728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

නූලකින් ගෙල සිර කර රූමත් බිරිය මැරූ පරිගණක ඉන්ජිනේරුවා අල්ලයි


සිය විසිපස් හැවිරිදි බිරියගේ ගෙල තාලියකින් සිරකොට මරා දමා ඇය සමඟ ජීවත්වීමට නොහැකි බව කියමින් පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ පරිගණක ඉන්ජිනේරු සැමියකු මිරිහාන මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගංගොඩවිල රබර් වත්ත ප්‍රදේශයේ පළමුවැනි පටුමඟ කුලී නිවෙසක රැඳී සිටියදීය. පොලිසිය ඔහු සොයා එම නිවෙසට යන විටත් ඔහු බඩුමුට්ටු ලකලෑස්ති කරමින් නිවෙසින් පලායෑමට සැරසී සිටි බව මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා කීවේය. මොහු විසින් මරා දමා තිබුණේ උඩුපුස්සැල්ලාව එල්බොඩවත්ත කටුකිතුල ජනඋදාන ගම්මානයේ පදිංවිව සිටි සදාසිවම් නිරංජලා දේවි නමැති විසිපස් හැවිරිදි ඔහුගේ බිරියයි.

ඝාතනයට ලක්වූ ඇගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව සොගමාවත්ත ඩී.සී. 4 කොටසේ ලඳු කැලෑවක තිබී උඩුපුස්සැල්ලාව පොලිසිය විසින් ඉකුත් 4 වැනිදා සොයාගෙන තිබිණි. ඇය මෙම සැකකාර සැමියා සමඟ විවාහවීමට කලින් වෙනත් කසාදයක් කරගෙන ඇත. 

ඒ බව නොදත් පරිගණක ඉන්ජිනේරුවා ඇය සමඟ මීට මාස 4කට පෙර විවාහ වී මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන ජීවත්ව තිබේ. මේ අතරතුර තම බිරිය මීට පෙර විවාහ වූ තැනැත්තියක් බවත් ඇයට එම විවාහයෙන් දරුවකු සිටින බවත් දැනගත් පරිගණක ඉන්ජිනේරු සැමියා එතැන් පටන් ඇය සමඟ ආරවුල් ඇති කරගෙන ඇගෙන් දික්කසාදය ඉල්ලා ඇතැයි කියති.

ඉන් අනතුරුව ඇය යළි සිය නිවෙසට ඇරලීම සඳහා සැකකාර සැමියා ඉකුත්දා උඩුපුස්සැල්ලාව නගරයට පැමිණ ඇති අතර එහිදීද දෙදෙනා අතර ආරවුල් ඇති කරගෙන තිබේ.

ඇගේ සිරුර සොගමාවත්තේ ලඳු කැලෑවක තිබී පොලිසියට හමුව ඇත්තේ මේ අතරය. තේ දලු නෙළීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු කැලය තුළ කාන්තා මළ සිරුරක් ඇති බව උඩුපුස්සැල්ලාව පොලිසියට දැනුම්දීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. පොලිසිය ඇගේ ඝාතනය සම්බන්ධයෙන් සැමියා සැක කළද ඔහු ඒ වන විටත් අතුරුදන්ව තිබිණි. 

ඉකුත් 5 වැනිදා සැකකාර සැමියා කොළඹට පැමිණ මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් මේ කිසිත් නොකියා බිරිය සමඟ ජීවත්වීමට නොහැකි බවත් ඇය විවාහක කාන්තාවක් බව නොදන්වා තමන් සමඟ විවාහ වූ බවත් කියමින් පැමිණිල්ලක් යොමු කර ඇත.

 පසුව උඩුපුස්සැල්ලාව පොලිස් වසමේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් ගෙන්වා පැමිණිලි පොත පරීක්ෂා කර ඇත.

සැකකාර සැමියා විසින් බිරිය සමඟ ජීවත්වීමට නොහැකි බව කියමින් යොදන ලද පැමිණිල්ල ගැන සැක කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එහි සඳහන් ලිපිනයට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගංගොඩවිල පළමු පටුමඟේ නිවෙස වෙත වහා පිටත්කර යවා ඇත. 

නිලධාරීන් එම කුලී නිවෙසට යන විටත් සැකකරු බඩුමුට්ටු පොදි බඳිමින් නිවෙසින් පලායන්නට සූදානමින් සිට තිබේ.

පසුව සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු නිරංජලා දේවි ඝාතනයේ සුලමුල සොයා ගැනීමට හැකිව තිබේ. මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නූලකින් ගෙල සිර කර රූමත් බිරිය මැරූ පරිගණක ඉන්ජිනේරුවා අල්ලයි Rating: 5 Reviewed By: webgossip24.com