728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, May 13, 2023

පස්සෙන් ගිහින් කිසිම දෙයක් ගන්න මම කැමැති නැහැ


 ෂෙහානි කහඳවල රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය හිමිකරගත් කෙනෙක්. රංගනය, නර්තනය නිවේදනය යන භූමිකාවල දක්ෂතා පෙන්වපු ඇය තවත් ක්ෂේත්‍රයකට පිම්මක් පැනලා. ඒ පිම්ම එක්ක ෂෙහානි මොන වගේ දේවල්වලට සූදානම් වෙනවද කියලා දැන ගන්නත් එක්ක අපි ඇයට කතා කළා.

ෂෙහානි මොකක්ද මේ අලුත් පිම්ම?

ඔය අහන්නේ මගේ ගීතය ගැනනේ. ගොඩක් කාලෙක ඉදන් වුවමනා වෙලා තිබ්බා මගේම ගීතයක් කරන්න. උන්මාදෙන් ගීතයෙන් ඒ හීනය හැබෑ කර ගත්තා. මේ ගීතය ලිව්වේ දිදුල තරුසර. ගීතය සංගීතවත් කළේ yaka. තනුව dkmගේ. මං වෙනුවෙන් ගීත නිර්මාණය කරන මගේ පළමු පියවර ඇතුළේ යාළුවෝ කිහිප දෙනෙක් මගේ පිටිපස්සෙන් හිටියා.

රංගන ශිල්පිනියට වගේම ඔබ තුළ ඉන්න ගායිකාවටත් පළමු වැඩෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවලු නේද? ලැබෙන ප්‍රතිචාර එක්ක දිගටම ගීත නිර්මාණ කරයි වගේ?

මේ දවස්වලත් අලුත් ගීතයක වැඩ කරගෙන යනවා. ඉක්මනින්ම අලුත් නිර්මාණ ටිකක් එළියට ගේන්න තමයි සූදානම් වෙන්නේ. shehanikahadawala යූටියුබ් නාලිකාවෙන් ඒ ගීත නිර්මාණ ඉදිරියෙදි දකින්න පුළුවන් වෙයි.

ඔබ සංගීතය හදාරලා තියෙනවද?

පාසල් යන කාලේ මම සංගීතය වෙනම හැදෑරුවා. රංගනය නිසා ඒ සංගීත ගමන මඟදි නතර වුණා. දැන් ආයෙත් ඒ ගමන හැදෑරීමක් එක්ක පටන් ගන්න ඉන්නේ. සංගීතය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉගෙන ගෙන හොඳ ගමනක් යන්න ඉන්නේ.

ඉදිරියෙදි ප්‍රසංග වේදිකාවටත් ගොඩ වෙයිද?

අනිවාර්යයෙන්ම. මේ වෙනකොට ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන ප්‍රසංගවලටත් එක් වෙන්නයි ඉන්නේ.

රංගනයෙන් මුලින්ම ඉදිරියට ආවට ඔබේ හිත වැඩිපුර තිබිලා තියෙන්නේ සංගීතයට ළැදිව වගේ?

සංගීතය කියන්නේ මම ගොඩක් ආස දෙයක්. ආදරය කරන දෙයක්. රංගනයට වඩා මම සංගීතයට සමීපයි. හැබැයි මට රංගනයට, නර්තනයට, චිත්‍ර අඳින්න වගේම නිවේදනයටත් හැකියාව තියෙනවා. එහෙම දක්ෂතාවයන් පැකේජ් එකක් විදිහට කෙනෙක්ට හම්බෙන්නේ කලාතුරකින්. ඉතිං මට හිතෙනවා මම ඒ හැකියාවන් ඔක්කොම පිහිටන්න තරම් වාසනාවන්තයි කියලා. දෙවියෝ මට ඒ හැකියා ඔක්කොම දීලා තියෙන්නේ හැමදේම කරලා හොඳම එකෙන් ඉස්සරහට යන්න වෙන්න ඇති. ගායනයත් ඒ හොඳම දේ අතරේ තියෙනවා කියලා තේරුණේ පස්සේ. දැන් ඒ දේත් ආසාවෙන් කරගෙන යනවා.

සංගීතය එක්ක රංගනය අතහැරිලා යයිද?

නැහැ. රංගනය අතහරින්නේ නෑ. ඒකත් මට තියෙන දක්ෂතාවයක්. මගේ දක්ෂතා හිමින් සීරුවේ පෙන්නගෙන පාඩුවේ වැඩ කරගෙන යන්න තමයි මම උත්සාහ කරන්නේ. රංගනයෙන් වැඩ කිහිපයකට සම්බන්ධ වුණා. ඒවත් ඉදිරියෙදි දකින්න ලැබෙයි.

ෂෙහානි රංගනයේ වැඩ ගොඩක එල්ලිලා නෑ වගේ. ඇයි මේ හිමින් ගමනක් යන්නේ?

මම මාව ගොඩක් මේන්ටේන් කරනවා. කිසිම වෙලාවක සෝඩා බෝතලය ඇරියා වගේ වාෂ්ප වෙලා යන්න මම කැමැති නැහැ. මට ඕනේ මිනිස්සු ආදරය කරන, එයාලා අතරේ රැදෙන චරිතයක් වෙන්න. එහෙම චරිතයක් වෙන්න ලැබීම වාසනාවක්. මාව දන්න අය වගේම නොදන්න පිරිසකුත් ඉන්නවා. දවසින් දවස මාව අලුත් පිරිසක් හඳුන ගන්නවා. ඒ ඔවුන් මට දෙන ආදරය ඔහේ කරන්නන් වාලේ වැඩ කරලා වාෂ්ප වෙලා යන්න දෙන්න මං ආස නැහැ. ඒකයි තෝරාගැනීම් එක්ක පරිස්සමට මේ ගමන යන්නේ. කොහොම වුණත් මිනිසුන්ගේ ආකර්ෂණය මට ලැබිලා තියෙනවා. ඒ දේ මම ආදරයෙන් විඳිනවා.

හැබැයි ඒ ආකර්ෂණය, ආදරය තවම සම්මානයකින් ලැබුණේ නෑ නේද?

මම සම්මාන පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. දැන් සම්මාන කොහොම හම්බෙනවද කියලා හිතා ගන්නත් බෑ. සමහර ජනප්‍රිය සම්මාන එහෙම ගන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් දැක්කම හිතිලා තියෙනවා එයාලා මොන වැඩේද ඉන්නේ කියලා. මාවනම් සම්මානවලට නිර්දේශ වෙලාවත් නෑ. තමන් තමන්ගේ වටිනාකම දන්නවානම්, තමන් කරන දේ හරියට කරනවා නම්, සම්මාන පස්සෙ යන්න ඕනේ නෑ. සම්මාන ලැබෙනවා කියන්නේ හොඳ ලකුණක්. හැබැයි මට සම්මාන ලැබුණේ නෑ කියලා කිසිම දවසක දුකක් නෑ. පස්සෙන් ගිහින් කිසිම දෙයක් ගන්න මම කැමැති නැහැ. අවංකව මට දෙයක් ලැබුණොත් එදාට මම සතුටු වෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඔබ පළකරන ඡායාරූප සරාගී කියලා බොහෝ අය කියනවා. ඔබට ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරත් ඇති? ඒ ගැන මොකද හිතෙන්නේ?

මම සමාජ මාධ්‍යවල දාන ඡායාරූප එක එක අය එක එක විදිහට දකින්න පුළුවන්. මම දාන දේවල්වලින් කිසිම කෙනෙක්ට හානියක් නෑ. ඇත්තටම නරක කිසි ප්‍රතිචාරයක් මම සතපහකට ගණන් ගන්නේ නෑ. මම කරන්නේ මට ඕනෙ දේ. මං වැරැද්දක් නොකරනවානම් ඒ ගැන අනෙක් අය කියන කතා මට අදාළ නැහැ. විවේචන නම් කරන්න ඕනතරම් අය ඉන්නවා. ඔය විවේචන දැක්ක නොදැක්ක ගාණට ඔළුවට ගන්නැතුව මම ඉන්නවා.

ආදර යෝජනා ඕන තරම් තියෙන ෂෙහානි දැන්නම් පෙම්වතියක් වෙලා ඇති නේ
ද?

බොරු කියන්න ඕනේ නෑනේ. ආදර යෝජනා එනවා. හරි කෙනෙක් තවම ලැබුණේ නෑ. හරි කෙනා ලැබුණම පෙම්වතියක් වෙනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පස්සෙන් ගිහින් කිසිම දෙයක් ගන්න මම කැමැති නැහැ Rating: 5 Reviewed By: webgossip24.com