය කියන දේ අද වන විට පැත්තකට දාලා තිබෙනවා. හොඳ මනුස්සයෙක් නිර්මාණය කිරීම ආරම්භ කරන්න ඕන ගෙදර ඇතුළෙන්. දරුවන්ගේ හිත්වලට ක්‍රෝධය, වෛරය ඉරිසියාව කුහකකම ඇති නොවෙන විදිහට වැඩිහිටියෝ කටයුතු කරන්න ඕන. දරුවෝ කියන්නේ බලෙන් පුබුදුවන්න පුළුවන් අය නෙමෙයි. දරුවන් කියන නෙලුම් මල් ඉබේ නිසි කලට පිපෙන්න ඕන. නිසි වෙලාවට හිරු එළිය පොහොර වැටෙන්න ඕන. ගුණධර්ම කියන හිරු එළිය මුලින්ම වැටෙන්න ඕන තමන්ගේ ගෙදරින්. නෙලුම් මලක් වුණත් ඕනෑකමින් පුබුදුවනවට වඩා ඉබේ පිපුණහම තමයි ගොඩක්ම ලස්සන. දරුවෙක්ගේ ජීවිතයේ පළමු අවුරුදු පහ තමයි මනස නිවැරදිව හැදෙන්න ඕන කාලසීමාව. ලංකාවේ බොහෝ වෙලාවට මම දකින දෙයක් තමයි විධිමත් ක්‍රමවේදයක් නොමැති පෙර පාසල් තිබෙන එක. නමුත් ජපානය වගේ රටවල තිබෙන්නේ දරුවන් වෙනුවෙන් හරිම විධිමත් අධ්‍යාපන රටාවක්. ඇතැම් රටවල සංගීතය, වාදන භාණ්ඩයක් වාදනය කිරීම අනිවාර්යයෙන් සිදු කරන්න ඕන. නමුත් අපේ රටේ දරුවන්ට තබා වැඩිහිටියන්ටවත් පෝලිමක විනාඩි දහයක් ශිෂ්ටසම්පන්නව ඉන්න බැහැ. ඒ වගේම දරුවන් වෙනුවෙන් නිර්මාණ බිහිවෙන්නේ හරිම අඩුවෙන්. ඒ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි.

රියැලිටි වේදිකාවල සහ ප්‍රසංගවල ඔබේ ගීත බොහෝ දෙනෙක් ගායනා කරනවා. මේ පිළිබඳ ඔබේ හැඟීම මොකක්ද?

ඕනෑම කෙනෙක් මගේ ගීත ගායනා කළාට කමක් නැහැ. අපි ගීතයක් ගායනා කළාට පස්සේ ඒක රසිකයන්ට භාරයි. කවුරු ගායනා කළත් එකේ කිසිදු වරදක් නැහැ. නමුත් හැමදේකම ගුණාත්මක බවක් තිබෙන්න ඕනෑ. සදාචාරාත්මක බවක් තිබෙන්න ඕනෑ. මෑතකදී මම දැකපු දෙයක් තමයි ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ බණ්ඩාර ඇහැළියගොඩ පද රචනය කළ ‘අන්න බලන්’ ගීතය විකෘති කරලා තිබුණා. එක් සංගීත කණ්ඩායමක් දරුවන් ටිකක් යොදවලා මේ ගීතය ගායනා කරලා තිබුණා. ඒක දැක්කහම මට ඇතිවුණේ පුදුමාකාර කලකිරීමක්. දරුවන්ව ඒ විධියට මෙහෙයවා තිබුණෙ වැඩිහිටියෝ. එවැනි දේවල් සිදු නොවිය යුතුයි. ගීත ප්‍රතිනිර්මාණය කිරීමේ කිසිදු වරදක් නැහැ. නමුත් මුල් ගායනයට සහ පද රචකයන්, සංගීතවේදීන් අපහසුතාවට පත් නොවෙන විධියට ඒ දේවල් සිදු කරන්න පරිස්සම් වෙන්න ඕනෑ. අනෙක්් දේ තමයි මුල් ගායනය ගැන සිහි කිරීම ගොඩක් වටින දෙයක්. මොකද මුල් ගීතය ගායනා කරන්න එම ගායක ගායිකාවන් බොහෝ වෙහෙසක් දරන්න ඇති. ගීත නිර්මාණය කිරීමටත් අප්‍රමාණ වෙහෙසක් දරන්න ඇති. අද සමහර දරුවන් දන්නේ නැහැ ඇතැම් ගීතවල මුල් ගායක ගායිකාවන් කවුද කියලවත්. මීළඟ පරපුරට මුල් ගීතය විනාශ නොකර රැගෙන යන එක තමයි සිදු කරන්න ඕනෑ.

වර්තමානය වන විට යූ ටියුබ් නාළිකා අතර පවතින්නේ බොහෝ තරගකාරීත්වයක්. ඒ දේවල් නිසා යම් යම් නිර්මාණවල ගුණාත්මකභාවය ගිලිහෙනවා. ඔබ මේ දේ දකින්නේ කොයි විධියටද?

ඇත්තෙන්ම තරගයක් තිබෙනවා. නමුත් මුදල් අරමුණු කර නොගෙන යූ – ටියුබ් නාළිකා පවත්වන අයත් සිටිනවා. මගේ යූ – ටියුබ් නාළිකාව නිර්මාණය කළේ මගේ ශිෂ්‍යයන් පිරිසක්. යූ – ටියුබ් ලංකාවට ආපු දවස්වල තමයි ඒක නිර්මාණය කළේ. ඒ නාළිකාව කාලයක් අකර්මණ්‍ය වෙලා තිබුණා. නමුත් ඒක නැවත සක්‍රිය කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මගේ නිර්මාණ යූ – ටියුබ් නාළිකාවක් ඔස්සේ ජනගත කිරීමට අවශ්‍යයි. මුදල් නෙවෙයි මගේ අරමුණ. නමුත් කවදා හෝ කවදාහරි කෙනෙක් දීපිකා ප්‍රියදර්ශනී කියලා ගායිකාවක් ඉන්නවා නේද එයාගේ ගීතයක් අහන්න ඕන කියලා හිතුණොත් අන්න එදාට මේ යූ – ටියුබ් නාළිකාවෙන් මගේ ගීත රසවිඳීමේ හැකියාව රසිකයන්ට ලබාදීම තමයි මගේ අරමුණ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අම්මා අවසන් හුස්ම හෙළන්න කලින් මම ඇගේ පැතුම් ඉෂ්ට කළා Rating: 5 Reviewed By: webgossip24.com