728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 30, 2023

වෙසක් මැයි මාසයේ ඔබේ ලග්නයට කොහොමද?


සුන්දර බක්මහ ගෙවී යත්ම එළැඹෙන මැයි මාසය ද අපට සුවිශේෂී වන්නේ බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් උත්සවය නිමිත්තෙනි. එම අසිරිමත් මාසයේ යෙදන ග්‍රහ සිත්තම සලකා බැලීමේදී ඡායා චන්ද්‍රග්‍රහණ 1ක් ද අනෙකුත් ග්‍රහ මාරු 4ක්ද දක්නට ලැබෙයි. සිකුරු මැයි 2 වන දින 13.51ට මිථුනයට යාමද මැයි 10 දින කුජ ග්‍රහයා 13.47ට කටක රාශියට පිවිසීම ද මැයි 15 දින 11.45ට රජ වෘෂභ රාශියට පිවිසීම ද මැයි 30 වන දින 19.40ට සිකුරු කටක රාශියේ ගෝචර වීමද සිදුවෙයි.

මේ අනුව වෙනත් මාසවල මෙන්ම කාලගුණික දේශගුණික විපර්යාස වෙනසක් නැතිව පෙන්නුම් කරයි. සමහර විට දැනට පවතින දැඩි උණුසුම් වාතාවරණය අඩුවේ යැයි සිතන්නට ද පුළුවන. ආර්ථික, සාමාජීය, දේශපාලනික අර්බුද ද අඩුවක් නොවනු ඇත. බුධ ග්‍රහයාගේ වක්‍ර ගමන අවසන් වන බැවින් මැයි 16 වන දින සිට කුඩා දරුවන් හට බලපෑවා වූ අපල අවම වෙයි. එළැඹෙන මාසය පුරාවටම ධාර්මික බව, යහපැවැත්ම, පරිත්‍යාගශීලිත්වය වැනි උතුම් මානුෂීය ගුණධර්මවලට අනුගත වෙමින් දාන, ශීල, භාවනා වැඩසටහන්වල නිරත වීම ඔබ අප කාගේත් යුතුකම වනු ඇත. වෛරය වෙනුවට මෛත්‍රිය පැතිරවීමට සිතට ගතහොත් කිසිදු අසුබ ග්‍රහ කිරණක් ඔබ වෙත බල නොපවත්වනු ඇත. රාශි 12ට අයත් ඔබට වෙසක් මාසයේ සුබ අසුබ කෙසේදැයි විග්‍රහයක යෙදෙමු. 

මේෂ - යහපත් අපේක්ෂාවන් මුදුන්පත් වන කාලයක්

ගෘහ ජීවිතය - ප්‍රධානීන්, බුද්ධිමතුන් නිවසට පැමිණෙන අතර ඔවුන් ඇසුරෙහි තම ආකල්ප සිතුම් පැතුම් යහපත් මාර්ගයකට යොමු වීමක් දක්නට ලැබෙයි. අලංකාර ඇඳුම් පැලඳුම් මෙන්ම නිවසට ආලෝකයක් දෙන ගෘහ භාණ්ඩ ආදිය ද මිල දී ගැනීම් සිදු වෙයි. මාපිය සහෝදර දූදරු සබඳතා සහ ප්‍රේමණීය බැඳීම් වර්ධනය වේ. සියලු යහපත් අපේක්ෂාවන් මුදුන්පත් වන කාල වකවානුවකි. අනාගත දියුණුව වෙනුවෙන් සැලසුම්සහගත වෙයි.

රැකියා - රැකියා කාරක සෙනසුරු 10 අධිපති ද වෙමින් අයස්ථාන වූ 11 වැන්නේ ගෝචරව සිටීම රැකියාවේ සුබවාදී බවක් පෙන්නුම් කරයි. උසස්වීම්, වැටුප් වැඩි වීම් හෝ රැකියා නොලැබුණු මේෂ ලග්න හිමියනට තමා බලාපොරොත්තු වෘත්තීන් ලැබීමට ද ඉඩකඩ පෙන්වයි.

අධ්‍යාපනය - විශේෂයෙන් ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දුවා දරුවනට සිය දක්ෂතා එළිදැක්වීමට සුදුසු වාතාවරණයක් සැලසෙනු ඇත. අනෙකුත් දරුවන්ගේ ද දැනුම බුද්ධිය වර්ධනය වන කාලයකි.

සෞඛ්‍යය :- බුධගේ වක්‍ර ගතිය තවදුරටත් පවතින බැවින් තරුණ වයසේ දරුවනට අපල අනතුරු බලපවත්වන බවක් දක්නට ඇත. තම ආරක්ෂාව සලසා ගැනීම වැදගත් වන බැවින් දෙමාපිය අවවාද පිළිගැනීම, අවේලාවේ ගමන් බිමන් නොයාම හොඳය.

සුබ අංක - 5, 7, 9, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

ඔබගේ අපල අවම කර ගැනීමට දානමාන කටයුතුවල යෙදෙන්න. ශල්‍යකර්මවලට භාජනය වූ අයට උපකාර කරන්න. රතු නෙළුම් මල් පූජා කරන්න. කතරගම දෙවියන්ට පූජෝපහාර කරන්න.

වෘෂභ - ප්‍රමාද වූ කටයුතු ඉටුවෙයි

ගෘහ ජීවිතය - තත්කාලයට අනුව සිකුරු ලග්නයේ බලවත් වෙමින් වෙසක් මාසය උදාවෙයි. ප්‍රමාද වූ සියලු කටයුතු ඉටුකර ගැනීමට කායික මානසික ශක්තිය ලබා දෙයි. සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාරී වන ග්‍රහ යෝජනා ස්ථිර වෙයි. දරුවන්ගේ ජයග්‍රහණ දක්නට ලැබෙන, විසිතුරු ඇඳුම් පැලඳුම් සුඛෝපභෝගී භාණ්ඩ නිවසට ගෙන එන කාල වකවානුවකි. සඳු සිවුවැන්නේ දිග්බලය පතුරුවමින් සිටීයි.

රැකියා - රැකියා ස්ථානය වූ 10 වැන්නේම ශනි බලවත්ව සිටීම කරන කියන රැකියා ව්‍යාපාර සාර්ථක වීමට බලපවත්වයි. උසස්වීම් වැටුප් වැඩි වීම් අතිකාල දීමනා ලැබීම් මෙන්ම රැකියා නොලද වෘෂභ ලග්න හිමි අයට රැකියා ලැබීම ද පෙන්නුම් කෙරේ. ආර්ථිකය ශක්තිමත් වේ. ගුරු 12 වැන්නේ නිසා වියදම් ද වැඩි විය හැකිය.

අධ්‍යාපනය - කලා අංශයෙන් ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ ජයග්‍රාහී මාසයකි. එමෙන්ම තාක්ෂණ විෂයන් ගණිතමය හැකියාවන් ද ඔප්නංවා ගැනීමට ශනි - සිකුරු පිහිටීම් ඉවහල් වෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු පිළිබඳ දෙමාපියන්ට සතුටු විය හැකි කාලයකි.

සෞඛ්‍යය - 6 වැන්නේ ගෝචර කේතු නිසා අසනීප චර්මගත රෝග, ඇස්වහ කටවහ දෝෂවලට ලක්වීම් මෙන්ම 12 වැන්නේ රාහු නිසා පාදවල තුවාල අසනීප හදිසි සුළු අනතුරු ද ඇතිවිය හැකියි. වචනය පාලනය කර ගැනීම ද ගැටලු මඟහරවා ගැනීමට පිටුබලයකි.

සුබ අංක - 3, 5, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, රෝස,

සුබ දවස් - සිකුරාදා, බදාදා

ඔබගේ අපල අවම කර ගැනීමට කරඳ කොළ මත පහන් තබා සිකුරාදා දිනවල බෝධි පූජා තබන්න. දසදිසා පිරිත කියන්න. ශ්‍රවණය කරන්න.

මිථුන - ජීවිතයේ සුවපහසුව ඇති කරයි

ගෘහ ජීවිතය - සෙනසුරු 9 අධිපති ලෙස 9 වැන්න වූ පුණ්‍යස්ථානයේම සිට ලග්නය දැකීම සුබ පල ගෙන දෙයි. පින් සිතුවිලි උදාකරයි. සසර කරන ලද පුණ්‍යකර්ම ඉස්මතු වී ජීවිතයේ සුවපහසුව ඇති කරයි. සමාජ සේවා සුබසාධන කටයුතුවල නියැළෙයි. කර්මස්ථාන අධිපති ගුරු අයස්ථානගත වීම ආර්ථිකය ශක්තිමත් කරයි.

රැකියා - ගුරු අයස්ථානයේ සිට රැකියාවේ දියුණුව සෞභාග්‍ය ළඟා කරයි. එම අයස්ථානයේම රවි උච්ච බලයෙන් සිටීම හේතුවෙන් රාජ්‍ය අංශවල සේවය කරන අයට උසස්වීම් ප්‍රධානීන්ගේ උපහාර හිමිකර දෙයි. ව්‍යාපාරික දියුණුව ඇති වෙයි.

අධ්‍යාපනය - පොතපත දැනුම ලබාදෙන කේතු 5 වැන්නේ ගෝචරව සිටීම හේතුවෙන් අධ්‍යාපනය ලබන සියලුම දුවා දරුවන්ගේ නැණ නුවණ ඉහළ නැංවෙයි.

සෞඛ්‍යය :- කුජ ලග්නගතව සිටීම අනුව හිසරදය, සෙම් රෝග, හිසෙයි තුවාල ආදිය ඇතිවීමට පුළුවන.

සුබ අංක - 4,5, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

ඔබගේ අපල අවම කර ගැනීමට වචනය ප්‍රවේශම් සහිතව භාවිත කරන්න. අන්‍යයන්ගේ සිත් නොරිදන්න. ඉවසීම ප්‍රගුණ කර ආවේගශීලිත්වය පාලනය කරගන්න. විහාරස්ථානයට යන්න. බෝධි පූජාවලට සහභාගි වන්න. භාවනාවක නිරත වන්න.

කටක - විදේශගත මිතුරන්ගෙන් උදවු උපකාර

ගෘහ ජීවිතය - කර්මස්ථානයේ ගුරු මිත්‍රශීලිව සිටීම කර්ම බලය ශක්තිමත් කරන්නකි. සාධාරණ යුක්ති ගරුක ජීවන රටාවකට පොළඹවයි. සිකුරු 11 වැන්න වූ අයස්ථානයේ සිට මැයි මාසය ආරම්භ වීම ඉඩකඩම්, දේපළ, නිවාස ජයග්‍රහණ පෙන්නුම් කරයි. විදෙස්ගත වීම් ද පෙන්නුම් කරයි. කුජ 12 වැන්නේ නිසා සහෝදර අමනාපකම් ඇතිවිය හැකියි. රාහු කර්මස්ථානයේ බැවින් ගමන් බිමන් වැඩි කරයි. කෙසේ වුවත් ඒරාෂ්ටකයක් ද පවතියි.

රැකියා - කර්මස්ථානය රැකියා ස්ථානය වූ 10 වැන්නේ සුබ ග්‍රහයන් මෙන්ම අසුබ ග්‍රහයන් ද සිටින බැවින් රැකියා වෙනස්වීම් විය හැක.

අධ්‍යාපනය - උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීම් ඉල්ලා තිබූ අයට සුබදායක ආරංචි ලැබේ. කලා ක්ෂේත්‍රයේ දරුවන්ගේ දක්ෂතා එළිදක්වන්නට අවස්ථා මතු කෙරේ.

සෞඛ්‍යය - සෙනසුරු ඒරාෂ්ටකයක් බලපවත්වන බැවින් යන එන ගමන බිමන කරන කියන වැඩ කටයුතුවලදී බුද්ධිමත්ව ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

සුබ අංක - 5, 7, 9, සුබ වර්ණය - සුදු,

සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ඔබගේ අපල අවම කර ගැනීමට බෝධි පූජා, පත්තිනි මෑණියන්ට පූජෝපහාර දක්වන්න.

සිංහ - සුඛෝපභෝගී දිවියක්

ගෘහ ජීවිතය - ලග්නාධිපති රවි 9 වැන්නේ බලවත්ව සිටීම ඉතාම සුබ පල දෙන කරුණකි. නායකත්ව ශක්තිය ඔබට ලැබෙන අතර අන්‍යයන් ඔබට අවනත වේ. සිකුරු 10 ස්වක්ෂේත්‍ර වීම අනුව සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් හිමි වෙයි. ගුරු 9 වැන්නට යාම තුළ ඔබ වඩාත් ධාර්මික කටයුතුවලට යොමුවීමක් දක්නට ලැබෙයි. ලිපි ලේඛන කටයුතුවලින් පල ප්‍රයෝජන අත්වේ. විදෙස් සංචාර යෙදේ. අයස්ථානයේ කුජ සතුරුව සිටීම අනුව ව්‍යාපාර ආදිය සම්බන්ධ කරුණු කාරණා නිසි ලෙස ඉටු කිරීමට වගබලා ගන්න. ණයට දීම, ණයවලට අත්සන් තැබීම ආදිය අසුබ වේ.

රැකියා - දැනට පවත්වාගෙන යන ආර්ථිකය නංවන ව්‍යාපාර කටයුතු දියුණු තත්ත්වයක් ඇති කරවයි. නව රැකියා ලැබීම් ද පෙන්වන අතර අතමිට හිඟ නොවේ. තැන්පත් ධනය වර්ධනය වේ.

අධ්‍යාපනය - උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වී විභාග ජයග්‍රහණ උදෙසා ඇප කැප වී කටයුතු කරයි. විදෙස් අධ්‍යාපනයට ද යොමු වීම් ඇත.

සෞඛ්‍යය - සෙම්, පිත්, උණ රෝග, වකුගඩු මුත්‍රා දෝෂ බලපෑමට පුළුවන.

සුබ අංක - 4, 5, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, සිකුරාදා

ඔබගේ අපල අවම කර ගැනීමට සූර්ය පිරිත, මෝර පිරිත කියන්න. ශ්‍රවණය කරන්න. ඉරිදා දින බෝධි පූජා පවත්වන්න. රතු නෙළුම් මල් පූජා කරන්න. ඊශ්වර දෙවියනට පින් දෙන්න.

කන්‍යා - තෙවරක් සිතා ඕනෑම කටයුත්තක් කරන්න

ගෘහ ජීවිතය - සුඛෝපභෝගී දිවියකට හිමිකම් පැවතුණත් ගුරු 8 වැන්නට ගෝචර වීම එතරම් සුබපල නොපෙන්වයි. ඔබ මිල මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී වංචාකාරයින්ට හසුවීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වන්න. කරන කියන සෑම කටයුත්තකදීම දෙවරක් නොව කීප වරක් සිතන්න. ණයට අත්සන් කිරීම, ණයට දීම ඔබව අපහසුතාවට පත්කරන බැවින් ඒවායින් වළකින්න. අවුරුද්දක් පමණ කාලය එලෙස අවදානම දරන්න.

රැකියා - රැකියා කාරක සෙනසුරු 10 වැන්න දැකීම අතින් ඔබට සුබ පල ගෙන දෙන රැකියා කටයුතුවල නිරත වීමට ඉඩකඩ ලැබෙනු ඇත.

අධ්‍යාපනය - විද්‍යා අංශවල ඉගෙනුම ලබන දුවා දරුවනට දැනුම ශක්තිය වර්ධනය වන ග්‍රහබල පවතී.

සෞඛ්‍යය - උණ රෝග, අජීර්ණ මෙන්ම උෂ්ණාධික රෝග ද ඇතිවිය හැකියි. හදිසි අනතුරු ආදියට ඉඩ ඇත. කල්පනාකාරී වන්න.

සුබ අංක - 5, 9, සුබ වර්ණය - කොළ,

සුබ දවස් - බදාදා, සිකුරාදා

බෝධි පූජාවලට යොමු වන්න. අඟහරුවාදා දවස නිර්මාංශව දහමට යොමුවන්න. සෑම අඟහරුවාදා දිනකම උදේ හෝ සවස බෝධි පූජා පවත්වන්න. කහ, රතු මල් වැඩියෙන් ගන්න. ගුරු ග්‍රහයාගේ අපල දුරු වේවායි ප්‍රාර්ථනා කරන්න. අභිසම්භිධාන පිරිත කියන්න.

තුලා - සිතුම් පැතුම් ඉටුවන කාලයක්

ගෘහ ජීවිතය - සිතුම් පැතුම් ඉටුවන දරුවන්ගේ දියුණුව යුග ජීවිතයේ සමගිය බලපවත්වන කාලයකි. ඔබෙන් ඈත් වූ හිත මිතුරන්, ඥාතීන් පවා නැවත ළං වෙයි. කීර්තිය, ප්‍රශංසා, යසස ඔබ කරා එයි. ප්‍රධානීන්ගෙන් උදවු උපකාර පූජ්‍ය පක්ෂයේ ආශීර්වාද ලැබෙන අතර ගේ දොර යාන වාහන ඉඩකඩම් හිමි වීමට ඉඩ ඇති වකවානුවකි. විදෙස් ගමන් ද යෙදෙන්නට පුළුවන.

රැකියා - 10 වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති අයස්ථානයේ සිටීම සුබ පල ගෙන දෙයි. ඇවිදිලි සහිත රැකියාවලට අවතීර්ණ වන අතර විදෙස් රැකියාවලට ද යොමුවිය හැක.

අධ්‍යාපනය - කේතු ලග්නගතව සිට 5 වැන්න දැකීම අධ්‍යාපනය ලබන දරුවන්ට පිටුබලයකි. කේතු තරමක් දුරට සතුරුව ලග්නයේ සිටින බැවින් බෝධි පූජා ආදියට යොමු වීම හොඳය.

සෞඛ්‍යය :- උණ රෝග, වකුගඩු මුත්‍රා ආසාදන, චර්මගත රෝගවලට ඉඩ ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රවේසම් වන්න.

සුබ අංක - 5, 6, සුබ වර්ණ - සුදු, රෝස, ක්‍රීම්,

සුබ දවස - සිකුරාදා

අපල අඩු කර ගැනීමටත් පවතින සුබ පල වර්ධනය කර ගැනීමටත් අන්‍යයන් සමඟ ගනුදෙනු කිරීමේදී යහපත් වචන පාවිච්චි කරන්න. ගරු කළ යුතු අයට ගරු බුහුමන් කරන්න. දානමාන දෙන්න. දෙවියනට පින් අනුමෝදන් කරන්න. සිකුරාදා දිනය නිර්මාංශ වී බෝධි පූජා තබන්න.

වෘශ්චික - යුග දිවියේ සතුට

ගෘහ ජීවිතය - ශනි ග්‍රහයා බලවත්ව සිවුවැන්නේ ගෝචරව සිටීම අනුව ගෙදර දොර දියුණුව පෙන්නුම් කරයි. වැඩිහිටියන්ගේ අනුශාසනා ඇතිව වැඩ කටයුතු කරන අතර නිවසේ පුණ්‍ය කටයුතු ද සිදු කෙරේ. සාමකාමී දිවියකට ඉඩ හසර පාදා ගැනීමට පුළුවන. යුග දිවිය සතුටින් ගත කරයි. දරුවන්ගේ දියුණුව, ප්‍රමාද වූ මංගල කාරණා ඉටුවෙයි. කුජ ග්‍රහයා 8 වැන්නේ සිටීම තරමක් දුරට සුබ පල අවම කරන්නට බලයි.

රැකියා - 9 වැන්නාධිපති 10 වැන්නට පැමිණ සිටීම අනුව විදේශ රැකියා ඉල්ලුම් කර තිබූ අයට සුබ ප්‍රතිඵල ඇතිවේ. මෙරට සිටින අයට ඇවිදිලි වැඩි රැකියාවලට ඉඩප්‍රස්ථා වැඩිපුර යෙදේ. ව්‍යාපාරවලට සුබය.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට වැඩි කැපකිරීම් කරන්නට දෙමාපියන්ට සිදු වේ.

සෞඛ්‍යය - කොඳුඇටපෙළේ වේදනා, පිත් රෝග, මුහුණ අවට ඉන්ද්‍රියයන්ගේ වේදනා අසනීප ඇති කරයි. හදිසි සුළු අනතුරු ආදියට ද ඉඩ ඇත.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ඔබගේ වචන නිසි ලෙස හසුරුවන්න. අන්‍යයන්ගේ සිත් නොතැළෙන පරිදි ඔවුන් සමඟ ආශ්‍රය කරන්න. සොබාදහම සමඟ අනුගත වී ගහකොළ සිටුවන්න. ඵලදායි වැඩක නිරත වන්න. අන්‍යයන්ට උපකාර කරන්න. අඟහරුවාදා දින බදාදා දින නිර්මාංශ වී බෝධි පූජාවලට යොමු වන්න.

ධනු - නැවතී තිබුණු ආදායම් මාර්ග නැවත සක්‍රිය වේ

ගෘහ ජීවිතය - ලග්නාධිපති 5 වැන්නේ සිට ලග්නය 9 වැන්න 11 වැන්න දැකීම හේතුවෙන් යහපත් දිවියකට වාසනාව මතුකර දෙයි. දරුවන්ගේ සුබ කටයුතු මෙන්ම නැවතී තිබූ ආදායම් මාර්ග නැවත ගොඩනැංවෙයි. යුග දිවිය සාමකාමීව විනෝදයෙන් ගත කරන්නට හැකිවේ. පසුගිය කාල වකවානුවේ ගත කළ ඒරාෂ්ටකය අවසන් වීමත් සමඟ මැයි මාසය පුණ්‍ය සිතුවිලිවලින් පල දරයි.

රැකියා - රැකියා කාරක සෙනසුරුට 7 වැන්න සහ අයස්ථානය දැකීම අනුව රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායම ආර්ථිකය ශක්තිමත් කරයි. නිවසේ සිට කරන කෘෂිකාර්මික කටයුතු භූමියෙන් ලබාගන්නා මැණික් මිනිරන් වැනි කර්මාන්තවල ද දියුණුවක් පෙන්වයි.

අධ්‍යාපනය - 5 වැන්න වූ විද්‍යාස්ථානයේ ත්‍රිවිද ග්‍රහ බලය ප්‍රාථමික අංශවල සිට උසස් අධ්‍යාපනය ලබන සියලු දරුවන්ගේ දැනුම ශක්තිය මතකය අවදි කර ජයග්‍රහණ ලබා දෙන්නට ඉවහල් වේ.

සෞඛ්‍යය - උදර රෝග, මුත්‍රා වකුගඩු ආසාදනවලට ඉඩ ඇත.

සුබ අංක - 5, 7, 9, සුබ වර්ණය - කහ,

සුබ දවස් - ඉරිදා, බදාදා, බ්‍රහස්පතින්දා

අපල අවම කර ගැනීමට ධර්මයෙහි නියැළෙමින් සංඝයා වහන්සේට ගිලන්පස ආදියෙන් සංග්‍රහ කරන්න. බෝ වෘක්ෂයට සත්කාර කරමින් පැන් කළ 3ක් දමන්න. බෝ කොළ අතින් අහුලා එම බෝ කොළ ඉවතට දමන්න. එවිට ස්පර්ශයෙන් අපල දුරු වේ. බෝධි පූජා තබන්න. දන්සැල් දෙන්න. ඒවාට උදවු කරන්න.

මකර - නොවිකිණුන ගේ දොර විකිණේ

ජීවිතය - සිවුවැන්නේ පවතින රවි බුධ ගුරු රාහු ග්‍රහ සිත්තම අනුව ගෙදරදොර දියුණුව පවුලේ සමගිය ඇතිවේ. සුළු

මතගැටුමක් ඇති වුවද එය දුරදිග නොයයි. දරුවන්ගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවේ. මංගල කාරණා, දරුපල ප්‍රමාද වූ අයට සුබ කාලයකි. ආර්ථිකය යහපත් අතට හැරේ. පදිංචි ස්ථානයේ දියුණුවට අවහිර බාධා තිබුණේනම් ඒවා ඉවත්වේ. විකුණා ගැනීමට අපහසුව තිබූ ගේදොර ඉඩකඩම් විකුණා ගැනීමට හැකියාව පෙන්වයි. සුබ කාලයකි.

රැකියා - රැකියා ස්ථානය වූ 10 වැන්නේ අධිපති සිකුරු පූර්ව පුණ්‍යස්ථානය තුළ සිටිමින් ආරම්භ වූ මාසය ඔබට යහපත් කර්මාන්ත කටයුතුවල නියැළෙන්නට අවස්ථාව උදාකර දෙයි.

අධ්‍යාපනය - ප්‍රාථමික අංශවල සිට අධ්‍යාපනය ලබන සියලු දරුවන්ගේ කලාත්මක හැකියාවන් වර්ධනය වන කාලයකි. ජයග්‍රහණ අත්පත් කර ගනී.

සෞඛ්‍යය - කොඳුඇටපෙළේ වේදනා, ගර්භාෂගත රෝග, සෙම් රෝග ඇතිවීමට පුළුවන‍.

සුබ අංක - 6, 8, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

දානමාන කටයුතු බෝධි පූජා තබා දෙවියනට පින් දෙන්න. වැටකෙයියා මල්, නිල් මල් පූජා කරන්න. තිරිසන් සතුන්ට ආහාර, ජලය දෙන්න. සමාජ ඇසුරේදී අන්‍යයන්ට ප්‍රියමනාපව කතාබහ කරන්න. උපකාර කරන්න.

කුම්භ - අලංකාර ඇඳුම් ආහාරපාන ලැබේ

ගෘහ ජීවිතය - ප්‍රිය සම්භාෂණවලට නිතර සහභාගී වේ. අලංකාර ඇඳුම් පැලඳුම් රස ආහාරපාන ලැබෙයි. සහෝදර බැඳීම් වර්ධනය වේ. බොහෝ විට තමන් කරන්නට යන කරුණු කාරණා පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙන්නට නොහැකිව පසුතැවිලි වේ. එලෙස වන්නේ පවතින ඒරාෂ්ටක තත්ත්වය මතය. වැඩිහිටි අයගේ උපදෙස් අනුව සිතා බලා තීන්දු තීරණ ගන්න. තනි මතයට වැඩ කිරීමට යාමත් මුදල් ණය දීම් ඇපවලට අත්සන් කිරීම් ආදියත් සුදුසු නැත.

රැකියා - 10 වැන්නේ අධිපති 5 වැන්නට පැමිණීමත් සෙනසුරු ලග්නයේ සිට 10 වැන්නට පැමිණීමත් අනුව වෛද්‍ය ඉංජිනේරු ආදී ක්ෂේත්‍රවල නියැළෙන වෘත්තිකයනට සුබ පල අත්වේ. කම්කරු ජනතාවට ද සහනදායී වැටුපකට හිමිකම් කිව හැකිය.

අධ්‍යාපනය - පෙර පාසල් සහ ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා මනාව ඔප් නැංවෙන කාලයකි. අනෙකුත් අංශවල දරුවන්ගේ පරිගණක දැනුම වර්ධනය වීමෙන් ඔවුන්ගේ කටයුතුවල සුබවාදී වෙනසක් නිර්මාණය වේ.

සෞඛ්‍යය :- හිසරදය, සෙම් රෝග, පාදවල වේදනා, අලස නිදිමත ගති මෙන්ම සුළු අනතුරු ඇතිවිය හැක.

සුබ අංක - 5, 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

අපල අවම කර ගැනීමට තිරිසන් සතුන්ට, ආබාධිත අයට අසරණ අයට උදවු කරන්න. බෝධි පූජා තබන්න. නුග වෘක්ෂයකට සත්කාර කරන්න.

මීන - උසස් නිලධරයන්ගෙන් උදවු පදවු

ගෘහ ජීවිතය - ලග්නාධිපති දෙවැන්නේත් තුන්වැන්න අධිපති තුන් වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන මාසය සුබ පල ඇති කරයි. ධනය අතින් යහපත් වේ. සහජස්ථානය පදිංචි ස්ථානයේ පිරිසිදුකමට මුල් තැනක් දෙයි. දෙවැන්නේ බුධ ආදිත්‍ය යෝගය පැවතීම නිසා උසස් නිලධාරීන්ගේ උදවු උපකාර හිමි වේ. ලිපි ලේඛන ජයග්‍රහණ අත්කර දෙයි. වචනයේ බලයෙන් අන්‍යයන්ගේ අවනතභාවය ලැබෙයි. යුග දිවිය සතුටින් ගත කළ හැකි අතර කලත්‍රයාගේ ආදායම් තත්ත්වය ද සරු වෙයි.

රැකියා - 10 අධිපති ගුරු 2 වැන්න වීම රැකී රක්ෂා ආදියෙන් හොඳ ප්‍රගතියක් ලබන්නටත් අතමිට සරු කර ගැනීමටත් හැකියාව පවතී. ගුරු වෘත්තිය, පෞද්ගලික පන්ති, පිරිවෙන්වල ගුරු භවතුන් වන අයට විශේෂයෙන් සුබදායකය. විදෙස් රැකියාවලට ද යොමු වීම් ඇති කරයි.

අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට කරුණු අවබෝධ කර දීමට මහත් වෙහෙසක් දරන්නට ගුරුවරුනට හා දෙමාපියනට සිදු වේ.

සෞඛ්‍යය - ස්නායු දුර්වලතා, පාදවල අසනීප, සෙම් රෝග ආදියට ඉඩ ඇත.

සුබ අංක 3, 5, 9, සුබ වර්ණ - රතු, කහ, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

බ්‍රහස්පතින්දා දින 7ක් බෝධි පූජා පවත්වන්න. දෙවියන්ට ඒ පිං අනුමෝදන් කරන්න. බෝ පත්‍ර ස්පර්ශ කරන්න. ඒවා අතින් අහුලා ඉවතට දමන්න. පැන් කළ දමන්න. විහාරස්ථානවල දියුණුවට යම් උපකාරයක් කළ හැකි නම් කරන්න. නිතර කහ පාට මල් පූජා කරන්න.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වෙසක් මැයි මාසයේ ඔබේ ලග්නයට කොහොමද? Rating: 5 Reviewed By: webgossip24.com