728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

අංක විද්‍යාවට අනුව මේ අවුරුද්දේ ඔබේ පලාපල


 අප්‍රේල් 14 වැනිදාට එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳ ශ්‍රී ලාංකික සියලු දෙනා නැවුම් බලාපොරොත්තුවක් තබාගෙන සිටින වෙලාවයි මේ. කාගේත් එකම බලාපොරොත්තුව සහ එකම පැතුම වන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා යන්නයි. අප එසේ පොදුවේ ප්‍රාර්ථනා කළත් ජ්‍යොතිෂ විද්‍යානුකූලව එය එසේ හැමෝටම එක හා සමානව පල නොදෙන බව කවුරුත් දන්නා කරුණකි. කෙනෙකුට සුබ වන විට තව කෙනෙකුට අසුබ වන අතර තවත් කෙනෙකුට මධ්‍යස්ථ පල උදා කරනු දක්නට ලැබෙයි. මේ ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ දෛව අංකයට අනුව කෙසේ බලපානවා ද යන්න පිළිබඳව අංක විද්‍යා ජ්‍යොතිෂය තුළින් පලාපල විස්තරයක් ඉදිරිපත් කිරීමටයි.

මෙම පලාපල විස්තර කියවීම සඳහා මුලින්ම ඔබ ඔබගේ දෛව අංකය කුමක්ද කියා සොයා ගත යුතුය. මෙය ඉතාම සරල දෙයක් වන අතර ඔබ දැනටමත් එය දන්නවා ඇතැයි සිතමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද මාසය දිනයට අදාළ අංක පිළිවෙළට ලියාගන්න. (උදා - 2005.03.22.) එසේ ලියාගෙන එම අංක පිළිවෙළට තනි අංකයක් වනතුරු එකතු කරගන්න. ඉහත උදාහරණ උපන් දිනය එසේ තනි අංකයක් එනතුරු එකතු කරගත් පසු අංක 5 ලැබෙන අතර එය ඔහුගේ දෛව අංකය වෙයි. මේ ආකාරයට ඔබගේ දෛව අංකය සොයා ගත් පසු ඔබගේ දෛව අංකයට අදාළ පලාපල දැන ගැනීමට පුළුවනි. එසේනම් ඔබේ දෛව අංක පලාපල දැනගෙන සාර්ථකත්වය වෙනුවෙන් උත්සාහයෙන් කටයුතු කරගැනීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සඳහන් කරමින් ඔබ සැමට බත බුලතින් සපිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

දෛව අංක 1 

පසුගිය වසරට වඩා බලාපොරොත්තු සහිත අවුරුද්දක්

අලුත් අවුරුදු උදාව අනුව 2023 වර්ෂය දෛව අංක එකෙන් උපන් ඔබට 2022 වර්ෂයට සාපේක්ෂව ඉතාමත් සුබදායක බලාපොරොත්තු සහගත වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය.

ගෘහ ජීවිතය - ඉතාමත් සාමකාමී මත භේදවලින් තොරව යහපත් ආකාරයට ගෘහ ජීවිතය ගත කළ හැකි බව සඳහන් කළ හැකිය. යම් ආකාරයක මතභේද තිබුණත් ඒවා එතරම් දුරදිග නොයන බවක් පෙන්නුම් කරයි. ඉවසීම වඩා වර්ධනය කරගැනීමටත් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීමටත් කල්පනාකාරී වීම හොඳයි. පවුලේ කෙනෙකුගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට සිදුවිය හැකිය. ආදරය සහ ප්‍රේමය විවාහය සම්බන්ධව ඉතාමත් වාසනාවන්ත බවක් පෙන්නුම් කරයි. විවාහ පමා වූ අයගේ එම කටයුතු මේ වසර තුළ සාර්ථක කර ගත හැකිය. නව ප්‍රේම සබඳතා වර්ධනය වීමක් පෙන්නුම් කරයි.

ආර්ථිකය - රැකියාවේ කටයුතු යහපත් ආකාරයෙන් කිරීමට හැකියාව ලැබෙන අතර රැකියාවේ උසස් වීම් මෙන්ම තනතුරු ආදිය ලැබීමට ඔබට වාසනාව ඇත. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ කටයුතුවලටත් සුබදායක වෙයි. මේ වසර තුළ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට හැකියාව ලැබෙන අතර පෙර වර්ෂයට වඩා යම් ආකාරයක තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්නුම් කරයි. නමුත් අනවශ්‍ය වියදම් ඇති කළ හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වන්න. තමාට යම් උරුම හිමිකම් තිබේනම් එම දේවල් හිමිවීමේ වාසනාවක් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය - ඔබට අන් අයගේ උදවු උපකාර ඇතිව තම අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට හැකියාව ලැබෙන වසරකි. තාක්ෂණික සහ සෞන්දර්ය අංශයෙන් ඉගෙනුම ලබන අයට වඩා යහපත් වෙයි.

සෞඛ්‍ය - උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න. එය ඔබට අහිතකර ලෙස බලපෑ හැකිය. එමෙන්ම ආමාශගත රෝග සහ නිදන්ගත රෝග සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්න.

ජය සංකේත - සුබ දවස් - ඉරිදා සහ සඳුදා, සුබ වර්ණ - රන්වන් වර්ණය, කහ සහ දුඹුරු, ජය අංක - 1, 2, 4, 7, 10

දෛව අංක 2

ආදරය, ප්‍රේමය සාර්ථකයි

2023 වර්ෂයේ අලුත් අවුරුදු උදාවට අනුව ඔබට මෙම වර්ෂය ඉතාමත් මිශ්‍රපල දායක වර්ෂයක් බව සඳහන් කළ හැකිය.

ගෘහ ජීවිතය - පදිංචි ස්ථානය තුළ යම් බාධාකාරී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී. වාස්තු විද්‍යානුකූලව එම කටයුතු නිවැරැදි කරගැනීම වඩාත් සුදුසු වෙයි. ගෘහ ජීවිතය තුළ යම් ආකාරයක මතභේද ඇතිවීමේ අවදානමක් පැවතිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. තම හිතවත් අයෙකු පිළිබඳව කනගාටුදායක පුවතක් අසන්නට සිදුවිය හැකිය. ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතු සාර්ථක කර ගත හැකිය. විවාහ කටයුතු සම්බන්ධව බාධාවක් නොවෙයි.

ආර්ථිකය - ඔබට රැකියාවක් ලැබීමේ වාසනාවක් පවතින අතර විදේශගත වීමේ බලාපොරොත්තුවක් තිබේ නම් එය සාර්ථක වන වසරක් වෙයි. කුමන බාධා ආවත් ආර්ථිකය යම් මට්ටමක පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරන අයට යම් දියුණුවක් ලැබිය හැකිය.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලට විශේෂ බාධාවක් පෙන්වන්නේ නැති වුවද උනන්දුව උත්සාහය අඩු වීමක් පෙන්නුම් කරයි. ඔබ ඔබගේ හිතේ ආත්ම ශක්තිය විශ්වාසය ගොඩනඟාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීම තුළ එම තත්ත්වය මඟ හරවාගෙන කටයුතු කළ හැකිය.

සෞඛ්‍යය - සෙම් ආශ්‍රිත රෝග තත්ත්ව සෑදීමේ වැඩි ඉඩක් පවතී. හතිය පපුවේ මහන්සිය ඇදුම වැනි රෝග තත්ත්ව තිබෙන අය වඩාත් ප්‍රවේශම් වීම හොඳයි. පපුව ආශ්‍රිත රෝග තත්ත්ව ඇති කළ හැකිය. අවදානම් සහිත රැකියා සහ අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න.

ජය සංකේත - සුබ දවස්. සඳුදා සහ සිකුරාදා, සුබ වර්ණ - සුදු, කොළ, ළා නිල් සහ රෝස, ජය අංක - 1, 2, 7, 10, 11 

 දෛව අංක 3

ඉතා වාසනාවන්ත අවුරුද්දක්

අලුත් අවුරුදු උදාවත් සමඟ දෛව අංක 3 හිමියන්ට ඉතා වාසනාවන්ත සුබපල දායක වසරක් උදාවන බව කිව හැකිය.

ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය තුළ ඉතාමත් සාමකාමීව සහයෝගීව කටයුතු කළ හැකි බව පෙනේ. බොහෝ අයගේ උදවු උපකාර හිමිවන වසරකි. පවුලේ අයගේ ද සහය ඔබට ලැබේ. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තරමක් බාධා ඇති වුවත් ප්‍රේම සබඳතා සාර්ථක කරයි. අන් අයගේ ආකර්ෂණය හිමි වන වසරකි.

ආර්ථිකය - ආර්ථිකය ශක්තිමත් වන අතර තැන්පත් මුදලක් නිතරම තමා සන්තකයේ පවත්වා ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍ය දෙයට කෙසේ හෝ තමාට මුදල් ලැබෙන ගතියක් පෙන්වයි. නව වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට ඉතාම හොඳයි. අන් අය සමඟ එකතු වී කරන කටයුතුවලින් ද වාසි අත්විය හැකිය. රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වූවා නම් එය සාර්ථක වන වසරකි. විදෙස්ගත වීම් ද සාර්ථක කරගත හැක. උසස්වීම් තනතුරු ආදිය ලැබිමේ වාසනාව පවති.

අධ්‍යාපනය - කාර්යබහුල බව නිසා අධ්‍යාපනයට හිත යොමු කිරීම තරමක් අපහසු විය හැකිය. මතක ශක්තිය තරමක් දුර්වල විය හැකියි. අධ්‍යාපනයේ සාර්ථකත්වයට මානසික නිදහස වැදගත් බව මතක තබා ගන්න.

සෞඛ්‍යය - මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි. තරමක් හිත සන්සුන් කර ගැනීමට කටයුතු කරන්න. උදරගත රෝග තත්ත්වයන් ඇති විය හැකිය. ගෑස්ටික් වැනි රෝග තත්ත්ව ඉස්මතු වෙයි. ශාරීරික ව්‍යායාමවලට කාලයක් යෙදවීම වැදගත් බව මතක තබා ගන්න.

ජය සංකේත - සුබ දවස් - බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා සුබ වර්ණ - දම්, රතු, කහ සහ රෝස ජය අංක - 3, 12, 21, 30, 6, 9

දෛව අංක 4

යහපත් මිතුරන් ඇසුර ලැබෙන කාලයක්

දෛව අංක 4න් උපන් ඔබට මෙම අලුත් අවුරුද්ද හැම පැත්තෙන්ම සුබදායක අලුත් අවුරුද්දක් ම වන බව සඳහන් කළ හැකිය.

ගෘහ ජීවිතය - යහපත් ආකාරයට සාමකාමීව ගෘහ ජීවිතය ගත කිරීමට ලැබෙයි. තිබුණු මතභේද කරදර බොහෝමයක් විසඳෙන වසරකි. නව ප්‍රේම සබඳතා වර්ධනය වීමක් පෙන්වන අතර විවාහ බලාපොරොත්තුවක් තිබෙන අයට එම පැතුම ඉටුකර ගැනීමට හැකි වෙයි. නොගැළපෙන සබඳතා නිසා තම චරිතයට හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත්. යහපත් මිතුරන් ඇසුරට ලැබෙන කාලයකි. මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී වචන භාවිතය ගැන සැලකිලිමත් වීම ගැටලු අවම කරයි. ධර්මානුකූල පැවැත්ම තුළ සුබදායක බව වඩා වර්ධනය කරගත හැකිය.

ආර්ථිකය - තමා විසින් සිදු කරනු ලබන ස්වයං රැකියා කර්මාන්ත ආදිය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වසරකි. ආදායමට අනුව වියදම පාලනය කරගන්නට උත්සාහ කරන්න.අනවශ්‍ය වියදම් වැඩි විය හැකිය. රැකියා ස්ථානය තුළ දියුණුවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය හොඳින් ලැබේ. කොහොම වුණත් ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමේ හැකියාව පවතී.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. නමුත් ප්‍රාථමික අධ්‍යාපනයට තරමක් බාධා ඇති කළ හැකිය. උත්සාහය උනන්දුව වැඩිපුර ඇති කරගැනීම වැදගත් වෙයි.

සෞඛ්‍යය - උදරය පපුව හෘදය ආශ්‍රිත රෝග තත්ත්ව සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් වෙයි. හදිසි අනතුරු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න ප්‍රවේශම් වීම ඉතා වැදගත්.

ජය සංකේත - සුබ දවස් - ඉරිදා සහ සඳුදා, සුබ වර්ණ - නිල්, ළා කහ, සුදු සහ අළු, ජය අංක - 1, 2, 4, 7, 10, 11, 16

 දෛව අංක 5

උරුමයන් හෝ ධනයන් හිමි වීමේ වාසනාව

අලුත් අවුරුදු උදාවත් සමඟ ඔබට මෙම වසර වාසනාවන්ත ඔබගේ බලාපොරොත්තු බොහෝමයක් ඉටුවන වසරක් බව කිව හැකිය.

ගෘහ ජීවිතය - හිතේ තිබුණ විශේෂ කරුණක් ඉටුවන වසරක් බව කිව හැකියි. සාමකාමීව සහයෝගයෙන් ගෘහ ජීවිතය ගත කිරීමට ලැබෙයි. දෙදෙනා අතර යම් මතභේද ගැටලු ඇති වුණත් ඒවා දුරදිග යන්නේ නැත. මංගල යෝග ක්‍රියාත්මක වෙන බැවින් විවාහ අපේක්ෂක අයගේ එම පැතුම ඉෂ්ට වෙන වසරක්. පවුලේ සහ හිතවතුන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබෙයි. සැකය ප්‍රේම සබඳතාවලට බාධාවක් ලෙස ක්‍රියාත්මක වී ගැටලු ඇති විය හැකිය.

ආර්ථිකය - රැකියා සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධව නීතිමය ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත්. ඔබට ලැබීමට තිබූ උරුම හිමිකමක් හෝ ධනයක් හිමි වීමේ වාසනාව පවති.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිකර ගැනීම වැදගත් වෙන අතර යම් පසුබෑමක් සිදුවිය හැකි කාල වකවානුවක් වෙයි. විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීම සම්බන්ධව වැඩි වෙහෙසක් පරිශ්‍රමයක් හා කැපවීමක් තුළින් සාර්ථකත්වය අත්විඳිය හැකියි.

සෞඛ්‍ය - ලේ හා සම්බන්ධ රුධිර ගත රෝග උදරය ආශ්‍රිත රෝග තත්ත්ව සහ ස්නායු රෝග සම්බන්ධව වඩාත් අවධානයක් යොමු කිරීම තුළ එම තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මානසික සෞඛ්‍ය ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.

ජය සංකේත - සුබ දවස් බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා, සුබ වර්ණ - සුදු, ළා කොළ සහ අළු පාට, ජය අංක - 3, 5, 9, 12,14

 දෛව අංක 6

තැන්පත් ධනය වර්ධනයට

උදාවන සිංහල අලුත් අවුරුද්දත් සමඟ එළැඹෙන නව වසර ඔබට ඉතාමත් සුබ පල දෙන නැවුම් බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගත හැකි වසරක් ලෙස සඳහන් කළ හැකිය.

ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගත කළ හැකි වන අතර විශේෂ ගැටලුකාරී තත්ත්වයන් නැත. අන් අයගේ අවධානය සහ ජනප්‍රිය භාවය හිමි වන වසරක් බව කිව හැකියි. ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවලට නිසි ඇගැයීමක් ලැබෙන වසරක් වෙයි. පින්කම් ආදී කටයුතු සඳහා ද වැඩිපුර සිත යොමු වෙයි. නව ප්‍රේම සබඳතා වර්ධනය වන බවක් පෙනුණත් නොගැළපෙන සබඳතා ඇතිවීමේ වැඩි ඉඩක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂාවන් සාර්ථක කර ගත හැකිය.

ආර්ථිකය - ඔබගේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. ව්‍යාපාර හෝ ආයෝජන කටයුතුවලින් ආර්ථිකය යහපත් කර ගැනීමට හැකිය. රැකියා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙයි. නමුත් රැකියා කටයුතු මානසික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතු කරන අයගේ උනන්දුව උත්සාහය අඩුවීම සහ අලසකම යම් ආකාරයක වර්ධනයක් පෙන්නුම් කරයි. වඩාත් උනන්දුව ඇතිව කල්පනාකාරීව කටයුතු කිරීම තුළ අධ්‍යාපනික ජයග්‍රහණ පහසුවෙන් අත්කර ගත හැකිය.

සෞඛ්‍ය - අවදානම් සහිත රැකියා හෝ අනතුරුවලින් ප්‍රවේශම් වන්න. මුත්‍රා ආබාධ දනිස් පාද ආශ්‍රිත ආබාධ තත්ත්වයන් ඇති කළ හැකිය. කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.

ජය සංකේත - සුභ දවස් - සිකුරාදා සහ බ්‍රහස්පතින්දා, සුබ වර්ණ - නිල් කොළ සහ රෝස, ජය අංක - 3, 6, 9, 12, 15

 දෛව අංක 7

දුර බැහැර ගමන් වැඩිපුර යෙදෙන කාලයක්

නව වසර ඔබට ඉතාමත් සුබ පලදායක යහපත් බලාපොරොත්තු බොහෝමයක් සාර්ථක වන වසරක් ලෙස සඳහන් කළ හැකිය. තමන් ළඟ තිබෙන දෙයින් උපරීම පල ලබාගත හැකි වසරක් බව ද කිව හැකියි.

ගෘහ ජීවිතය - සතුටින් සමඟියෙන් ගෘහ ජීවිතය ගත කරයි. දුර බැහැර ගමන් බිමන් වැඩිපුර යෙදෙන කාලයකි. ඔබ විදේශගත වීමක් බලාපොරොත්තු වූවානම් එය සාර්ථක වන වසරක් වෙයි. ප්‍රේම සබඳතා නිසා ගැටලු ඇති විය හැකිය. විවාහ අපේක්ෂාවන් තවදුරටත් ප්‍රමාද වීමට හේතු යෙදිය හැකිය. ඔබේ යහපත වෙනුවෙන් සියල්ල සිදුවන බව සිතා හොඳින් කටයුතු කර ජීවත් වන්න. අවසානයේ ඔබ ජයග්‍රහණය කරනු ඇත.

ආර්ථිකය - නිරන්තරයෙන් ඔබ අත මුදලක් තබාගත හැකි කාලයකි. යම් මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකියාව ලැබෙයි. ඔබ බලාපොරොත්තු වූ ණය මුදලක් හෝ සහයෝගයක් ඔබට ලැබෙන වසරකි. ප්‍රධානීන්ගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවේ. රැකියාවේ දියුණුව අභිවෘද්ධිය ලැබිය හැකි අතර තනතුරු උසස්වීම් සාර්ථක වන වසරක් වෙයි.

අධ්‍යාපනය - අධ්‍යාපනය ලබන අයට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. උනන්දුව උත්සාහය අඩුවීම මතක ශක්තිය දුර්වල වීම වැනි තත්ත්වයන් මත එවැනි දේවලින් බැහැර වීමට සිතේ.නමුත් උත්සාහයෙන් කටයුතු කිරීම තුළ ඔබගේ ජයග්‍රහණ සාර්ථක කළ හැකිය.

සෞඛ්‍යය - උෂ්ණගත රෝග ගෑස්ටික් මලබද්ධය උදරගත රෝග වැඩිපුර ඇති කළ හැකිය. වැඩිපුර ජලය පානය කිරීම වැදගත් වෙයි. වකුගඩු සහ මුත්‍රා ආශ්‍රිත රෝග තත්ත්ව තිබෙන අය වඩාත් ප්‍රවේශම් වීම හොඳයි.

ජය සංකේත - සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා, සුබ වර්ණ - කොළ, ළා කහ සහ සුදු, ජය අංක - 2, 3, 6, 7, 9

 දෛව අංක 8

රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව

අලුත් අවුරුද්ද ඔබට ඉතාමත් සුබපල දායක වර්ෂයක් වන අතර තමන්ගේ කටයුතු පෙර වර්ෂයට වඩා සාර්ථක කර ගත හැකි වර්ෂයක් ද වෙයි.

ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය තුළ සතුට සමගිය වර්ධනය වන අතර විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු තවදුරටත් තරමක් ප්‍රමාද කිරීමට හේතු යෙදෙනු ඇත. නමුත් ප්‍රේම සබඳතා ඇති කරයි. ඉවසීම ඇති කරගැනීම සහ කෝපය පාලනය කරගැනීම ඉතා වැදගත් බව සිතන්න.

ආර්ථිකය - තමාට යම් මුදලක් ඉතිරි කරගැනීමට හැකි වන වසරක් බව කිව හැකියි. නමුත් ඔබ නව ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රැකියා ව්‍යාපාර කටයුතු කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. නමුත් නව රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට තරමක් එම රැකියා ලැබීම ප්‍රමාද විය හැකිය. දිගුකාලීන ආයෝජනවලට ද යහපත් කාලයක් වෙයි. විදේශ ගමන් බලාපොරොත්තු වූවානම් එය සාර්ථක වෙයි.

අධ්‍යාපනය - අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ රැසක් ලබාගත හැකි කාලයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ අත්වෙයි. ඔබේ හැකියාවන්ට නිසි ඇගැයීමක් ලැබිය හැකිය. විද්‍යාව සහ ගණිත අංශවල ඉන්න අයට උසස් ප්‍රතිඵල ලැබිය හැකියි.

සෞඛ්‍යය - තරමක් සෞඛ්‍යමය වශයෙන් ඔබගේ පෝෂණ ගැටලු තත්ත්වයන් ඇති කළ හැකිය. විටමින් ඌනතා ආදිය ඇතිවිය හැකිය. විදුලියෙන් සහ ජලයෙන් ප්‍රවේශම් විය යුතු වෙයි. උන සෙම ආශ්‍රිත රෝග බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ජය සංකේත - සුබ දවස් - ඉරිදා, සඳුදා, සහ බදාදා, සුබ වර්ණ - නිල්, කහ, දම්, දුඹුරු, ජය අංක - 5, 6, 8, 17

 දෛව අංක 9

අපේක්ෂාවෙන් සිටි මුදල ලැබේ

මේ අලුත් අවුරුද්ද ඔබට නව බලාපොරොත්තු තබා ගත හැකි වසරකි. පසුගිය වර්ෂයේ ප්‍රමාද වූ බොහෝ කටයුතු සාර්ථක කර ගත හැකි වසරකි.

ගෘහ ජීවිතය - ගෘහ ජීවිතය තුළ විශේෂ අර්බුදකාරී තත්ත්වයන් පැන නොනඟී. සතුටින් සමගියෙන් ජීවිතය ගත කළ හැකි වෙයි. උත්සව අවස්ථාවන්වලට වැඩිපුර සම්බන්ධ වෙන්නට අවස්ථාව යෙදෙයි. මානසික වශයෙන් සතුට ප්‍රීතිය වැඩිපුර ඇති කරන කාලයකි. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටීනම් එය සාර්ථක වන වසරක් වෙයි. ප්‍රේම සබඳතා ඇතිවන අතර ඒවා පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වන්නේ නොගැළපෙන සබඳතා ඇති විය හැකි බැවිනි.

ආර්ථිකය - ඔබ මුදලක් අපේක්ෂාවෙන් සිටියේ නම් එය ලැබෙනු ඇත. ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වය අත්කර ගත හැකියි. උසස්වීම් සහ නිලතල පහසුවෙන් අත්කරගත හැකියි. ගෞරව සම්මානවලට පාත්‍ර වීමේ හැකියාව පවතී. වියදම් පැත්ත පාලනය කර ගැනීමට අවධානය යොමු කරන්න. විදෙස්ගත වීමේ බලාපොරොත්තුවක් තිබේනම් එය සාර්ථක වන වසරක් වෙයි.

අධ්‍යාපනය - අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වසරකි. ඇගැයීම් සහ ජයග්‍රහණ අත්කරගත හැකියි. සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ ලැබිය හැකිය.

සෞඛ්‍යය - වාත වේදනා කැක්කුම් ඇති කළ හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන් පාද ආශ්‍රිත දණිස් වල සහ පිට කොන්දේ ආබාධ තත්ත්වයන් ඇති කළ හැකිය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.

ජය සංකේත - සුබ දවස් - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා, සුබ වර්ණ - රතු සහ රෝස පාට, ජය අංක - 3, 6, 9, 12, 15, 18

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අංක විද්‍යාවට අනුව මේ අවුරුද්දේ ඔබේ පලාපල Rating: 5 Reviewed By: webgossip24.com