728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, May 21, 2023

මගේ පෙම්වතා මට වඩා බාල නිසා ඔහු කැමැති නෑ මගේ වයස කියනවට


මේධා ජයරත්න කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් ආ කලා ශිල්පිනියක්. ඇය විටෙක නිවේදිකාවක් ලෙසත්, විටෙක රංගන ශිල්පිනියක් ලෙසත් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ තැනැත්තියක්. කලා ක්ෂේත්‍රයට එන යන බොහෝ දෙනා අතරේ ඇය තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නඟා ගන්නටත් වෙහෙසුණ කෙනෙක්. ඒ සුන්දර කලා ශිල්පිනිය අද අපේ කතාබහට එක්වුණා.

ඔබ කාලෙකට කලින් නිවේදන භූමිකාව තුළත් බැබළුණ කෙනෙක්. ආයෙත් නිවේදිකාවක් ලෙස ඔබට ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබිලා?

මේ දවස්වල බ්‍රහස්පතින්දා නුග සෙවණට මම නිවේදිකාවක් ලෙස සම්බන්ධ වෙනවා. දම්මිකා අක්කා මට ඒ වෙනුවෙන් ආරාධනා කළාම මම බොහොම කැමැත්තෙන් ඒ ආරාධනාව බාර ගත්තා. නිවේදනයයි රංගනයයි ගත්තම නිවේදනයට මම වැඩිපුර කැමැත්තක් අදටත් දක්වනවා. ඒකයි නිවේදනයට ලැබුණ අවස්ථාව සතුටින් බාරගත්තේ.

මේධා ජයරත්න කියන රංගන ශිල්පිනියට දැන් මොකද වෙලා තියෙන්නේ?

රංගන කටයුතු පැත්තෙන් ඒකාංගික නාට්‍ය බොහොමයක් කළා . ඒ නිර්මාණ විකාශය වුණා. දීර්ඝව විකාශය වෙන නාට්‍යවල නම් මම මේ දවස්වල දකින්න නැහැ.

නිර්මාණවල පේන්න නොහිටිද්දී ඔබව නිර්මාණකරුවන්ට අමතක වෙලාද?

නිර්මාණවලට ආරාධනා ලැබුණොත් මම රඟපානවා. සමහර අවස්ථාවල බජට් ප්‍රශ්න එක්ක නිර්මාණවලට සම්බන්ධ වෙන්න බැරි අවස්ථා තියෙනවා. අපේ මුදල ගැන කිව්වම ඒවට එකඟ නොවෙන අය ඊට වඩා අඩු මුදලට වැඩ කරන කෙනෙක්ව සම්බන්ධ කරගෙන නිර්මාණ කරනවා. ඒවගේ වෙලාවට ඒ නිර්මාණ අතහරිනවා. මගේ වටිනාකම දෙන නිර්මාණවලට තමයි මම සම්බන්ධ වෙන්නේ.

නිතර පේන්න ඕනේ කියලා අඩු මුදලට වැඩ කරන්න හිතිලා නැද්ද?

අනේ නැහැ. මාව පේන්න නැති වෙයි කියලා මට කවදාවත් බයක් ඇති වෙලා නෑ. දැන් ටෙලිවිෂනයටත් වඩා සමාජ මාධ්‍ය දියුණුයි. ඒවා තුළ අපි සක්‍රියයි. සමාජ මාධ්‍ය හරහාත් අපිට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මට කවදාවත්ම ඕනවෙලා නෑ නාට්‍යවල නිතර පේන්න. නිතර පේන්න මොනවා හරි දෙයක් කරනවා කියන තැන මම නැහැ. මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරපු අවුරුදු 20 ඇතුළේ ප්‍රේක්ෂකයන්ට මතක හිටින දේවල් මම කරලා තියෙනවා. ඒ නිසා නිතර පේන්න නොහිටියත් මාව අමතක වෙන්නේ නෑ ඔවුන්ට. ඒ නිසා මගේ වටිනාකම හෑල්ලුවට ලක් කරන්න කැමැති නැහැ.

නිර්මාණ තෝරා බේරා ගෙන කරලත් ඔබ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කොහොමද?

මම මගේ ව්‍යාපාරයක් කරගෙන යනවා. වෙන රටවල වගේ කලාව කර්මාන්තයක් ලෙස අපේ රටේ දියුණු නැහැ. මට උපාධියක් තියෙනවා. මම වෙන රැකියා කරලා ඒවායින් ඉවත් වෙලා තමයි කලාව තෝරා ගත්තේ. දැන් අපිට කලාවම කරලා ජීවත් වෙන්න බැහැ. ඒ නිසා වෙනත් දෙයක් කරලා අපි අපේ ආර්ථික ස්ථාවරය හදාගන්න ඕනේ. ඒ නිසා මම ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා. නරක දේවල් කරනවා නෙමෙයි නේ. අපි හොඳ දෙයක් කරලා අපේ ස්ථාවරය හදාගත්තට ප්‍රශ්නයක් නැහැනේ.

ඔබේ පුතා ඉන්නේ විදේශයක නේද?

පුතාව රට යවන්න මට ලොකු ආසාවක් තිබ්බා. අපි කාලයක් එංගලන්තයේ හිටියා. ලංකාවට එන්න හදද්දිත් පුතා ඒකට ආස වුණේ නැහැ. මට තමයි වෙන රටක ඉන්න බැරි. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය එක්ක එයාව විදේශ රටකට යවනවා කියලා මම පොරොන්දු වුණා. දැන් පුතා ඉන්නේ කැනඩාවේ. පුතාගේ අප්පච්චිත් ඒකට උදවු කළා.

දෝණි දැන් ඉන්නේ ඔබ ගාවද? ඇයගේ පියා ගාවද?

දෝණි එයාගේ තාත්තා එක්ක ඉන්නේ. මගේ ගෙදරත් එනවා. දුව ඉපදුණේ එංගලන්තයේ. එයාටත් ලොකු වුණාම ඒ රටට යන්න පුළුවන්.

දැන් ඔබ ආයෙත් ආදරය විඳින කෙනෙක්.?

මගේ ජීවිතේ මට වැටෙන්නේ නැතුව ඉන්න ශක්තිය දෙන කෙනෙක් මගේ පිටුපස්සේ සෙවණැල්ල වගේ ඉන්නවා. වෙලාව ආවම ඒ කෙනා කවුද කියලා කියන්නම්.

ගොසිප්වලින් මේධා කවදාවත් සැලිලා නැද්ද?

මුල්ම කාලේ හිත රිදුණ තැන් තිබුණා. නමුත් කාලයත් එක්ක තේරුම් ගත්තා ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා.ඒවා කට කහනවට කියපු කතා නෙමෙයි. අපි ගැන කතා වෙන්න කතා වෙන්න අපිට නරකක් වෙන්නේ නෑ. අපිට තවත් වැඩ වැඩි වෙනවා. මම ගොසිප්වලට විශේෂ කැමැත්තක්වත් අකැමැත්තක්වත් දක්වන්නේ නෑ. නමුත් ගොසිප් වලින් හානියක් වෙලා නෑ මට. මොකද ඒවා මම ඇඟට ගන්නේ නෑ.ඔය මොන දේවලින් අපිව වට්ටන්න හැදුවත් මට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස අදටත් අඩු වෙලා නෑ.

ඔබ ඔබගේ පෙනුම ගොඩක් මේන්ටේන් කරනවා කිව්වොත්?

ගැහැනියක් ලස්සනට ඉන්න ඕනේ. ගොඩක් අය දරුවෝ ලැබුණාම තමන්ව අතහැරලා දානවා. මම එංගලන්තයේ අවුරුදු ගාණක් හිටියා. එහේ දරුවෝ හතර පහ ඉන්න කාන්තාවොත් ලස්සනට ඉන්නවා. නිළියක් නිසා නෙමෙයි ඕනම කාන්තාවක් තමන් ගැන හිතලා ලස්සනට ඉන්නවානම් හොඳයි. කලා ශිල්පිනියන් විදිහටත් අපේ පැවැත්මට අපිව මේන්ටේන් කරන එක හොඳ දෙයක්. මම ජිම් යනවා. සැලෝන්වලටනම් යන්නේ කොණ්ඩේ කපන්න වගේ දේකට. ගෙදරදී මගේ සම වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තිබ්බොත් කරනවා.

කාන්තාවෝ සාමාන්‍යයෙන් තමන්ගේ වයස හංගනවා.හැබැයි ඔබ එහෙම නෑ?

මගේ වයස අවුරුදු 46ක්. මම මගේ වයස කවදාවත් හංගන්නේ නෑ. මගේ පෙම්වතා මට වඩා බාල නිසා ඔහු කැමැති නෑ මගේ වයස කියනවට. ඒත් ඇයි අපි වයස හංගන්නේ. මගේ වයසට මම මාව මේන්ටේන් කරනවා. මගේ වයස හංගන්න ගියොත් ඒක විහිළුවක් වෙන්න පුළුවන්. මම මගේ පුතාගේ වයසේ අයට පුතා කියලා කතා කරන්නේ. බලෙන් තරුණ වෙන්න හදන්නේ නෑ මං

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මගේ පෙම්වතා මට වඩා බාල නිසා ඔහු කැමැති නෑ මගේ වයස කියනවට Rating: 5 Reviewed By: webgossip24.com