728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, April 29, 2023

දැන් අපිට පවුලක් තියෙනවා ඒ සතුට ගෙනාවේ චිරන්ත


ඉර පායා කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසි සමිතා මුදුන්කොටුව මේ වෙද්දී මතකයේ රැඳුණු ගීත ගොන්නකම හිමිකාරියක්. ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය ලද මියුරු කටහඬක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව සහ ඇයගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන සමඟින් ඉතාමත් සතුටින් ජීවත් වෙනවා. ඒ බව ඔවුන් සමාජ මාධ්‍යයට එකතුකරන ජායාරූප සහ වීඩියෝ පටවලින් දකින්න ලැබෙනවා. ඒ නිසාම ලෝකයා මොනවා කිව්වත් මේ තරම් සතුටින් ජිවත් වීම ගැන ඇගෙන් විමසන්න අපට හිතුණා. 

මේ දවස්වල මොකද වෙන්නේ? 
පසුගිය දවස්වල ප්‍රසංග කිහිපයක් තිබ්බා. ඒ දේවල්වලට සහභාගී වුණා. ඒ එක්කම මේ වෙද්දී පවතින උණ හැදුණා. මේ ටිකේ නම් ගෙදරටම වෙලා ඉන්නවා. 

කවුරු මොනවා කිව්වත් සමිතාගේ පවුලේ අය සතුටින් ඉන්නේ. කොහොමද ඔහොම සතුටින් ඉන්නේ? 
සතුට කියන දේ අපි විසින්ම හොයාගන්න ඕනේ. එහෙම නැතුව වෙන අය අපිව සතුටු කරනකම් අපිට ඉන්න බැහැ. මම සාමාන්‍යයෙන් කාගේවත් සතුටක් බලාගෙන මගේ සතුට ඇති කර ගන්න කෙනෙකුත් නෙවෙයි. මම හැමවෙලාවෙම කවීට සහ ශේන්ට කියලා තියෙන්නේ අපි සතුටින් ඉමු. එතකොට අපිට වැඩක් නැහැ අනිත් අය මොනවා කිව්වත්. අපි සතුටින් ඉඳලා තමයි ජීවිතය ගෙනියන්න ඕනේ. මොකද අපි කාගේවත් දේවල් හොයන්නෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. එතකොට ඉබේම සතුට ලැබෙනවා. 

චිරන්තගේ හමුවීම තුළින් ජීවිතේ කොයි විදියටද වෙනස් වුණේ? 
ඒකට මම මෙහෙම කියන්නම්. මගේ දුව කවී එක සැරයක් කියලා තිබ්බා මම ඉස්සර අම්මිව හැමදාම දකින්නේ ගේ ඇතුළට වෙලා ඉන්න කෙනෙක් විදියට කියන එක. ඒ කියන්නේ මම එළියට බහින්නේ නැහැ. දරුවෝ දෙන්නා එක්ක ගෙදරට වෙලා ජීවත් වුණේ. ඒ නිසා කවී කියලා තිබ්බා දැන් එයා ගොඩක් සතුටුයි. මොකද අම්මි එළියට යනවා. ඒ කියන්නේ ගෙදරින් එළියට බහින එකත් ලොකු සතුටක්නේ. ඉතින් දැන් අපි හරි සතුටින් හතරදෙනාම බය නැතුව එළියට යනවා. මොකද දැන් අපිට පවුලක් තියෙනවනේ. ඒ සතුට ගෙනාවේ චිරන්ත. 

හතර දෙනා එකතුවෙන් සතුටින් ඉන්න වීඩියෝ සමාජ මාධ්‍යට එකතු කරනවනේ. ඒ ගැනත් පොඩ්ඩක් කියමුද? 
ගොඩක් අය හිතනවා වීඩියෝවලට විතරයි අපි මෙහෙම ඉන්නේ කියලා. ඒ වුණාට අපිව ළඟින් ආශ්‍රය කරන කට්ටිය දන්නවා අපි මේ විදියටමයි සැබෑ ජීවිතේ ඉන්නෙත්, ඒ සැබෑ ජීවිතේම තමයි වීඩියෝවලින් දකින්න ලැබෙන්නේ කියන එක. එහෙම නැතුව මිනිසුන්ට මවාගෙන පේන්න ඉන්න අය නෙවෙයි අපි. 

කොහොමද චිරන්ත මුලින්ම හමුවෙන්නේ? 
මුලින්ම මම දකින්නේ චිරන්තගේ ටික් ටොක් එකක්. ඒක දැක්කම තමයි මම මේ කවුද කියලා හොයන්න ගත්තේ. ඒ ටික් ටොක් වීඩියෝ එක මම දකින්නේ අපේ දක්ෂ ආදරණීය නර්තන ගුරුවරයෙක් වන ගයාන් ශ්‍රීමාල්ගේ වට්ස්ඇප් ස්ටේටස්වල. ඉතින් මම ගයාන් මල්ලිගෙන් ඇහුවා මේ කවුද කියලා. ඊට පස්සේ එයා තමයි මට කිව්වේ මෙයා හරිම ලස්සනට ටික් ටොක් කරන කෙනෙක් කියලා. ඊට පස්සේ මම කිව්වා මම හරි ආසයි එයා එක්ක කතා කරන්න කියලා. එහෙම තමයි මේ සම්බන්ධකම ඇති වුණේ. 


ටික් ටොක්වලින් ලැබෙන කමෙන්ට්ස්වල වැඩිපුරම ඇත්තේ, ගැහැනු ළමයින්ගෙන්නේ, ඒ ගැන ප්‍රශ්නයක් නැද්ද? 
අනේ නැහැ. මම එහෙම අවුල් ගන්න ඕනේ නැහැනේ. මට චිරන්තව විශ්වාසයි නම් සහ චිරන්ත උපරිමයෙන් මට ආදරේ කරනවා නම් මම පොඩ්ඩක්වත් සැක කරන්නේ නැහැ. සැකය ඇතිවුණොත් ඒ පවුල් ජීවිතය ඉවරයිනේ. ඒනිසා අපි දෙන්නට දෙන්නා ආදරේ නම් සැකයක් ඇතිවෙන්න විදියක් නැහැ. එහෙම නැත්නම් සැක කරන්න ගත්තොත් අපිට වෙන්නේ සැකෙන්ම ජීවත් වෙන්න. ඒනිසා මගේ ගැන එයාටවත් එයා ගැන මටවත් කිසිම සැකයක් නැහැ. 

කොහොමද චිරන්තගෙන් ලැබෙන සහයෝගය? 
මටයි මගේ ළමයි දෙන්නටයි වචනවලින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබෙනවා. පසුගිය දවස්වල මම කවී සහ ශේන් අපි තුන්දෙනාටම උණ හැදිලා නැගිටගන්නවත් බැරුව හිටියේ. ඇත්තටම කියනවා නම් චිරන්ත අපිව බලා ගත්ත විදිය එක්ක මට තව මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක පවා හිතුණා. අපි සාමන්‍ය විදියට ජීවත් වෙන අය. අපිට ආදරය රැකවරණය ලැබෙනවා නම් තව මොනවද ඕනේ. ඇත්තටම ඒ දේ චිරන්තගෙන් උපරිමයෙන් ලැ‍ෙබනවා. 

චිරන්තට සින්දු කියන්න බැරිද? 
පුළුවන් පුළුවන්, ගෙදර JBL එක දාලා ශේන් එක්ක එකතුවෙලා සින්දු කියනවා. 

කවදද ඔය හැකියාවන් ගෙදරින් එළියට එන්නේ? 
ඒක ඉතින් රූපවාහිනී වැඩසටහනක දී දැක බලා ගන්න පුළුවන් වෙයි. 

චිරන්තට රඟපාන්න ඇරයුමක් ලැබුණොත් අවසර දෙනවද? 
මගෙ නම් කිසිම අකමැත්තක් නැහැ. මම එයාට කිසිම තහංචියක් පනවන්නේ නැහැ. නමුත් චිරන්ත කමැති නැහැ රඟපාන්න. 

කවීව දැන්ම විවාහ කර දෙන්න අදහසක් නැද්ද? 
කසාදය කියන එක එයා කැමැත්තෙන් කර ගන්න ඕනේ. එහෙම නැතුව අපි මැදිහත් වෙලා බලෙන් බන්ඳලා දීලා තේරුමක් නැහැ. කසාදයෙන් පස්සේ ජීවත් වෙන්නේ එයානේ. ඒ නිසා එයාට කැමැති කෙනෙක් හොයාගන්න නිදහස දීලා තියෙනවා. සමහරවිට කෙනෙක් හොයාගෙනත් ඇති. 

එයා කියන්නේ නැද්ද? 
නැහැ. මම එහෙම අහන්නෙත් නැහැ. කෙනෙක් ඉන්නවා නම් එයා කියයිනේ මට. 

අපි ශේන් ගැනත් කතා කරමු එයා වැඩියෙන්ම කැමැති මොනවටද? 
ශේන් ක්‍රිකට්වලට තමයි වැඩිපුරම කැමැති. ශේන් පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට්වලට පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් එයා ඒ පැත්තෙන් ඉහළට යයි. 

හතර දෙනාම ගෙදර නිවාඩුවේ ඉන්න දවස ගතවෙන්නේ කොහොමද? 
වැඩිපුරම කරන්නේ අපි හතර දෙනාම එකතු වෙලා කෑම හදන එක. ඊට පස්සේ හවස් වෙනකොට හතරදෙනාම පොඩි රවුමක් දාලා ඇවිදලා එන්න යනවා. එහෙම සතුටින් තමයි අපි හතර දෙනාම ජීවිතේ ගෙවන්නේ. ගෙදර අය එක්කම ජීවත් වෙද්දී අනිත් අය කියන දේවල් ආදාළ වෙන්නේ නැහැ. 



හොඳටම කෑම හදන්නේ කවුද? 
කවී තමයි හදන්නේ. 

සමාජයෙන් විවිධ කතා පැතිරෙන එක ගැන මොකද හිතන්නේ? 
සමාජයේ ඔය අනම් මනම් කතා කියන්නේ ගොඩක් අය නෙවෙයි. ගොඩාක් අය අපිට ආදරේ කරනවා. ඔය අපිට ඇද කියන්නේ මොකක් හරි අඩුවක් තියෙන අය. ඒ කියන්නේ හරි ආදරයක් ලබන්නේ නැති, ලස්සන පවුල් ජීවිතයක් නැති අය තමයි ඔය කතා හදන්නේ. සාමාන්‍යයෙන් හොඳ පවුල් ජීවිතයක් ගත කරන වැදගත් විදියට ජීවත් වෙන අය අනම් මනම් කියන්නේ නැහැ. මොකද එයාලගේ සතුට එයාලා ගාව තියෙනවනේ. සතුටක් නැති අය තමයි අනිත් අයගේ සතුට දිහා බල බල හිනාවෙවී ඇද හොය හොය ඉන්නේ. 

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? 
අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. එදා හිටිය තැන ගැනත් මම ගොඩක් සතුටුයි. අද ඉන්න තැන ගැනත් ගොඩක් සතුටුයි. ඒ හැර අනේ මෙහෙම වුණා නම් හොඳයිනේ කියන සිතුවිල්ල මගේ ජීවිතේ නැහැ. 

එදා මෙදාතුර ලබන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ? 
ඒක නම් මට එදා වගේම නොඅඩුව අදත් ලැබෙනවා. මම ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරේ කෙනෙක්. ඒ නිසා ඒ ආදරේ එයාලටත් දැනෙනවා ඇති. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයන් මට ආදරේ කරන්නේ. 


ජීවිතේ වැඩියෙන්ම විශ්වාස කරන්නේ කාවද? 
මම විශ්වාස කරන්නේ මාවමයි. හැබැයි මට ඉන්න හොඳම යාළුවො කවුද කියලා ඇහුවොත්, එතැනදී මගේ උත්තරේ වෙන්නේ මගේ දරුවෝ දෙන්නා සහ චිරන්ත. 

ඒ කියන්නේ තමන්ට හරි කියලා හිතෙන දේ කරන කෙනෙක්? අනිවාර්යෙන්ම ඔබ හිතුවක්කාරයි ද? 
අනේ නැහැ. 

තමන්ට හරි කියලා හිතිලා මෙච්චර කල් ගත්ත තීරණ ගැන අද මොකද හිතෙන්නේ, පසුතැවීම් තියෙනවද? 
අනේ නැහැ. මම මෙච්චර කාලයක් අරන් තියෙන්නේ මට හරි කියලා හිතෙන තීරණ. මට ඒවා වැරදිලත් නැහැ. මම ඒ ඒ අවස්ථාවන් වල උපරිමයෙන්ම මගේ ජීවිතේ රසවිඳලා තියෙනවා. ඒ නිසා මම ගත්ත තීරණ මට වැරදිලා නැහැ. 

චිරන්ත ගැන කෙටියෙන්ම කිව්වොත්? 
කෙටියෙන්ම කියනවා නම් චිරන්ත ඇත්තටම හරිම හොඳ කෙනෙක්. කාලයක් ගිහින් හරි මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබුණා. 

ආදරේට වයසක් නැහැ කියන එකට ඔබ හොඳ උදාහරණයක් නේද? 
කට්ටියටම ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපේ වයස. හැබැයි ඔය කතා වෙන අය අපේ වයස් ගැන හරියටම දන්නෙත් නැහැ. එතකොට අපේ හරි වයස දැනගත්තත් ඒ අයට ප්‍රශ්නයක් ඇති කර ගන්න හේතුවකුත් නැහැ. හේතුව ඒ අයගේ කවුරුත් මම අරගෙනත් නැහැ. චිරන්ත කාටවත් අයිතිවෙලා ඉඳලා නෙවෙයිනේ මම ගත්තේ. ප්‍රංශයේ ජනාධිපතිටත් මේ ප්‍රශ්නයම තමා තියෙන්නේ. හැබැයි එහෙ අයට වැඩ තියෙන නිසා වයස ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. 


ඉස්සරහට එන්න තියෙන අලුත් නිර්මාණ මොනවද? 
අලුත් නිර්මාණයක් එන්න තියෙනවා. රූප රචනාවක් එක්කම තව මාසයක් වගේ කාලයක් ඇතුළත බලාගන්න පුළුවන් වෙයි. 

නිර්මාණ එකතුවක් එක්ක ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද? 
ඒකට ඇත්තටම බාලගිරි දෝෂය. බාලගිරි දෝෂය කියන්නේ මට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න කියලා ගොඩක් අය ඉන්වයිට් කරලා තියෙනවා. ඒ පැත්තෙන් මම පොඩි පසුබෑමක් තියෙනවා. මට තාම ඒක පුද්ගල ප්‍රසංගයක් ගැන හිතෙන්නේ නැහැ. 

ඇයි ඒ... 
ඇයි කියලා මමත් මගෙන්ම අහනවා. හැබැයි මම කම්මැලි නැහැ. නමුත් මටම තේරෙන්නේ නැහැ ඇයි මම ඒක කරන්නේ නැත්තේ කියලා. ඒක ඇත්තටම මම මගෙන් අහන ප්‍රශ්නයක්. 

හෙට දවසේ බලාපොරොත්තු මොනවද? 
එහෙම ලොකු සැලසුම් නැහැ. මේ ඉන්න විදියට සතුටින් ජීවත් වෙන එක තමයි. අපි හතර දෙනාම මේ ඉන්න මොහොතේ සතුටින් ඉන්නයි තීරණය කරලා තියෙන්නේ. 
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දැන් අපිට පවුලක් තියෙනවා ඒ සතුට ගෙනාවේ චිරන්ත Rating: 5 Reviewed By: webgossip24.com