728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 19, 2023

මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා ලග්න හිමියන් රැසකට සුබ නෑ


 2023.03.15 වන බදාදා දින උදේ 06.34 ට ග්‍රහ ලෝකයේ මූලිකයා වශයෙන් ද ලෝකයේ පියා වශයෙන් ද හඳුන්වනු ලබන රවි ග්‍රහයා ශනි හිමි කුම්භ රාශියේ සිට ගුරු හිමි මීන රාශියට මාරු විය. එසේ මාරුවෙන රවි ග්‍රහයා 2023.04.14 වන බ්‍රහස්පතින්දා සවස 02.59 දක්වා ගුරු හිමි මීන රාශියේ යෙදී සිටියි.

රවි ග්‍රහයා මාරු වෙන අවස්ථාවේ උදා වී තිබූ ග්‍රහ තත්ත්වයන් පිළිබඳ කරුණු කාරණා මේ අන්දමිනි.

මේ අවස්ථාවේ උදාවී ඇති ලග්නය ගුරු හිමි මීනය. උදා වී ඇති නැකත සහ නැකැත් පාදය දෙට නැකතේ 4 වන පාදයයි. මේ අවස්ථාවට මැදින් අව පක්ෂයේ 8 වන තිථියද, සිද්ධි යෝගය ද බාලව සහ කෞලව කරණද උදා වී ඇත.උදාවී ඇති 22 වන දෙර්කාණාධිපති ශුක්‍ර වශයෙන් ද 64 වන නවාංශකාධිපති බුධ වශයෙන් ද පෙන්වා දෙමි.

මේ අන්දමින් මාරුවෙන රවි ග්‍රහයා ඒ ඒ රාශීන්ට බලපාන්නේ කෙසේ දැයි විග්‍රහ කර බලමු.ග්‍රහ මාරුව රාශි 4ට ශුභයි, රාශි 1ට සමඵලයි, රාශි 7ට අශුභයි.

මේෂ රාශිය

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රය් මෙකී කාලය තුළ රවි ග්‍රහයා ගමන් කරනුයේ දොළොස් වැන්නේය. ඔබට තිබුණු ගෞරව සැලකිලි පිරිහී යයි. දුක් සහිත කාලයකි. සිත් තැවුල් නිතර ඇති වේ. අවුල් වියවුල් කලකෝලාහලවලට පවා මැදිහත් වීමට සිදු වේ. ශරීර සනීප අඩු වේ. නිකරුණේ ඇවිදිලි යෙදේ. ඥාතියෙක් සමග ආරවුලක් ඇති කර ගනී. ධන හානි කරන කාලයකි. රජයේ වැඩ කරන අයට විශේෂයෙන් අපලදායකයි.

වෘෂභ රාශිය

වෘෂභ ලග්නය හිමි වූවන්ට ගෞරව, සැලකිලි, නම්බුව වැඩි වැඩියෙන් ලැබෙන කාලයකි. වෙළෙඳ කටයුතු කරන අයගේ වෙළෙඳ කටයුතු දියුණු වේ. රජයේ රැකියාවල නියුක්ත වූවන්ට වැඩිපුර ගරු සැලකිලි ලැබෙන කාලයකි. හොඳ ආහාර පාන වර්ග, ධාන්‍ය වර්ග, ඇඳුම් පැළඳුම් වැඩි උත්සාහයක් නොමැතිව සපයා ගැනීමට හැකි වේ. සමහර විට හිත මිතුරන්ගෙන් තෑගි බෝග වශයෙන් ලැබෙන්ට පුළුවන. මුදල් අතින් යහපත් වේ. සෑම අතින්ම දියුණුවට කටයුතු සැලසේ.

මිථුන රාශිය

මිථුන ලග්නය හිමි ඔබගේ සිතේ සතුට ප්‍රීතිය මෙම කාලසීමාවේදී නිසැකයෙන්ම ඇති වේ. වැඩ කටයුතු සපල වේ. අලුතෙන් ආරම්භ කරන වැඩ කටයුතු මෙන්ම කරගෙන යන වැඩ කටයුතු ද දියුණු වේ. බලාපොරොත්තු වූ අදහස් සියල්ල ඉෂ්ට වේ. හැම අතින්ම සතුටුදායක කාලයකි. රැකී රක්ෂා තනතුරු සඳහා කැඳවීම් ලැබෙන කාලයකි. මුදල් ලාභ ද ලැබීමට හේතුයි. වැදගත් අයගේ සැලකිලි ලැබීම් විශේෂයි. ප්‍රසිද්ධ වීමට කරුණු යෙදෙයි.

කටක රාශිය

ඔබට නම් මෙම කාල පරාසය එතරම් සුබදායක නොවේ. ශරීර සනීපය අඩු වේ. මලානික උදාසීන ගතියක් මෙන්ම ශරීරයට පණ නැති ගතියක් දැනේ. අගෞරව ලැබෙන කාලයකි. නින්දා අපහාස ආදියත් අසන්ට ලැබේ. මුදල් හානි ඇති වේ. සිත් තැවුල් ඇති වේ. නොයෙක් ක්‍රමවලින් කරදර ඇති වේ. පවුලේ වැඩිහිටියෙකුට අසනීපයක් සෑදෙන්ට ඉඩ ඇත. මේ කාලයේදී සිතට සතුට නැති වේ. නුවමනා දේට මුදල් වියදම වැඩි වෙයි. මුදල් අතින් අමාරුකම් නිතර ඇති වේ. ආදායම් අඩු වේ.

සිංහ රාශිය

තමාට හෝ අඹු දරු ආදි පවුලේ කෙනෙකුට හෝ අසනීපයක්, කරදරයක්, පීඩාවක් ඇති විය හැකිය. උසස් අයගෙන් කරදර ඇති වේ. ඔවුහු තමා සමග අමනාපකම් ඇති කර ගනී. ගිනි භයක් ඇති විය හැකිය. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, ලේ උෂ්ණ වීම, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්නට පුළුවන. අසතුටුදායක ආරංචි ලැබෙන කාලයකි. කලකෝලාහලවලට අසුවිය හැකිය.

කන්‍යා රාශිය

සිත්තැවුල් ඇති වන කාලයකි. භාර්යාව හෝ ස්වාමිපුරුෂයා හෝ සමඟ ආරවුල් ඇති වේ. මුදල් අතින් අගහිගකම් ඇති වේ. නිකරුණේ මුදල් නැති වේ. ගමන් බිමන් අධික වේ. සෙම් දෝෂ, උදරාබාධ, පාචන, උණ, අක්මාවේ දෝෂ, අර්ශස් ආදී රෝග වැළඳීමට ඉඩ ඇත. භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට හෝ අසනීපයක් වැළඳෙන්නට ඉඩ තිබේ. කිසිම සැප පහසුකමක් නැති ගමන් යෑමට සිදු වේ. ඇස්වහ කටවහ ආදී දෝෂ වදී. මංගල යෝජනා බිඳ වැටේ.

තුලා රාශිය

රවි ග්‍රහයා 06 වන භාවයේ ගමන් කරන මෙම කාලයේ වස්තු ලාභ ලැබේ. දුක් කරදරවලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබේ. සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. කරගෙන ආ කටයුතු ද අලුතෙන් ආරම්භ කරන කටයුතු ද දියුණු වේ. ශරීර සනීපය ඇති වේ. අසනීපයෙන් පසුවන අයට නිරෝගි භාවය ලැබේ. ප්‍රීතිමත් කාලයකි. වාසනාවන්ත ප්‍රීති උත්සව ඇති වීමට ද ඉඩ තිබේ.

වෘශ්චික රාශිය

දරුවන්, ශිෂ්‍යයින් සිටින්නේ නම් මේ කාලය තුළ ඔවුන්ට අසනීප, අපල සහ හිතුවක්කාර වීම ද, අහංකාර වීම ද නියමයි. තමාගේ බඩේ උෂ්ණ ද අධික වේ. සිතට, කයට පීඩා දායකය. දිළිඳු වේ. සතුරන් සමග ආරවුල් ඇති වේ. සතුරන් නිසා හිතට භයක් ඇති වේ. උසස් අයගෙන් තමාට අගෞරව ඇති වේ. උසස් අය හා ආරවුල් ඇති වේ. හදිසි අනතුරු හෝ අතරමග කරදරයක් ඇති වේ. තමාගේ නම නරක් වේ. පලක් නැති ගමනක් යෑමට සිදු වේ. තරගවලින්, විභාගවලින් පරාජය වේ. ප්‍රමාණයට වඩා තම ලොකුකම් රටට පෙනෙන ලෙස වියදම් කිරීමට සිතේ.

ධනු රාශිය

මෙම කාලපරාසය සිතට සැනසීමක් නැත. අවනම්බු විඳීමට සිදුවන කාලයකි. සිත් වේදනා ඇති වේ. අනුමානයට කරන කටයුතුවලින් අත්වන්නේ පරාජයයි. ගමන් බිමන්වලදී බලාපොරොත්තු රහිත කරදර ඇති වේ. ගෙදර දොරේ අවාසනාවන්ත කම් මතු වේ. මුදල් අතින් අවහිරකම් ඇති වේ. පපුවේ වේදනාවක් හෝ කැස්ස ගතියක් හෝ උණක් හෝ සෑදෙන්ට පුළුවන. දේපළවලින් හෝ ගොවිතැනින් පාඩු සිදු වේ. අධික රුධිර පීඩනය තිබෙන අයට මේ කාලසීමාව තදබල අපලය. මවුපියන්ට ද කරදර සහිතය.

මකර රාශිය

මෙම කාල පරාසය සැපවත් වේ. කයට, සිතට සැනසිලි දායකයි. ධන ලාභ ලැබේ. උසස් අයගෙන් සැලකිලි ද උපකාර ද ලැබේ. තමාගේ තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. වෙළෙඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. තමා කරගෙන යන සියලුම කටයුතු දියුණු වේ. සතුරන්ගෙන් ජය ලැබේ. ධෛර්ය, ශක්තිය, ශරීරය බර වැඩි වේ. අනුන්ගෙන් ගරු නම්බු ලැබේ. ආණ්ඩුවෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබේ. අසනීපවලින් සුවය ලැබේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. පුණ්‍යවන්තයන්ගේ ආශ්‍රය ලැබේ.

කුම්භ රාශිය

තමාගේ ලොකුකම රටට පෙන්වීමට ලොකුවට වියදම් කිරීමට සිතීම නිසාම තමාගේ ධනය හානි වේ. මුදල් අතින් හිරිහැර සහිත කාලයකි. තමාට ලැබීම් අඩුය. විවාහ වූ අය නම් භාර්යාවට හෝ ස්වාමියාට හෝ අසනීප, විපත්ති, දුක් ඇති විය හැකිය. පවුලේ අය අතර ආරවුල් පැන නගී. සමහර විට මිත්‍රයන් සමග හෝ ඥාතීන් සමග හෝ ආරවුල් මතුවිය හැකිය. වංචා ප්‍රයෝගවලට අසු වේ. මේ කාලපරාසය අසනීප වැළඳීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්නෙහි රවි සමග බුධ සහ ගුරු සංයෝග වී සිටින නිසා ඉහත සඳහන් තද අපල ඇති නොවේ.

මීන රාශිය

වඩාත් සතුටුදායක කාලයක් නොවේ. ශෝකයෙන් කනස්සල්ලෙන් කල්ගත වේ. සමහර විට ශෝකාත්මක ආරංචියක් ලැබෙන්නට හෝ ශෝකයට කරුණක් යෙදෙන්ට පුළුවන. තැන් තැන්වල ඇවිදීමට හිත දෙයි. ඇතැම් විට වාසස්ථාන පිළිබඳ වෙනස්වීමක් හෝ නිදාගන්නා ස්ථානය පිළිබඳ වෙනස්වීමක් වීමට ඉඩ තිබේ. තරමක් කරදර සහිත කාලයකි. සමහර විට උණ ගතියක් හෝ හිස කැක්කුම් ගතියක් හෝ හිසට තුවාලයක් හෝ උදරාබාධයක් හෝ හෘදයේ කැක්කුමක් හෝ අධි රුධිර ධාවනය හෝ ඇදුම ගතියක් හෝ ඇස්වල දෝෂයක් හෝ ඇතිවීමට ඉඩ තිබේ. මුදල් පිළිබඳ පාඩු හෝ අධික වියදම් හෝ ලාභ ප්‍රයෝජන අඩුවීම් හෝ පෙන්නුම් කරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා ලග්න හිමියන් රැසකට සුබ නෑ Rating: 5 Reviewed By: webgossip24.com