728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 21, 2023

බදු බර ගියාම ගල් බෝතලේ නියම මිල රුපියල් 294යි - ලබන මාසයේ සිට අරක්කු සහ බියර්වල මිල අඩු වෙයි


 ලබන මාසයේ සිට අරක්කු සහ බියර්වල මිල අඩු කිරීමට රජය සැලසුම් කර ඇති බවට රාවයක් දිවයින පුරා පැතිර ගොස් ඇත. ඒ හේතුවෙන් මේ දිනවල මත්පැන් අලෙවිය සියයට 20ක පමණ ප්‍රමාණයකින් අඩුව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. එයට හේතුව ජූනි මාසයේදී අඩු මිලට මත්පැන් ගත හැකි බව සලකාගෙන පාරිභෝගික ජනතාව මත්පැන් මිලට ගැනීම සීමාකර තිබීමය. මංගල සහ වෙනත් උත්සව සඳහා මත්පැන් මිලට ගැනීමට සූදානම්ව සිටින අය මාසය අවසන් වනතුරු බලා සිටීම මෙයට හේතුවයි.

පසුගිය සතියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් අතර හමුවක් පැවතුණි. එහිදී මත්පැන් බදු පසුගිය සමයේ විශාල ලෙස ඉහළ නැංවීම නිසා පාරිභෝගිකයාට දරාගන්නට බැරි තරමට මිල වැඩිවීමෙන් අලෙවිය සියයට 40 කින් පමණ පහළ ගොස් ඇති බව අනාවරණය විය. මෙම වසර ආරම්භයේ සිට මත්පැන් හා බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බවට නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යංශයට පැමිණිලි කර තිබේ. 

මේ තත්ත්වයට පිළියම් නොයෙදුවහොත් පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් ස්වකීය කර්මාන්ත කඩා වැටීමට ඉඩ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ආයතනවලින් යැපෙන දහස් සංඛ්‍යාත පිරිසකගේ රුකියා අහිමි වී ඔවුන්ගේ ජීවනෝපායවලට පහර වැදීමට ඉඩ ඇති බවටද අනතුරු හැඟවීමක් සිදුවිය. ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ සුරා බද්ද රුපියල් 2000 පමණ අඩු කිරීමට කටයුතු කිරීම සුදුසු බවය.

නීත්‍යානුකූල මත්පැන්වල මිල දරාගත නොහැකිවීම නිසා ජනතාව හොරට පෙරන මත්පැන්වලට යොමුව ඇති බව මෙහිදී අනාවරණය විය. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකද සඳහන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයද පවසන්නේ විෂ මත්පැන්වලට යොමුවීම නිසා ජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇති බවය. ආරෝග්‍ය ශාලාවලට පැමිණෙන ජනතාවට බෙහෙත් හිඟය නිසා නිසි ප්‍රතිකාර කළ නොහැකි අතර ඔවුන් පෞද්ගලික ඔසුසල්වලට යොමු කිරීමට සිදුවීම නිසා ඇතැමුන් බෙහෙත් ගැනීමට වත්කමක් නැතිවීමෙන් ජීවිතවලට පවා තර්ජනයක් ඇතිවී තිබෙන බව අනාවරණය විය.

අරක්කු නිෂ්පාදනය කිරීම සඳහා සීනි සමාගමෙන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් යොදාගන්නා නමුත් පසුගිය දිනවල එතනෝල් අලෙවි නොවීම නිසා එතනෝල් ලීටර් ලක්ෂ 15ක් පමණ අලෙවි කරගත නොහැකිවීමේ ගැටලුවක් පැනනැගී ඇති බවද කියැවේ. මේ නිසා සීනි සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇහිරීම හේතුවෙන් දුෂ්කරතාවලට පත්ව ඇති අතර එතනෝල් ලීටරය රුපියල් 1000 දක්වා මිල අඩු කිරීමට සමාගම තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ.

මේ පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක සුරාබදු කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පැවසුවේ සුරාබදු අඩුකරන ලෙස ස්වකීය දෙපාර්තමේන්තුව මෙයට පෙර කිහිප වතාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර ඇති නමුත් ප්‍රතිඵලයක් ලැබී නැති බවය. 

මත්පැන් බෝතලය මිලෙන් සියයට 85-90 පමණ ඇත්තේ සුරා බදු සහ විවිධ බදු වර්ග බව ඔහු පැවසූ අතර බදු අඩු වුවහොත් මිලද අඩු වීමෙන් අලෙවිය වැඩිවිය හැකි බව කීවේය. එසේම වර්තමානයේ විවිධ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් පාරිභෝගිකයා ගැටලු රුසකට මුහුණ පා ඇති අතර මත්පැන් මිල ඉහළ දැමීමද ඔවුන්ගේ ගැටලු උත්සන්න වීමට හේතුවන බව ඔහු කීවේය.

කෙසේ වුවද මත්පැන් මිල අසීමිත ලෙස ඉහළ යාමෙන් මිලදී ගැනීම අඩු වී රජය බලාපොරොත්තු වන ආදායම් මට්ටමට ළඟාවීමට නොහැකි වන බව මැදහත් විෂ්ලේෂකයන්ගේ අදහස වෙයි. එසේම නීත්‍යානුකූල මත්පැන්වල මිල අඩු කළ විට එයට සමානුපාතිකව අවිධිමත් ලෙස පෙරන මත්පැන්වල මිලද අඩු වන බව ඔවුන්ගේ අදහස වේ. ඒ නිසා විෂ මත්පැන් මර්දනය කිරීම සඳහා නීතියෙන් අනුමත කර නිෂ්පාදනය කරන මත්පැන්වල මිල අඩු කිරීම විසඳුමක් වේද යන්නද සැක සහිත වෙයි. 

එසේම ආගමික සහ සංස්කෘතික දෘෂ්ටියෙන් බලන වැඩිදෙනා මත්පැන් මිල පහළ හෙලීම පිළිබඳ විවේචන එල්ල කිරීම නිසා මෙය සමාජ ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ ඇති බවට විශ්වාසය පළ වේ. අනික් අතට සෑම පාරිභෝගික ද්‍රව්‍යයකම මිල වැඩිවෙමින් පවතින වාතාවරණයක මත්පැන් මිල අඩු කිරීමට කටයුතු කළහොත් එය පිළිබඳ රජය දෝෂාරෝපණයට ලක්විය හැකි බවටද අනතුරු හැඟවේ. එසේම බදු අඩු කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට අපහසු කාර්යයක් විය හැකි බවට අනතුරු හැඟවේ.

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණි.

එම රුපියල් 294/- ක මුදල ඉවත් කළ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභය සඳහා වෙන්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා දේශයට පැවසීය. එලෙස මත්පැන්වලින් අය කරන ප්‍රධාන බදු වර්ග වන්නේ සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වර්ග රැසකි.

බදු නිසා මත්පැන් මිල ඉහළ ගොස් ඇති නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටී ඇති බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. මෙහිදී මත්පැන් බද්ද රුපියල් 2000/- කින් අඩු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

කෙසේ වුවද මත්පැන් මිල අඩු කිරීමට යන බවට මේ වනවිට රටපුරා රාවයක් පැවතීම හේතුවෙන් මේ දිනවල මත්පැන් අලෙවිය තවදුරටත් පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බදු බර ගියාම ගල් බෝතලේ නියම මිල රුපියල් 294යි - ලබන මාසයේ සිට අරක්කු සහ බියර්වල මිල අඩු වෙයි Rating: 5 Reviewed By: webgossip24.com