LPG ගෑස් යනු ශ්‍රී ලංකාවේ මුළුතැන්ගෙවල් වල භාවිතා කරනු ලබන ප්‍රධානතම ඉන්ධන වර්ගයයි. කුඩා පරිමාණයේ වීදි ආහාර කඩවල සිට මහා පරිමාණ අවන්හල්, හෝටල් දක්වා සියල්ල ක්‍රියාත්මක වන්නේ LPG ගෑස් මත පදනම්වයි.
කෙසේ වෙතත්, මෙය කාර්යක්ෂම ඉන්ධන ප්‍රභවයක් වුවද, නොසැලකිලිමත්කම, නුසුදුසු උපාංග භාවිතය හෝ කලට වේලාවට උපාංග නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් LPG ගෑස් ආශ්‍රිත අනතුරු ඇතිවීමේ අවදානම ඇති වීම ඉතා සුලභව දැකිය හැකිය.
මීට සති තුනකට පෙර, එනම් 2026 ජූනි 9 වන දින තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක සිදු වූ දරුණු ගිනි ගැනීම, ගෑස් අනතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඉතාමත් ආසන්නතම සිදුවීමකි. මෙම ඛේදජනක සිදුවීමෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ අවන්හල් සේවකයින් තිදෙනෙකු අකාලයේ ජීවිතක්ෂයට පත් වූ අතර මෙහිදී මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ මේ සඳහා හේතු වී ඇත්තේ දරුණු ගෑස් කාන්දුවීමක් බවයි.
එදිනෙදා LPG පරිහරණය කරන පුද්ගලයින් ලෙස මෙවැනි ව්‍යසනයන් අනාගතයේදී වළක්වා ගැනීම උදෙසා, නිසි පරිදි ගෑස් උපාංග තෝරා ගැනීම, නිසි කලට වේලාවට ඒවා නඩත්තු කිරිම අනිවාර්යෙන්ම සිදු කල යුතු දෙයකි.
1. ගෑස් සිලින්ඩරයේ උපාංග පිලිබඳ නිතරම සැලකිලිමත් වන්න
ගෑස් අනතුරු බොහොමයක් සිදුවීමට ප්‍රධානතම හේතුව වනුයේ සිලින්ඩරයට සවි කරනු ලබන උපාංග වල පවතින දෝෂ හා ගැටළු වේ. අද වනවිට වෙළඳ නාමයක් නොමැති හෝ බාල ප්‍රමිතියෙන් යුත් ගෑස් උපාංග බොහොමයක් වෙළඳපොළේ ඇති අතර මෙවැනි බාල උපාංග, මුළුතැන්ගෙයි පවතින අධික තාපය සහ පීඩනය හමුවේ මේවා ඉතා ඉක්මනින් ක්‍ෂය වීමට හා පලුදු වීම් ඇති වීමට ලක්වන අතර, එමනිසා මෙවැනි අනතුරු ඇතිවීමේ අනදානම ඇතිවේ.
මෙවැනි අනතුරු ඇති වීම වළක්වා ගැනීම සඳහා, සෑම මුළුතැන්ගෙයකම සහතික කළ, උසස් තත්ත්වයේ ගෑස් උපාංග කට්ටල භාවිතා කළ යුතුය. වඩාත්ම වැදගත් දෙය නම්, මෙම උපාංග සඳහා නිශ්චිත කල් ඉකුත්වීමේ කාල සීමාවන් පවතින අතර ඒවා නිසි කලට වේලාවට මාරු කිරීම කළ යුතුය.
- හෝස් බටය සෑම වසර 2 කට වරක්ම මාරු කිරීම සිදුකළ යුතුය. හෝස් බට නිරන්තරයෙන් උෂ්ණත්ව වෙනස්වීම්, පිසින ලද තෙල් වැනි දේ සඳහා නිරාවරණය වීම සහ නිතරම ඇදීම් වලට ලක් වීම නිරන්තරයෙන් සිදු වේ. කාලයත් සමඟ එහි ඇති රබර් අභ්‍යන්තර ආවරණය ඉරිතලා යන අතර, එමඟින් පහසුවෙන්ම සියුම් ගෑස් කාන්දුවීම් ඇති වීම (micro-leaks) සිදු විය හැක. හෝස් බටය පිටතින් කොතරම් හොඳින් පෙනුනද, අනිවාර්යෙන් සෑම වසර දෙකකට වරක්ම එය අලුතින් මාරු කිරීම සිදු කල යුතුය.
- රෙගියුලේටරය සෑම වසර 5 කට වරක්ම මාරු කිරීම සිදු කල යුතුය. රෙගියුලේටරය මඟින් සිලින්ඩරයේ සිට ගෑස් ලිප වෙත ගලා යන ගෑස් ප්‍රමාණය සහ පීඩනය පාලනය කිරීම සිදු කරනු ලබයි. කාලයත් සමඟ එහි අභ්‍යන්තරයේ ඇති ඩයප්‍රෑම් (diaphragms) සහ ස්ප්‍රිං ගෙවී යාම සුලබව සිදුවේ. එනිසා රේගියුලේටරයේ පීඩන දෝෂ ඇතිවිය හැකි අතර, එමගින් ඇතිවිය හැකි බලපෑම් මඟහරවා ගැනීම සඳහා, රෙගියුලේටරයක් සෑම වසර පහකට වරක්ම අනිවාර්යයෙන්ම මාරු කිරීම සිදු කළ යුතුය.
2. අවන්හල් හා හෝටල් මුළුතැන්ගෙවල් අධි - පීඩන රෙගියුලේටර් බාවිතා කිරීමෙන් වැලකීම.
ලංකාවේ අවන්හල්වල දක්නට ලැබෙන පොදු මෙන්ම අතිශය භයානක පුරුද්දක් වන්නේ, දැඩි ගිනි දැල්ලක් ලබා ගැනීම සඳහා තනි සිලින්ඩරවලට සෘජුවම සාමාන්‍ය අධි-පීඩන රෙගියුලේටර් සවි කිරීමයි.
වාණිජ මට්ටමෙන් ආහාර පිසීම සඳහා අධික තාපයක් අවශ්‍ය වුවද, තනිව පවතින සිලින්ඩරයකට සෘජුවම අධි-පීඩන රෙගියුලේටරයක් සම්බන්ධ කිරීම එයට සුදුසු විසඳුමක් නොවේ. එමගින් රබර් හෝස් බටයට සහ ගෑස් ලිපට දැඩි පීඩනයක් එල්ල වේ. මෙම නිසා හෝස් බටය එකවරම පුපුරා යාම හෝ ගෑස් සම්බන්ධතාවය බිඳ වැටීමේ අවදානමක් ඇති විය හැකි අතර, එය අප මෑතදී ඇසූ තලවතුගොඩ අවන්හලේ ඇතිවූ දරුණු ගිනිගැනීමට සමාන අනතුරක් ඇති කිරීමට හේතු විය හැක.
මෙයට වෘත්තීයමය විකල්පයක් ලෙස ගෑස් නල පද්ධතියක් (Gas Pipeline System) සවි කිරීම අපට සිදු කල හැකිය.වේගයෙන් ආහාර පිසීම සඳහා ඔබේ අවන්හලට හෝ හෝටලයට අධික පිඩනයකින් ගෑස් අවශ්‍ය වේ නම්, ගෑස් ලිප් වලට තනි, තනි ලෙස අධි-පීඩන රෙගියුලේටර් බාවිතා කිරීම වෙනුවට, ඔබ මනාව සැලසුම් කර සකසන ලද ගෑස් නල පද්ධතියක් බාවිතා කිරීම ඉතා යෝග්‍ය වේ.
3. නිසි ලෙස වාතාශ්‍රය ලැබෙන පරිදි මුළුතැන්ගෙය සැකසීම (Proper Kitchen Ventilation)
අප බාවිත කරනු ලබන LPG (ගෑස්) සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩිය. එනිසා, ගෑස් කාන්දුවක් සිදු වූ විට එම ගෑස් ඉහළට ගොස් වහලයෙන් හෝ වාකවුළු තුලින් පිටතට නොයයි; ඒ වෙනුවට එය පොළොව දෙසට ගිලා බසින අතර, මුළුතැන්ගෙයි මුළුවල සහ වසා ඇති ස්ථානවල එකතු වේ. මුළුතැන්ගෙය තුල වායු සංසරණය නිසි පරිදි සිදු නොවන්නේනම් නම්, විදුලි ස්විචයකින් හෝ ශීතකරණයක කොම්ප්‍රෙසරයකින් පිටවන කුඩා ගිනි පුපුරකට පවා මහා පරිමාණ ගිනිගැනීමක් ඇති කළ හැකිය.
එමනිසා මුළුතැන්ගෙයි වාතය නිරන්තරයෙන් සංසරණය වීම සඳහා විවෘත ජනේල, වාතාශ්‍ර සිදුරු (air vents) හෝ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු එක්සෝස්ට් පද්ධතියක් සවි කර තිබීම (heavy-duty exhaust systems) සිදු කල යුතුය.
ඔබ කාර්යබහුල අවන්හලක් පවත්වාගෙන ගියද, නැතහොත් ඔබගේ නිවසේ මුළුතැන්ගෙය වුවද, අදම ඔබේ ගෑස් පද්ධතියේ ආරක්ෂාව පරීක්ෂා කර බලන්න. ඔබගේ මුළුතැන්ගෙය නිසි වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කරන්න, ප්‍රමිතියෙන් යුතු ගෑස් උපාංග කට්ටල බාවිත කිරීමට වග බලාගන්නා අතරම ඔබේ ගෑස් උපාංග එනම් ගෑස් රේගියුලේටරය වසර පහකට වරක් ද, හෝස් බටය වසර දෙකකට වරක් ද මාරු කිරීමට වග බලාගන්න.
එමෙන්ම ඔබ මහා පරිමාණ මුළුතැන්ගෙයක් පවත්වාගෙන යන්නේ නම්, වහාම වඩාත් ආරක්ෂිත, වෘත්තීයමය ගෑස් නල පද්ධතියක් (pipeline system) වෙත අදම මාරු වන්න.
ශ්‍රී ලාංකීය මුළුතැන්ගෙවල් සැමටම ආරක්ෂිත තැනක් බවට පත් කිරීමට අපි සැවොම අදම ක්‍රියාත්මක වෙමු.