728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 12, 2023

එක පරීක්ෂණයෙන් ගත්ත පස්පංගුවම මාට්ටු - ලයිසන් කැන්සල් වෙන මත් රියදුරන් අල්ලන අලුත්ම සිස්ටම් එක


 මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරය (multi digital alcohol tester) සහ මල්ට් ඩ්‍රග් රැපිඩ් ටෙස්ටරය (multi drug rapid tester) අපේ රටට හඳුන්වා දී මේ වන විට අවුරුදු 1 1/2ක් පමණ ගත වී අවසන්ය. නමුත් මේ උපකරණ දෙකෙන්ම කිසියම් හෝ ප්‍රයෝජනයක් නොගන්නා බවට තොරතුරු සඳහන් වේ. ඒ අනුව “පොදු ප්‍රවාහන සේවාවන්වල නියැළී සිටින බස් රියැදුරන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය හා මත්පෙති භාවිත කරමින් මගීන් ගෙනයන බව අනාවරණය වී තිබේ. 

මෙම රියැදුරන් ඔවුන්ගේ කෙළ සාම්පල මගින් වෙන් වෙන්ව හඳුනා ගැනීම වෙනුවෙන් යොදාගත හැකි පරීක්ෂණ කට්ටල පොලිසියට භාර දී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කර නොතිබීම නිසා එම වැඩපිළිවෙළ අකර්මන්‍ය වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි. 

බස් අනතුරු අවම කරගැනීම හා මගී ජනතාවගේ ආරක්ෂාව මූලික කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ මීට වසර එකහමාරකට පෙරය. ඒ වෙනුවෙන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සඳහා රුපියල් මිලියන දහයක මුදල් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පිරිනමා තිබිණි. ඒ අනුව අමාත්‍යාංශය මගින් පෞද්ගලික සමාගමකින් කෙළ සාම්පල මගින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි හඳුනාගත හැකි උපකරණ ගෙන්වාගෙන ඇති නමුත් මෙම පරීක්ෂා කිරීම් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත. 

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා මෙම පරීක්ෂණ නැවතී ඇති බවය. ඒ පිළිබඳව මේ වන විටත් සාකච්ඡා කර සිටින බවත්ය.

නමුත් අප මේ පිළිබඳ කරුණු අනාවරණය කරන විටත්, මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරය (multi digital alcohol tester) සහ මල්ට් ඩ්‍රග් රැපිඩ් ටෙස්ටරය (multi drug rapid tester) මෙම උපකරණ ද්විත්වයම පොලිස් ස්ථාන කිහිපයක පමණ තිබූ බවත් ඒවා භාවිතයට ගත් බවත් සඳහන් කළේය. සමස්ත ලෝකයක් ඵල නෙළාගන්නා මේ උපාංගවල ඇති වී ඇති තාක්ෂණික ගැටලුව කුමක්ද යන වග තවමත් හරිහැටි පැහැදිලි කිරීමක් අපට ලැබී නැත.

මල්ට් ඩ්‍රග් රැපිඩ් ටෙස්ටරය (multi drug rapid tester) ලංකාවට හඳුන්වා දීමත් සමග කොළඹ කොටුව බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර සිදුකරන ලද පරීක්ෂාවේදී මෙම ක්‍රමවේදය සීයට සියයක්ම ඉතා සාර්ථක බව ඔප්පු වී තිබිණි. 

කොළඹ කොටුව බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බොහෝ දෙනෙක් මෙම පරීක්ෂණය සඳහා සහභාගි වූ අතර, එහිදී බොහෝ දෙනෙක් අයිස්, ගංජා සහ තවත් බොහෝ ප්‍රකට මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට අනාවරණය වී තිබිණි. 

දුර ගමන් සේවා බස් රථ රියැදුරන් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවට වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකි වී තිබිණි. තවද බස් රථය තුළ අධික ශබ්ද තරංග පිටවන ආකාරයේ සින්දු දැමීමට හේතුවද මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති වන අතුරු ප්‍රතිඵලයක් නිසා බව තහවුරු කරගෙන තිබිණි. 

පොලිසිය විසින් සිදුකරන ලද වැඩිදුර පරීක්ෂණවලදී බස් රථ රියැදුරන්ගේ අධික වේගයට හේතුව මෙම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවන මානසික සංකූලතා බවට කරුණු අනාවරණය කරගෙන තිබිණි.

“පරීක්ෂණ බැලුම” භාවිත කිරීමට පුළුවන් එක් අවස්ථාවක් පමණි. මේ නිසා බීමත් රියැදුරන් පරීක්ෂාවේදී “පරීක්ෂණ බැලුමට” අධික පිරිවැයක් රජයට දැරීමට සිදුවේ. ඒ නිසා “පරීක්ෂණ බැලුම” පසෙකලා multi digital alcohol tester නම් අලුත්ම ක්‍රමවේදය භාවිතා කිරීමට පොලිසියට අවස්ථාව ලබා දී ඇත. මේ අලුත්ම උපාංගයට බැලුමක් පිම්බීමට යන අසීරුතා පැන නැඟෙන්නේ නැත.

බීමතින් සිටින්නේ යැයි සැක කරන අදාළ පුද්ගලයාගේ හුස්ම පොදක් ඊට ප්‍රමාණවත්ය. මෙහි වඩාත්ම වාසි සහගත ක්‍රියාවලිය වන්නේ අදාළ ප්‍රතිඵලය එසැණින්ම මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීමට ඇති හැකියාවයි. ඉතින් තවදුරටත් ඔබ දන්නා හඳුනන පොලිස් ලොක්කෙක්ට හෝ හිතවතෙකුට කතා කිරීමෙන් ඵලක් නැත. 

මෙහි ප්‍රතිඵල සීයට සීයකින් නිවැරදි බව පසුගිය දිනවල සිදුකරන ලද විමර්ශන කටයුතුවලදී සනාථ වී ඇත. නමුත් වත්මනෙහි රජය මුහුණපා ඇති ආර්ථික කඩා වැටීම නිසා මෙම මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරය තවමත් පොලිස් ස්ථාන කිහිපයකට එකක් බැගින් තිබීම නිසා, 50% ක් පමණ වූ බීමත් රියැදුරන්ට නීතියෙන් ගැළවී යෑමට ඉඩකඩ ලැබී ඇත. 

මෙම උපකරණය ඇති පොලිස් ස්ථානයට සැකකරුවන් රැගෙන යන විට බීමත් රියැදුරන්ගේ සමහරකට ශරීරයේ ඇති මත්ද්‍රව්‍ය සාන්ද්‍රනය අඩු වීම නිසා බොහෝ බීමත් රියැදුරන්ට ගැළවී යෑමට මේ කාල සීමාව ප්‍රමාණවත්ය. 

නැවත නැවතත් භාවිතා කිරීමට හැකි මෙම මල්ටි ඩිජිටල් ඇල්කොහොල් ටෙස්ටරය බොහෝ රටවල් මේ වන විටත් භාවිත කරන මෙම උපාංගය බොහෝ විදේශ රටවල් ප්‍රයෝජනයට ගනියි. 

මෙම උපකරණ ද්විත්වයෙන්ම සියයට සියයක් ප්‍රතිඵල තිබූ බවට අප ඇස්පනාපිටම හෙළි වී ඇතත්, අපේ රටේ මෙම උපාංගයට ඇති වී ඇති තාක්ෂණික දෝෂය කුමක්ද? මෙම උපාංග ලංකාවට ආනයනය කරන විට අප ව්‍යාජ විකිණුම්කරුවකුට හසු වූවා ද?

ශ්‍රී ලාංකිකයන්ට මෙය අලුත් අත්දැකීමක් වූවත්, වසර ගණනාවකට ඉහත දී හඳුන්වා දී ඇති මෙම උපාංග ද්විත්වය බොහෝ රටවලට එය අලුත් යමක් නොවේ. එලෙසම මෙම උපාංගය භාවිත කරමින් වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කරගත් අවස්ථා ද ඕනෑ තරම් විදේශීය රටවලින් අපට වාර්තා වී ඇත. 

සියයට සියයක් ප්‍රතිඵල ලැබූ මෙම උපාංගවල මතු වී ඇති තාක්ෂණික දෝෂය කුමක්ද? මිලියන ගණනක් විදයම් කර ගෙන්වා ගත් මෙම උපාංගයෙන් ප්‍රයෝජන ගැනීමට අප අසමත් වූයේ ඇයි ද යන වග තවමත් තීරණාත්මක ගැටලුවකි. මෙය නැවත නැවතත් අප සිහිපත් කරනනේ ඔබේ දැනුවත් වීම උදෙසාය.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එක පරීක්ෂණයෙන් ගත්ත පස්පංගුවම මාට්ටු - ලයිසන් කැන්සල් වෙන මත් රියදුරන් අල්ලන අලුත්ම සිස්ටම් එක Rating: 5 Reviewed By: webgossip24.com