728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 10, 2023

19 පෙම්වතිය ගබ්සා කරන්නැයි 23 පෙම්වතා දොස්තරට තර්ජනය කොට ගහන්න හදලා


 පෙම්වතියට ගබ්සාවක් කර දෙන ලෙස තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට පහර දීමට තැත් කළ තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සැකකාර තරුණයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වන්නේ මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි අවිවාහක කාන්තාවකි. එම තරුණයා වෙනත් තරුණියක සමග ද පෙම් සබඳතාවක් පවත්වා​ගෙන ගොස් ඇතැයි පැවසේ.


සති 29ක පමණ වයසැති නොමේරු කලලයක් සහිත ඇය තමන්ට අමාරු බව පවසමින් මීට දින දෙකකට පමණ ඉහතදී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇත. එදින පටන් එම කාන්තාව බැලීමට සැකකරු ⁣රෝහලට පැමිණ ඇති බවත් එහිදී ඔහු අසාධ්‍යව සිටින කාන්තාවගේ දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ප්‍රතිකාර ඒකකයේ කාර්ය බාර වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවත් පැවසේ.


සැකකරු වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙලෙස නිරන්තරයෙන් බලපෑම් කර ඇතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැබිනිය පරීක්ෂා කිරීමෙන් පසුව ඇයට හෝ ඇයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නැති බවද ඔහුට පහදා දී ඇත.


වෛද්‍යවරුන් පවසන දේ තරයේම ප්‍රතික්ෂේප කළ තරුණයා අනිවාර්යයෙන්ම ඇයට ගබ්සාවක් සිදු කරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට බල කරමින් ආවේගශීලීව හැසිරී තිබේ.


මේ පිළිබඳ පැහැදිලි කර දීමට පෙරේදා (8 වැනිදා) පස්වරුවේ එම ප්‍රතිකාර ඒකකය බාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු තම නිල කාමරයට ඔහු කැඳවූ අවස්ථාවේදී වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු පිළිනොගත් සැකකරු එම වෛද්‍යවරයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ දරා ඇත. පහරදීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේදී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් තිබේ.


මේ සම්බන්ධයෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත. එම සිද්ධියෙන් පසු ගමෙන්ද පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ සිදු කරයි.


මීට පෙර වෙනත් චෝදනාවක් යටතේ බන්ධනාගාරගතව සිට ඇති සැකකරු ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින අයකු බවද අනාවරණය වී ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 19 පෙම්වතිය ගබ්සා කරන්නැයි 23 පෙම්වතා දොස්තරට තර්ජනය කොට ගහන්න හදලා Rating: 5 Reviewed By: webgossip24.com