728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 11, 2023

කොළොම් තොටෙන් නැව් නැගලා යුරෝපෙට යන්න - 4 දෙනෙක් කරපු ශ්‍රී ලංකා ආගමන විගමන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම මෙන්න


 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් තොගයක් යුරෝපය වෙත රැගෙන යාම සඳහා කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නෞකාවකට හොරෙන් ඇතුළු වී , පැන යමින් සිටියදී (Stowaway ) ඊජිප්තුවේ සූවස් ඇළ ආරක්ෂක කපොල්ලෙහි දී , එම නෞකාවේ කපිතාන්වරයාට හසු වු ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනෙකු , එම නෞකා සමාගමට අයත් වෙනත් නැවකින් ගාල්ල වරාය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව 04/10 දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය සහ මුලතිව් යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 , 31, 32 සහ 32 යන සීමා වල පසුවන තරුණයන් සිව් දෙනෙකි .

ඔවුන් කොළඹ වරායට 03/24 දින පැමිණ තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් එම්.වී.සී.එම්.ඒ.සී.ජී.එම්.පැනමා නැමැති නෞකාවට හොරෙන් ඇතුළු වී තිබේ .

මෙම නෞකාව 03/25 දින කොළඹ වරායෙන් පිටත්ව යුරෝපය බලා ගමන් ආරම්භ කර තිබේ .

මෙම ඇමෙරිකානු නෞකාව ඊජිප්තුවේ සූවස් ඇළ වෙත ඇතුළු කර තිබියදී , මෙම නෞකාව තුළ කපිතාන්වරයා හෝ මෙම නෞකාවේ අනෙකුත් කාර්යය මණ්ඩලය නොදන්නා ( Stowaway ) පුද්ගලයන් සිව් දෙනෙකු සිටින බවට කරුණු අනාවරණය වීමත් සමග , මෙම නෞකාවේ කපිතාන්වරයා , තම මව් සමාගම මේ පිළිබඳව දැනුවත් කර , ඔවුන්ගේ උපදෙස් පරිදි , ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන එම සමාගමට අයත්  එම්.වී.ජැක්සන් බේ නෞකාව වෙත 03/28 දින  මෙම පුද්ගලයන් භාර දී තිබේ.

ඔවුන් මෙම ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනා විශේෂ කුටියක රදවා තබා ගනිමින් , දැඩි රැකවල් මධ්‍යයයේ ගාල්ල වරායට ආසන්න මුහුදු තීරය වෙත රැගෙන පැමිණ තිබේ .

ඉන්පසුව මේ තොරතුර ගාල්ල වරාය ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව , ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව , ශ්‍රී ලංකා පොලීසිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග විශේෂ යාත්‍රාවකින් 04/10 දින සවස ගාල්ල වරාය සමීපයේ ජාත්‍යන්තර මුහුදු තීරයේ ගමන් ගනිමින් තිබූ  මෙම ජැක්සන් බේ නෞකාව අසළට ගොස් මෙම තරුණයන් පිරිස භාර ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මෙම තරුණයන් පිරිස ගාල්ල වරාය පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , ශ්‍රී ලංකාවේ ආගමන විගමන පනත යටතේ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම තරුණයන් පිරිස 04/11 දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය . එහිදී මොවුන්ට පමණක් නොව මොවුන්ට ආධාර , අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව ද පියවර ගැනීමට නියමිතය .

මෙම සිදුවීම ශ්‍රී ලංකා ආගමන විගමන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් බව ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය .

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කොළොම් තොටෙන් නැව් නැගලා යුරෝපෙට යන්න - 4 දෙනෙක් කරපු ශ්‍රී ලංකා ආගමන විගමන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com