728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 22, 2023

ඥාණා මෑණියන්ගේ දුවට ලොකු කරදරයක් - තිබුණු සේසතම අහිමි වෙයි


අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඥාන අක්කාගේ දියණියගේ සැමියාය. උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඔහු පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ නිවෙසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් 650,000ක මුදල් සමඟ රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට ලක්ව ඇති බවය. ඔහු විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වේ.

අල්මාරියේ පෙට්ටි තුනක රන් භාණ්ඩ දමා තිබී ඇති අතර, එහි රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද කරාබු ජෝඩු 02ක් ද, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු දෙකක් ද, රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු දෙකක් ද රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තැලි 03ක් ද ඇතුළුව තවත් මාල, වළලු, පෙන්ඩන් සහ මුදු රැසක් මෙසේ සොරාගෙන ගොස් ඇති බව පොලිසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ය.

මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 02 වැනිදාත් පෙරේදාත් (20) අතර කාලය තුළදී බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබේ. ඔහු පවසන්නේ ලබන 23 වැනිදා පැවැත්වෙන කොළඹ මිතුරකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹ බලා යෑමට ඇති බැවින් සිය බිරිය අල්මාරියේ තිබුණු රන් භාණ්ඩ පෙරේදා (20) සවස පරීක්ෂා කර බැලීමේදී මුදල් ද සමඟ රන් භාණ්ඩ සියල්ල අතුරුදන්ව ඇති බව දැක ඇති බවය.

පසුගිය 02 වැනිදා අනුරාධපුරයේ පැවති විවාහ මංගල උත්සවයකට සිය බිරිය සහභාගි වූයේ මෙම රන් භාණ්ඩවලින් කොටසක් පැලඳ බැවින් එදින මෙම රන් භාණ්ඩ අල්මාරියේ තිබුණු බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබේ. ඒ අනුව මෙම සොරකම සිදුව ඇත්තේ මාර්තු 02 වැනිදාත් – 20 වැනිදාත් අතර බව ඔවුන් සැක කරන බව පොලිසිය කියයි.

මෙම රන් භාණ්ඩ සහ මුදල් අතුරුදන් වීම ගැන සැක කරනුයේ නිවෙසේ වසර 06ක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින මෙහෙකාරියක බව පොලිසිය කියයි. බළන්ගොඩ පදිංචිකාරියක වන ඇගේ සැමියාත් ඔහුගේ ඥාතියකුත් පැමිණිලිකරුට අයත් කිරික්කුලමේ පිහිටි ඉඩමක වගා කිරීම සඳහා ගෙන්වාගෙන සිට ඇති බවත් ඔවුන් පසුගිය 07 වැනිදා පිටව ගොස් ඇත්තේ නිවෙසේ මෙහෙකාරිය සමඟ බව ද පොලිසිය කියයි. එම කාන්තාව මෙතෙක් පැමිණ නැති අතර ඇය බළන්ගොඩ නිවෙසට ද ගොස් නැති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ අනුව සැක කරනුයේ මෙහෙකාරිය විසින් රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන සිය ස්වාමිපුරුෂයා සහ ඥාතියා සමඟ පලා ගොස් ඇති බවය. ඔවුන්ව සොයා ගැනීමට විමර්ශන පැවැත්වෙන බව අනුරාධපුර පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඥාණා මෑණියන්ගේ දුවට ලොකු කරදරයක් - තිබුණු සේසතම අහිමි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com