728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 11, 2023

හත්දොහේ බණ දවසේ මිනීමරුවා අල්ලපු පින්වත්තෙ කෝටිපතියා ඝාතන අබිරහස


අපරාධයක් සිදුවූ සැණින් ඒ පසුපස හඹාගොස් ඊට සම්බන්ධ වූවන් කොටුකර ගැනීමට සෑම පොලිස් නිලධාරියකුටම හැකියාවක් නැත. ඒ සඳහා දක්‍ෂතාව, කැපවීම සහ පළපුරුද්ද තිබිය යුතුමය. එසේ නැතහොත් පොලිසියට කට්ටි පනිමින් නිදැල්ලේ සිටින අපරාධකරුවන් තවත් අපරාධවල නියැළෙමින් පොලිසිය දැඩි අපහසුතාවට පත්කරනු නොඅනුමානය.   ඉකුත් සතියේ වාර්තා වූ බොහොමයක් වෙඩි තැබීම් මත්ද්‍රව්‍ය ආරවුල් මුල් කරගෙන සිදුවූ ඒවා බව විමර්ශනවලදී හෙළිවී ඇත. එමෙන්ම පානදුර පින්වත්ත ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයද බැර වූයේ පානදුර කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගිණුමකටය. එහෙත් එම ඝාතනය පසුපස හඹා ගිය පොලිස් කණ්ඩායමක් ඊට සම්බන්ධ වූවන් දින හතක් ඇතුළත අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එම ඝාතනය මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන සිදුවූවක් නොව පෞද්ගලික ආරවුලක් හේතු කොටගෙන සිදු කළ වෙඩි තැබීමක් බවය. විමර්ශන නිලධාරීන් ඊට සම්බන්ධ වූ අපරාධකරුවන් කොටු කරගෙන ඒ බව තහවුරු කර නොගත්තේ නම් ඒ මිනිස් ඝාතනයද මත්ද්‍රව්‍ය මුල්කරගෙන සිදුවූවක් බවට ඒත්තු යනු ඇත.

ඉකුත් පෙබරවාරි මස 28 වැනිදා පානදුර පින්වත්ත ප්‍රදේයේදී කෝටිපති ව්‍යාපාරිකයකු නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දැමීය. ඒ ඔහුට අයත් සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කරමින් සිටියදීය. වෙඩි ප්‍රහාරයෙන්

මියගියේ මත්පැන් අලෙවිසල් සහ තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු වූ අනුරාධ සම්පත් කුඩාගොඩ නමැති අයෙකි. හෙතෙම මියයන විට 57 වැනි වියේ පසුවිය.

මෙම වෙඩි තැබීම මුලින්ම බැර වූයේ පානදුර කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කුඩු සලිඳුගේ ක්‍රියාකාරකම් ගොන්නටය. ඒ, එම ප්‍රදේශවල පැතිරෙන්නේ ඔහුගේ අණසක නිසාය. වෙඩි තැබීම පිළිබඳ විමර්ශන අරඹනු ලැබුවේ පින්වත්ත පොලිසිය විසිනි. ඊට අමතරව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද විමර්ශනවලට දායක විය.

මේ අතර බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව්‍යාපාරිකයා ඝාතනයේ විමර්ශන කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙතද පැවැරීය. එහි වැඩ බලන අධ්‍යක්‍ෂ ක්‍රිෂාන්තගේ උපදෙස් මත ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලංග සංජීව ඇතුළු කණ්ඩායම එම විමර්ශනවලට අවතීර්ණ වනුයේ ඉන් පසුවය. පොලිස් පරීක්‍ෂක නිලංග සංජීව අපරාධ විසඳීමෙහිලා දක්‍ෂ නිලධාරියකු ලෙස ඒ අවට ප්‍රදේශවල බොහෝ පිරිස් මෙන්ම උසස් පොලිස් නිලධාරීහුද දැන සිටියහ. ඒ, ඔහු මතුගම ප්‍රදේශයේ ස්ථාපිත වූ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ සහ කළුතර නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී දැක්වූ දක්‍ෂකම් නිසාය. මිනිස් ඝාතන 18ක් විසඳීමටත්, ගිනිඅවි 78කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමටත්, පොලිස් පරීක්‍ෂක සංජීව ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ නිසා කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය පිළිබඳ විමර්ශනද ඔහු වෙත පැවැරිණි.

විමර්ශන අරඹමින් නිලධාරීන් මුලින්ම ගියේ කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය වූ පින්වත්ත ප්‍රදේශයටය. නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ඒ අවට තිබූ සී.සී.ටී.වී. කැමරා වෙතය. තුවක්කුකරු විසින් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇත්තේ ඔහු සමීපයට ගොස් බව විමර්ශන නිලධාරීහු කැමරා දර්ශන නිරීක්‍ෂණය කිරීමෙන් පසු තීරණය කළහ. ඒ ව්‍යාපාරිකයාගේ ගෙල ප්‍රදේශයට වැදුණු වෙඩිල්ල පපු ප්‍රදේශයට කි¼දා බැස ඇති බව පෙනී යෑම නිසාය. ඒ නිසා මෙම වෙඩි තැබීම ටී-56 ගිනිඅවියකින් සිදුකර නැති බවත්, තුවක්කුකරු පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා ඇති බවත් මූලික විමර්ශනයේදී හෙළිකරගත හැකි විය. ව්‍යාපාරිකයාට වෙඩි තැබූ උණ්ඩයේ හිස් කොපුවද ඊට සාක්‍ෂි දරන්නේය.

තවදුරටත් සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීමේදී වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරුවන් ඉන් පසු යතුරුපැදියෙන්ම පලායන අයුරු පැහැදිලිව පෙනෙන්නට තිබුණේය. ව්‍යාපාරිකයාට වෙඩි තැබීමෙන් පසු යතුරුපැදිය හරවා ගන්නා පැදිකරු තුවක්කුකරු සමඟ පටු මාවත දිගේ පැමිණ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන අයුරුද කැමරාවල සටහන් වී ඇත.

ප්‍රධාන මාර්ගයට පැමිණෙන යතුරුපැදිය මීටර් 200ක් පමණ දුරින් නතර කරන අයුරුත්,  පිටුපස වාඩිවී සිටි තුවක්කුකරු ඉන් බැස මාර්ගයේ ධාවනය වන බස්රියකට ගොඩවන අයුරුත්, කැමරා දර්ශන නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැකි විය. පැදිකරු යතුරුපැදියෙන් නික්ම යන්නේ ඉන් පසුවය. තුවක්කුකරු බස් රියට ගොඩවී වැඩි දුරක් ගියේ නැත. කුමක් හෝ හේතුවක් මත වැරදි බසයට ගොඩවී ඇති බව වටහාගත් ඔහු තල්පිටිය පාලම පසුකර ඇති මත්පැන් හල අසලින් යළි බසයෙන් බසින අයුරුද සටහන්වී ඇත. කෙසේ වෙතත් ඔහු බස් රියට ගොඩවී ඇත්තේ ජැකට්ටුව සහ හෙල්මටය දමාගෙනය. බසයේ සිටි කිහිපදෙනකු ඔහු දෙස සැකමුසුව බලන්නට වූහ. ඔහුට බසයෙන් බැසීමට එයද ඉවහල් වී තිබිණි. බසයෙන් බසින ඔහු යළි ගාල්ල බලා ධාවනය වන බස් රියකට ගොඩවන අයුරුද නිලධාරීහු කැමරා දර්ශන නිරීක්‍ෂණය කරමින් අනාවරණය කර ගත්හ.

මේ අතර පැදිකරු සිය යතුරුපැදිය නිවාස සංකීර්ණයක් අසල නතර කරගෙන එහි අංක තහඩුව ගලවා දමන්නට උත්සාහ කරන්නේ ඔය අතරය. එහිදී ආසන්න නිවෙසක පුද්ගලයකු ඒ බව දැක යකඩ පොල්ලක්ද අතැතිව පැමිණ අංක තහඩු මාරු කරන්නේ ඇයිදැයි පවසමින් ඔහු සමඟ ගැටුමකට මුල පිරීය. මින් බියට පත්වූ පැදිකරු ගැලවූ අංක තහඩුවද එම ස්ථානයේම දමා එතැනින් පලා ගියේය.

ඊට මීටර 200ක පමණ දුරකදී යතුරුපැදියත්, පැලඳ සිටි ජැකට්ටුවත් මාර්ගය අද්දර අතහැර දැමූ පැදිකරු ත්‍රීවීලරයකට නැඟී ප්‍රධාන මාර්ගයට පැමිණ ගාල්ල බලා ධාවනය වූ බස් රියකට ගොඩවී ඇත.

මෙහි විශේෂත්වය වනුයේ ඔහු ගොඩවූ බස් රියේම එක් අසුනක තුවක්කුකරුද වාඩිවී සිටීමය.

“මාර වැඩක් වුණේ තව ටිකෙන් මාව මාට්ටු වෙනවා. මම බයික් එකයි, ජැකට් එකයි පාරේ දාලා ආවා. නූලෙන් බේරුණේ”

පැදිකරු තුවක්කුකරුට ජීවිතය බේරාගත් අයුරු පවසන්නට විය. පැදිකරු අංක තහඩු ගලවන්නට උත්සාහ කරන අයුරුත් ඔහු ඒ අසල පුද්ගලයකු සමඟ ගැටෙන අයුරුත් දැක්වෙන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එයද පැදිකරු හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන්ට මහත් සහායක් ගෙන දුන්නේය.

මේ අතර මාර්ගයේ යතුරුපැදියක්, ජැකට්ටුවක් සහ අංක තහඩුවක් දමා ගොස් ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ පොලිස් නිලධාරීහු අතහැර දැමූ යතුරුපැදිය පොලිසිය භාරයට ගත්තේය.

විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමු වූයේ එම යතුරුපැදියයි. හොඳින් පිරික්සීමේදී එහි චැසි අංකය සහ එන්ජින් අංකයද මකා දමා ඇති අයුරු නිරීක්‍ෂණය විය. ඒ ඔස්සේ විමර්ශන ඇරැඹූ කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාර්ගයෙන් යතුරුපැදියේ හිමිකරු සොයා ගත්තේය. එහෙත් ඒ වනවිට එය පැවැතියේ ෆිනෑන්ස් සමාගමක් භාරයේය. නිලධාරීහු එම ෆිනෑන්ස් සමාගමට ගොස් යතුරුපැදියේ අවසන් හිමිකරු සොයන්නට වූහ. වරෙක එහි හිමිකරු මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකු බවට ඒත්තු ගියේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පැවැසුවේ තමා යතුරුපැදිය වෙනත් අයකුගෙන් මිලදී ගත් බවය. එලෙස දිගින් දිගටම පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කරමින් ගිය නිලධාරීන්ට අවසන් වරට යතුරුපැදිය මිලදී ගත් තැනැත්තා හෙළි කරගත හැකිවිය. ඒ ඔස්සේ ගියද එම පුද්ගලයා යතුරුපැදිය මිලදීගෙන තිබුණේ වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පතක් භාවිත කරමින් බව නිරීක්‍ෂණය විය. මෙලෙස දීර්ඝ ලෙස සිදු කළ විමර්ශනයේදී අවසන් වරට යතුරුපැදියේ හිමිකරු සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

“සර් එයා මට ඔය බයික් එක උකස් කරලා රුපියල් අසූදාහක් ගත්තා. 27 වැනිදා මිනිහ ඇවිත් එක්ලක්‍ෂ විසිදාහක් දීලා බයික් එක බේර ගත්තා.”

“මොකක්ද මිනිහාගේ නම”

“මිනිහට කියන්නේ මර්සි පොඩ්ඩා” කියලා.” ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසන්නට විය. ඒ වනවිට නිලධාරීන් සතුව තිබූ වීඩියෝ පටයද ඔහුට පෙන්වූ නිලධාරීන් එම රූපරාමුවල සිටින්නේ ඔහු දැයි විමසීය. ඒ අනුව ඝාතන පැදිකරු තහවුරු කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

27 වැනිදා රුපියල් එක් ලක්‍ෂ විසිදාහක් දී යතුරුපැදිය බේරා ගත්තේ 28 වැනි දින ව්‍යාපාරිකයා මරා දමන්නට විය හැකි බවට නිලධාරීන් සැක කරන්නේ එම තහවුරු කර ගැනීමත් සමඟය.

ඒ අනුව ‘මර්සි පොඩ්ඩා’ පදිංචි ගාල්ල තෙලිකඩ ප්‍රදේශයට ගිය නිලධාරීන් රක්‍ෂණ සමාගමක නියෝජිතයන් ලෙස තෙලිකඩ කරක් ගසමින් මර්සි පොඩ්ඩා සිටින්නේ කොහේදැයි සොයන්නට විය.

ඒ ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කළ නිලධාරීන්ට තෙලිකඩ, ගිනිමැල්ලගහ ප්‍රදේශයේදී ‘මර්සි පොඩ්ඩා’ කොටුකර ගැනීමට හැකිවූයේ ලැබුණු පුංචි හෝඩුවාවකට අනුවය.

“ඇයි උඹලා අර මනුස්සයාව මැරුවේ” නිලධාරීන් ‘මර්සි පොඩ්ඩා’ ට කටට උත්තර දී කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළේ තමන් නොවන බවත් තමා කළේ යතුරුපැදිය පැදවීම බවත් ඔහු නිලධාරීන්ට පවසන්නට විය.

“එතකොට කවුද වෙඩි තිබ්බේ”

“ඒක කළේ ‘ධනු’ සර්. මම මිනිහගේ බස්වල කාලයක් වැඩ කළා. එයා තමයි මට කිව්වේ වැඩක් තියෙනවා කරමු. මම උකස් කරපු බයිසිකලේ බේරලා දෙන්නම් කියලත් කිව්වා”

“ඉතින් උෟ බයික් එක බේරලා දුන්නද?”

“ඔව් සර්. එකයි විස්සක් දීලා බයික් එක බේරන්න සල්ලි දුන්නෙත් එයා තමයි. ඒකෙන් ගිහින් තමයි සර්….”

“එතකොට උඹලට කවුද කොන්ත්‍රාත් එක දුන්නේ.”

“ඒව මම දන්නේ නැහැ සර්.. ධනු  තමයි සේරම දන්නේ…”

ඉන් අනතුරුව තුවක්කුකරු සොයා ගිය නිලධාරීන්ට ගිනිමැල්ලගහ ප්‍රදේශයේදීම ඔහුද කොටුකර ගත හැකි විය. කිසිවක් නොදත්තකු සේ දරුවන් සමඟ සතුටු වෙමින් සිටි තුවක්කුකරු කුදළාගත් නිලධාරීන් ඔහුගෙන් කොතෙක් ප්‍රශ්න කළද ඔහු ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන කිසිදු වචනයකුදු පිටකළේ නැත. පසුව ක්‍රමයෙන් ඔහුට සමීප වූ පොලිස් පරීක්‍ෂක සංජීව සිය පළපුරුදු රාජකාරිය මොනවට පෙන්නුම් කරමින් තුවක්කුකරුගේ හිත දිනා ගනිමින් ව්‍යාපාරික ඝාතනයේ සුලමුල පමණක් නොව ඝාතනයට උපයෝගී කරගත් නයින් එම්.එම්. ගිනි අවියද කෙසෙල් කොටුවක සඟවා තිබියදී ඔහුගේ මඟ පෙන්වීම මත සොයා ගත්තේය.

ඉන් පසුව ඔහු කළුතර දිසා අපරාධ කොට්ඨාසයට ගෙනැවිත් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කෝටිපති ව්‍යාපාරික – අනුරාධ සම්පත් කුඩාගොඩ නමැත්තා ඝාතනය කළේ මත්ද්‍රව්‍ය ආරවුලක් මත ලැබුණු කොන්ත්‍රාත්තුවකට නොව, මියගිය ව්‍යාපාරිකයාගේ ඥාති සමීපතමයකු ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත බවද ඔහු නිලධාරීන් ඉදිරියේ පවසා සිටියේය.

“මට ලක්‍ෂ 30ක් දෙන්නම් කිව්වා. වෙඩි තියන්න කලින් මට ලක්‍ෂ 10ක් දුන්නා. ඒකෙන් එකයි විස්සක් දීලා යාළුවා උකස් කරපු බයික් එක බේරගත්තා. 27 වැනිදා අපි දෙන්නම ගාල්ලට ගිහින් ජැකට් දෙකකුයි හෙල්මට් දෙකකුයි සල්ලි දීලා ගත්තා. පස්සේ  මම එයාට කිව්වා 28 වැනිදා වැඩේ කරමු. උඹ බයික් එකත් අරගෙන පින්වත්ත හන්දියට වරෙන් කියලා.

28 වැනිදා පාන්දර හතරට විතර මගේ ස්කූටි බයික් එකෙන් හික්කඩුවට ඇවිත් බයික් එක යාළුවෙක්ගේ ගෙදර දමලා බස් එකෙන් පින්වත්තට ගියා. උදේ 8 වෙන්නත් කලින් පොඩ්ඩා බයික් එකේ ආවා. අපි ජැකට් දාලා හෙල්මට් දාලයි හිටියේ.

ටික වේලාවකට පස්සේ සුදු පාට ජීප් එකක් අපිව පහු කරගෙන ගියා. මම කිව්වා ඒක පස්සේ යමු කියලා.

ටික දුරක් ගියාට පස්සේ මම ජීප් එකට ඕවර්ටේක් කරන්න කියලා පොඩ්ඩට කිව්වා. ඒත් එක්කම ජීප් එකේ හිටිය සම්පත් අපේ දිහා බැලුවා. මම හෙල්මට් එක උස්සලා එයා  දිහා බලනකොට එයා මාව හඳුනගෙන ජීප් එක නැවැත්තුවා. එයාව මම දන්නවා. ඒ හැඳුනුම්කමට තමයි එයා ජීප් එක නැවැත්තුවේ. පස්සේ මම බයික් එකෙන් බැහැලා එයා ළඟට යනකොටම එයා ජීප් එකේ වීදුරුව පහත් කළා. ඒත් එක්කම මම මිනිහට ෂොට් එකක් තිබ්බා…. ඒක බෙල්ලට වැදුණා. මිනිහගේ බෙල්ල කඩා වැටුණා. ජීප් එකත් ටිකක් ඉස්සරට ඇදිලා ගිහින් නතර වුණා. මම බයික් එකට නැඟලා ඒක හරවගෙන ගාලු පාරට ගිහින් බස් එකේ නැඟලා ගමේ ආවා.”

තුවක්කුකරු පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසන්නට විය.

“ඇයි උඹලා ඒ මිනිහව මැරුවේ. කවුද උඹට කොන්ත්‍රාත් එක දුන්නේ.”

“මම එච්චර දෙයක් දන්නේ නැහැ සර්. මොකක්ද ගෑනු හුටපටයක් තමයි කිව්වේ. මට ඔය කන්ට්‍රැක්ට් එක දුන්නේ ………. සර්…”

තුවක්කුකරු ඝාතනයේ සියලු තොරතුරු හෙළි කරමින් සම්පත් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව  දුන් තැනැත්තාගේ නම් ගම්ද නිලධාරීන්ට කීවේය. ඒ අනුව මෙතෙක් කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ තුවක්කුකරුට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ බිරියගේ පාර්ශ්වයේ ඥාතියකු බවය.

මේ අනුව මේ වන විට නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මෙවැන්නකි.

මියගිය සම්පත් කුඩාගොඩ ධනවතෙකි. මත්පැන්හලක් ඇතුළු දේපළ ගණනාවක හිමිකරුවෙකි. නිවාස සංකීර්ණයකද අයිතිකරුවෙකි. ගාල්ල ප්‍රදේශයේද ඔහුට අයත් ඉඩම් ඇති බවට හෙළිවී තිබේ.

එක්දරු පියකු වන විවාහක බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්වීමට ඔහු අධිකරණය හමුවේ දික්කසාද නඩුවක්ද ගොනුකර තිබිණි. එහෙත් එය ප්‍රතික්ෂේප වී තිබේ. දෙවැනි වරටද බිරියගෙන් වෙන්වීම සඳහා ඔහු යළිත් අධිකරණය හමුවේ දික්කසාද නඩුවක් ගොනු කළේය. එය මේ වන විටත් විභාග වෙමින් පවතී.

මේ අතරතුර ඔහු තවත් කාන්තාවක් සමීපව ඇසුරු කරන්නට විය. ඇයද විවාහක දෙදරු මවකි. මුල් කසාදයෙන් වෙන්වී සිටි ඇයටද දරුවන් දෙදෙනෙකි. මේ වන විට ඇය ජීවත්වන්නේ සම්පත් සමඟිනි. ඒ සම්පත්ට අයත් පානදුර ප්‍රදේශයේ එපාර්ට්මන්ට් එකකය. මේ බව සම්පත්ගේ කසාද බිරියත්, ඇගේ පාර්ශ්වයත් දැනගැනීමෙන් පසු ඔවුන් සිටියේ සම්පත් සමඟ වෛරයකිනි. ඔහු සමඟ මේ වන විට ජීවත්වන ඇය සම්පත්ගේ කලින් බිරියගේ ළඟම ඥාතියකුගේ දියණියකද වන බව විමර්ශනවලදී හෙළිවී ඇත.

එමෙන්ම සම්පත්ගේ කලින් විවාහයේ දෙවැනි මනමාලිය වූයේ ඇය බවද නිලධාරීහු කියති.

ප්‍රකට පාසලක ගුරුවරියක වූ ඇය විවාහ කර ගැනීමේ අදහසින් සම්පත් පින්වත්ත ටිඩ්ල්මන් ද සිල්වා පාරේ තෙමහල් නිවෙසක්ද ඉදිකරන්නට විය.

උදෑසන ඇයත් දරු දෙදෙනාත් සමඟ පානදුරේ එපාර්ට්මන්ට් එකෙන් පිටත් වන සම්පත් ඇය සහ දරු දෙදෙනා පාසලට ඇරලවා අලුතින් ඉදිකරන නිවෙස බලන්නට යෑම පුරුද්දක් කරගෙන තිබුණේය. සම්පත් මැරුම් කන්නේද එලෙස දරු දෙදෙනා සහ ඔවුන්ගේ මව පාසලට ඇරලවා එම නිවෙසට යන මොහොතේදීය.

කෙසේ වෙතත් මේ වන විට කර ඇති විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සම්පත් සතු දේපළ පිටස්තර කාන්තාවකට සතු වෙන්නට කලියෙන් ඔහු ඝාතනය කර ඇති බවය.

එහෙත් විමර්ශන නිලධාරීන් පවසන්නේ, සම්පත්ගේ දේපළවලට වෙනත් කාන්තාවක් හිමිකම් කියන එක වළක්වා ගැනීමට සම්පත් ඝාතනය කළද තමාව ඝාතනය කිරීමට ඉඩකඩ ඇති බවට තිබූ සැකය නිසාදෝ සම්පත් මියයන්නට පෙර සියලු දේපළ අන්තිම කැමැති පත්‍රයකින් ලියා ඇති බවය.

සම්පත් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් පුද්ගලයා ඇතුළු පාර්ශ්වයේ බලාපොරොත්තු සියල්ල ඒ නිසා ඉටුවේදැයි සැක සහිතය. එමෙන්ම පළමු කසාදයෙන් නීත්‍යනුකූලව වෙන්වීමට අධිකරණය හමුවේ සම්පත් ගොනුකළ නඩුව තවමත් අවසන් වී නැත. මෙවන් කාරණා රැසක් ඉතිරි කර තබමින් වෙඩි කා මියගිය සම්පත් කුඩාගොඩගේ අවසන් කටයුතු පසුගියදා සිදුකෙරුණු අතර සම්පත්ට නිවන් සුව පතමින් හත් දවසේ බණ කියද්දී කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට සම්පත් ඝාතනය සිදුකළ වෙඩික්කරු, පැදිකරු සහ ඝාතනයට යොදාගත් ගිනි අවියද අත්අඩංගුවට ගැනීමට හැකිවීම උසස් නිලධාරීන්ගේ දැඩි ප්‍රශංසාවට හේතුවී ඇත.

සැකකරුවන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී. තුවක්කුකරුට ගිනි අවිය ලැබුණේ කෙසේදැයි සෙවීමටද විමර්ශන සිදු කරන්නට විය. කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, කළුතර දිසා අපරාධ ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඩී.පී. ක්‍රිශාන්තගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත කළුතර දිසා අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලංග සංජීවගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක අතුල කුමාර, උප පොලිස් පරීක්‍ෂක මධුෂාන්, සැරයන්වරුන් වූ ගුණේන්ද්‍ර (55301) ඒකනායක (69083), ප්‍රසන්න (69479), ජයසූරිය (69615), කොස්තාපල්වරුන් වූ පද්ම කුමාර (88400), අංජුල (98857), සම්පත් (98247), චන්දිම (97978), පොලිස් රියැදුරන් වූ ලසික (810103), සංකල්ප (89247), බස්නායක (98971) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට එක්ව සිටියහ. පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.

කීර්ති මෙන්ඩිස්

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හත්දොහේ බණ දවසේ මිනීමරුවා අල්ලපු පින්වත්තෙ කෝටිපතියා ඝාතන අබිරහස Rating: 5 Reviewed By: webgossip24.com