728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 5, 2023

එංගලන්තයෙන් නිකම් ලැබුණු වෛද්‍ය උපකරන ගන්න අපිට පිනක් නෑ - වටිනාකම රුපියල් කෝටි 300 කට අධිකයි (ජායාරූප)


එංගලන්තයේ සිටින ශ්රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘සිල්වියා ලංකා පදනම’’ මගින් මෙරටට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් කෝටි 12 ක් පමණ වටිනා (රුපියල් කෝටි 300 කට අධික) නවීන පන්නයේ වෛද්‍ය උපකරණ තොගයක් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.

ශ්‍රී ලංකාවට නොමිලේ ලැබෙන කන්ටේනර් සියයකින් යුත් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීම ආර්ථික දුෂ්කරතා පවතින මෙවන් අවධියක ඉතා අත්‍යවශ්‍ය බව ද රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.

එංගලන්තයේ සිල්වියා ලංකා පදනම ලබාදෙන මෙම නවීණ පන්නයේ වෛද්‍ය උපකරණ ඇතුළු උපකරණ තොගයට දැඩි සත්කාරක ඇඳන් 2500 ක් රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000 ක්, ඖෂධ ගබඩාකර තබන ශීතකරණ 400ක් ඇතුළු භාණ්ඩ තොගයක් අයත් වන බව ද සුභූති හිමියෝ කීහ.

යාපනය රෝහලේ මහාචාර්ය ඒකකයටත් කරාපිටියේ ඉදිකර ඇති නව රෝහල් ගොඩනැගිල්ලටත් උපකරණ අවශ්‍යව තිබෙන අතර, කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ උපකරණ හිඟය නිසා එය තවමත් විවෘත කිරීමට නොහැකිව තිබෙන බව ද උන්වහන්සේ කීහ.

මීට අමතරව, දිවයිනපුරා ග්‍රාමීය රෝහල් බොහොමයකම වෛද්‍ය උපකරණ හා රෝහල් උපකරණවල දැඩි හිඟයක් පවතින බව ද සුභූති හිමියෝ පැවසූහ.

මෙම වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමට රජයට යම් මුදලක් වැයවන නමුත් ලැබෙන අතිනවීන වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම ඊට වඩා අතිවිශාල බව ද උන්වහන්සේ පැවසූහ.

මෙම වටිනා වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි සති තුනක පමණ කාලයක සිට රජයේ වගකිවයුත්තන්ට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් නැතැයි පැවසූ සුභූති හිමියෝ තවත් සති දෙකක් ඇතුළත එම භාණ්ඩ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නොකළහොත් එම විශාල පරිත්‍යාගය රටට අහිමිවනු ඇතැයි ද කීහ.

මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජයට වැයවන ප්‍රවාහන වියදම රුපියල් කෝටියක් පමණ වන නමුත්, මෙම උපකරණවල වටිනාකම රුපියල් කෝටි 300කට වැඩි බව ද රජවැල්ලේ සුභූති හිමියෝ කීහ.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එංගලන්තයෙන් නිකම් ලැබුණු වෛද්‍ය උපකරන ගන්න අපිට පිනක් නෑ - වටිනාකම රුපියල් කෝටි 300 කට අධිකයි (ජායාරූප) Rating: 5 Reviewed By: webgossip24.com