728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 18, 2023

සමාජයේ ලිංගිකත්වය දකින්නේ අසභ්‍ය දෙයක් විදියටයි - හිත හදාගෙනයි මම මේ චරිතය භාරගත්තේ - සේමිණි


සාම්ප්‍රදායික නාට්‍ය කරණයෙන් බැහැරවූ “එයා දැන් බැඳලා“ ටෙලිනාට්‍යය නිදාසිටි විචාරකයන් තට්ටුකර ඇහැරවන්නට තරම් ප්‍රබල වූවකි. එහි ප්‍රධාන භූමිකාවට පණ පොවන සේමිණි ඉද්දමල්ගොඩ වඩාත් කතාබහට ලක්වුණේ යර්ස් බොස්හී රෝෂිනීට පුළුවන්ද සුද්දි වෙන්න කියන ප්‍රශ්නාර්ථයත් සමඟයි. එසේ, එකී මෙකී නොකී ප්‍රශ්න මල්ලම රැගෙන සේමිණි ඉද්දමල්ගොඩ ළඟ අප නතර වුණේ ඒ නිසයි.

 කොහොමද මේ දවස්වල ජීවිතේ..

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර එක්ක ගොඩක් සතුටින් ඉන්නවා. මේ දිනවල රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නෙ නැහැ. ඒ නිසා සාමාන්‍ය විදිහට කාලය ගත කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විචාරකයන්ගේ දෑස් විවර කරන්නට “එයා දැන් බැඳලා“ හේතු වුණා. ඔබට ඒ ගැන දැනෙන හැඟීම මොකක්ද?

මෙම ටෙලි නාට්‍ය විකාශනය වීම ආරම්භ කිරීමෙන් අනතුරුව රූපවාහිනියෙන් ඈත් වී සිටි ප්‍රේක්ෂක පිරිස නැවතත් රූපවාහිනියට ළං වී තිබෙනවා. තවමත් උසස් රසවින්දනයට කැමති පිරිසක් සිටින බව අප මෙය හරහා දැන ගත්තා. මේ සම්බන්ධයෙන් කමෙන්ට් ආවා වගේම මෙම නාට්‍යය ට්‍රෙන්ඩින් වුණා. ලංකාව තුළ කාලෙකට පස්සේයි මෙවැනි විපර්යාසයක් සිදු වුණේ. සුද්දිටත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. හංගන් හිටපු කතාවක් නොසරුප්වලින් තොරව ආලින්දයේ සැමටම නැරඹිය හැකි ලෙස නිර්මාණය කිරීමේ ගෞරවය එහිදී අධ්‍යක්ෂකවරයාට හිමිවිය යුතුයි.

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය 28 චිත්‍රපටයෙහි දිගුවක් යැයි කතාවක් පැතිරෙනවා. එහි සත්‍ය අසත්‍යතාව මොකක්ද?

ප්‍රසන්න ජයකොඩි 28 චිත්‍රපටයට සමගාමීව පිටපත් තුනක් ලියලා තියෙනවා. ඒ පිටපත් තුනම ලියලා තියෙන්නේ චිත්‍රපට සඳහායි. එම අන්තිම පිටපත 28 චිත්‍රපටියයි. කොවිඩ් කාලයේ පැවැති අර්බුදකාරී තත්ත්වය තුළ චිත්‍රපටිවලට ලොකු ඉඩක් නැති නිසා එක පිටපතක් වෙනස් කරල එය ටෙලි නාට්‍යයක් බවට පත් කරනවා. එයා දැන් බැඳලා ලෙස ආලින්දයට පැමිණෙන්නේ එයයි. එහි දෙවන පිටපත නැවත චිත්‍රපටියක් ලෙස කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳ නිෂ්පාදකවරයෙක් ලැබුණොත් ඒ චිත්‍රපටයේ රූගත කිරීම් ළඟදීම ආරම්භ කරයි.

28 චිත්‍රපටිය හා එයා දැන් බැඳලා ටෙලි නාට්‍යය යන දෙකෙහිම එකිනෙකට සම්බන්ධ වන හා සමගාමී වන අවස්ථාත් අන්තර්ගතයි නේද?

“එයා දැන් බැඳලා“ කියන්නේ 28 චිත්‍රපටයෙහි දිගුවක්. 28 චිත්‍රපටයේ මම මළමිනියක් ලෙස සිට “අපට පාසලේ උගන්වලා නැහැ. ලිංගික අධ්‍යාපනය දීලා නැහැ“ කියලා කියනවා. එකී දෙබස් එම නාට්‍යයෙහි සුද්දි තුළින් හොඳින් විද්‍යමාන වෙනවා. “මගේ හැම කුණුහරුපයක්ම දැකලයි සිරි මට කැමති වුණේ“ කියන දෙබස එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය තුළ වගේම 28 චිත්‍රපටිය තුළත් තියෙනවා. 28 චිත්‍රපටයේ දී ප්‍රේක්ෂකයා මැවූ රූපරාමු එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයෙන් දිගහැරලා ප්‍රේක්ෂකයාගේ ඇස් ඉස්සරහට ගෙන ඒමට අධ්‍යක්ෂකවරයා උත්සාහ දරනවා.

 28 චිත්‍රපටය නිමකර වසර ගණනාවකට පසු එයා දැන් බැඳලා නිරූපණය කරන නිසා එය ඔබට අභියෝගයක් වුණාද?

28 චිත්‍රපටයේ මගේ චරිතය මළමිනියක්. එම අත්දැකීම කාගෙන්වත් අහලා දැනගත හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම එම අත්දැකීම අප ලබලත් නැහැ. එකී අසීරුකාර්යය කිරීමේදී අධ්‍යක්ෂකවරයා සුද්දි මවු කුසේ ඉන්න අවදියේ පටන්ම එකී චරිත ඉතිහාසය මට විග්‍රහ කළා. චිත්‍රපටය නිරූපණය කර දිගු කාලයක් ගත වුණත් ඒ චරිත අපගේ හිත්වල නොමැකෙන තැනක හිර වෙලා තියෙන්න තරම් හේතු වන්නට ඇත්තේ එකී චරිත අප ආදරයෙන් වැලඳගත් නිසයි. ප්‍රසන්න අයියා ඒ චරිතය අමතක නොවන තැනකට කිඳා බස්වන්න තරම් දක්ෂ වීමයි එහි රහස.

 එයා දැන් බැඳලා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා ඔබ විශ්වාස කළාද?

මෙතරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. මිනිසුන් මෙම ටෙලි නාට්‍යය වැලඳ ගනී කියලා විශ්වාසයක් තිබුණත් හොඳටම බැණුම් අහන්න සිද්ධ වෙයි කියලා පුංචි බයකුත් හිත් කොනක තිබුණා. රූපවාහිනිය තුළ මින් පෙර මෙවැනි මාතෘකා ගැන කතා කරලා තිබුණෙ නැහැ. අපේ සමාජයේ ලිංගිකත්වය දකින්නේ අසභ්‍ය දෙයක් විදියටයි. එවැනි සංස්කෘතික රටක ස්ත්‍රී දූෂකයන් දවසින් දෙකෙන් නිදහස් කරන විට නිහඬව සිටීම හරිම පුදුමයි. එකී කොටුවූ හා ගතානුගතික අදහස් නිසා බැණුම් වැස්සක තෙමෙන්න වුණත් හිත හදාගෙනයි මම මේ චරිතය භාරගත්තේ.


ඇත්තටම සුද්දිට බැණුම් අහන්න සිද්ධ වුණාද?

නැහැ මිනිස්සු සුද්දිව ආදරයෙන් වැලඳ ගත්තා. ත්‍රීවිල් පාක් එකේ අයියලා, මල්ලිලා ඔවුන්ගේම කෙනෙක් විදියට මට දැන් සලකනවා. ඒ වගේම බොහොමයක් දෙනා මට දැන් කතා කරන්නේ සුද්දි කියලයි. ඒ මිනිසුන්ගේ ආදරය නිසා මම මේ දවස්වල ඉන්නේ ගොඩක් සතුටින්.

 සේමිණි ඉද්දමල්ගොඩ සංකීර්ණ චරිතයක් ලෙස ප්‍රථම වරට ප්‍රේක්ෂකයා හඳුනාගන්නේ “එයා දැන් බැඳලා“ ටෙලි නාට්‍ය තුළින් නේද?

මම මීට පෙර සංකීර්ණ චරිත කිහිපයක්ම නිරූපණය කළා . නමුත් මිනිසුන් අතරට ඒ චරිත ගියා අඩුයි කියලා මට හිතෙනවා. ඒ වගේම ඒ කාලේ සමාජ මාධ්‍ය මේ තරම් සක්‍රීයව තිබුණේ නැහැ. කළුවර ගෙදර, ස්වයංජාත, කම්මිත්ත, නේත්‍රා මංගල්‍යය වැනි නිර්මාණ තුළ සංකීර්ණ චරිත මම නිරූපණය කළා. නමුත් එයා දැන් බැඳලා තරම් මට දැනුණු චරිතයක් මීට පෙර මම නිරූපණය කරලා නැහැ.

යර්ස් බොස් හී රෝෂිනි ගේ චරිතය ඔබට අපූරු අත්දැකීම් තිළිණ කරන්න ඇති. ඒ අතීතයට ගියොත්...

සේමිණි ඉද්දමල්ගොඩ කිසිම චරිතයකට කොටු වූ කෙනෙක් නෙමෙයි. “සිනමාවේ අහිංසකාවිය“, “පුංචි තිරයේ දඟකාරිය“ ආදී ලෙස නම් මට පටබැඳුණේ නැහැ. එහෙම වුණේ මම විවිධ චරිත නිරූපණය කිරීමට සෑම විටම උත්සාහ ගත් නිසයි. යර්ස් බොස් ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණත් මිනිසුන් හිනස්සන්න තරම් හැකියාවක් මට තියෙනවද කියල මම දැනන් හිටියෙත් නැහැ. ටෙලිනාට්‍ය‍යේ මුල් කොටස් රඟදක්වන විට ආධුනික බවක් දැනුණත් විජය අයියා එක්ක කරට කර ඒ කාර්යය කරන්නට මට හැකි වුණේ මිනිසුන් හිනැස්සීමේ විලාසිතාව මම හඳුනාගත් නිසයි. ප්‍රේක්ෂකයාට නොසරුප් වචන නොකියා හිනස්සන්න හරිම අමාරුයි. නමුත් මට ඒ කාර්යය යම්තාක් දුරකට සාර්ථකව කිරීමට හැකියාව ලැබුණා යැයි මම විශ්වාස කරනවා.

පුංචි තිරයට සාපේක්ෂව රිදී තිරය තුළ ඔබට ප්‍රමාණවත් ඉඩක් ලැබුණේ නැහැ කියලා අපට හිතෙනවා. ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?

ඒක මටත් දැනුණු දෙයක්. මම තරුණ අවධියේ කලාවට සම්බන්ධ නොවීමත් ඊට හේතුවක් වන්නට ඇති. මම කලාවට සම්බන්ධ වෙන්නේ විවාහ වීමෙන් අනතුරුවයි. යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් වැනි චිත්‍රපටිවල ප්‍රබල චරිත මට ලැබුණත් සාපේක්ෂව රිදී තිරය සඳහා මට ආරාධනා ලැබුණේ අඩුවෙන්. විවාහයෙන් පසුව ක්ෂේත්‍රයට පැමිණි නිසා මට රිදී තිරයේ බොහෝ අවස්ථාවන් ගිලිහුණා. නමුත් විවාහයෙන් පසු ක්ෂේත්‍රයට පැමිණි ශ්‍රියානි අමරසේන අක්කා රිදී තිරය තුළ ජයග්‍රාහි ගමනක් ගියා.

කලා ක්ෂේත්‍රයේ මුල් පියවර තැබීමට ඔබට ශ්‍රියානි අමරසේකරයන්ගෙන් සුවිශාල සහායක් ලැබුණා නේද?

ඔව්. ඇය නිසයි මම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇය මගේ ඡායාරූපයක් දැකලා ඇගේ තරුණ අවධියේ හැඩහුරුකම්වලට මම බෙහෙවින් සමීප නිසා ඇයගේ තරුණ කාලයේ චරිතයට මම සුදුසුයි කියා තීරණය කර, මට එයට ආරාධනා කරනවා. එතකොට මට රඟපාන්න පුළුවන් ද කියලවත් ඇය දැන සිටියේ නැහැ. ඔවුන් මාව ඒ චරිතයට තෝරා ගත්තේ මම ශ්‍රියානි අක්කගෙ රූපයට සමාන නිසා විතරයි. නමුත් මම එයට රංගනයෙන් සාධාරණයක් කළා යැයි මම විස්වාස කරනවා.

චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස කැපී පෙනෙන කොට කැපිලි කෙටිලිවලටත් මුහුණ දෙන්න සිදු වුණා ද?

කැපිලි, කෙටිලි ඉරිසියා කිරීම් සිදුකරන්නේ තිරයෙන් පිටුපසයි. ඒවා අපගෙ මුහුණ ඉදිරියේ සිදුවන දේවල් නෙමෙයි. මේතාක් මගේ මුහුණට කවුරුත් බැණලා වත්, බලපෑම් කරලා වත් නැහැ. “එයා දැන් බැඳලා“ විකාශනය වෙන්න පටන් ගත්තම මගේ සහෝදර රංගන ශිල්පීන් වගේම ප්‍රවීණයන් බොහොමයක් මට කතා කළා. ඒ වගේම ඔවුන් සුබ පැතුම් එක් කළා. ශ්‍රියානි අමරසේන, වසන්ති චතුරාණි, නිල්මිණි තෙන්නකෝන්, නීටා ප්‍රනාන්දු, අවන්ති අපෝන්සු වැනි ප්‍රවීණයන් ඒ අතර හිටියා. මහේෂි මධුසංකා වැනි තාරුණ්‍ය නියෝජනය කරන රංගන ශිල්පිනියන් පවා මට කතා කරමින් සුබ පැතුවා. ඔවුන්ගෙ හිත්වල කහටක් ගෑවිලාවත් නැහැ. යම් දක්ෂයෙක් අගයන්නේ තවත් දක්ෂයෙක් පමණයි.



රිදී තිරය තුළ අතීතයේ සිටි තරු තවමත් අපේ හිත්වල බැබළෙනවා. නමුත් වර්තමාන රංගන ශිල්පීන් තුළ එකී තරු ගුණය අප දකින්නෙ නැත්තෙ ඇයි?

හැමදාම, එක දිගට රූපවාහිනිය තුළ දකින විට රංගන ශිල්පීනගේ අගය අඩු වෙනවා. ඔවුන් සාමාන්‍යකරණය වෙනවා. මම “එයා දැන් බැඳලා“ ටෙලි නාට්‍යයෙහි රඟපාන්නෙ වසර 7කට පසුවයි.

එකී වසර හත තුළ මම චිත්‍රපටි හතරක් කළා පමණයි. නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි වගේ නිතර නිතර ඇසට ඒ රූපය හුරුවීම තුළ එකී තරු ගුණය අඩු වෙනවා. ඒකාකාරී චරිතවලින් බැහැරව විවිධ චරිත නිරූපණය කරනවා නම් එවැනි ගැටලු පැන නඟින්නේ නැහැ. නමුත් එය වෘත්තීය රංගන ශිල්පීන්ට අසීරු කාර්යයක්. මම කලා ක්ෂේත්‍රයට පිවිස වසර විස්සකට අධිකයි. නමුත් මම එකී කාලය තුළ රඟපෑ නාට්‍ය ගණන 40කටත් අඩුයි. රංගන ක්ෂේත්‍රය තුළ උඩුගම් බලා පිහිනන්න හැමෝටම බැහැ.

ඔබගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් නිෂ්පාදනයට වගේම අධ්‍යක්ෂණයට යොමු වෙනවා. ඔබත් අනාගතයේදී එකී කාර්යයන්ට අතගසයි ද?

මම නිෂ්පාදනයට මින් පෙර යොමු වුණා. නමුත් එයින් මූල්‍යමය ප්‍රතිලාභ මට ලැබුණෙ නැහැ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි. ඒ නිසා නැවතත් නිෂ්පාදන කාර්යයට මම යොමු වෙන එකක් නැහැ. ඒ වගේම අධ්‍යක්ෂණ කාර්ය මගේ ඇඟේ නැහැ කියල මම තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා පුළුවන් වැඩේ කරගෙන මම පාඩුවේ ඉන්නවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සමාජයේ ලිංගිකත්වය දකින්නේ අසභ්‍ය දෙයක් විදියටයි - හිත හදාගෙනයි මම මේ චරිතය භාරගත්තේ - සේමිණි Rating: 5 Reviewed By: webgossip24.com