728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියාගේ දිවි අහිමි කරමින් කොළඹ මුල් කරගෙන ඉහලින්ම සිටපු අංජුගේ පැටිකිරිය - ජායාරූප


  ගොනා කෝවිලේ අංජු සහ ඇල්ටෝ ධර්මේ අපරාධ ලෝකයේ නම කියැවෙන චරිත බවට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා ඝාතනය කරමිනි. 

මෙරට මත්කුඩු ජාලය මෙහෙයවමින් ඉහළින්ම රැඳී සිටි පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂිත ගුණරත්න නොහොත් පාණදුරේ කුඩු සළිදු මැඩගස්කරයේදී එරට පොලිසියට කොටුවන්නේ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයන්ට අනුවය. මැඩගස්කරයේදී පොලිසියට කොටු වූයේ යැයි කීවාට සැබෑ ලෙසම සිදුවී තිබුණේ ඔවුන්ව මැඩගස්කර පොලිසියට කොටුකර දීමකි. ඒ පිටුපස සිටින්නේ යැයි කියනු ලබන්නේ මත්කුඩු ජාවාරමේ සිටින ඔවුන්ගේ ප්‍රතිවාදියෙකි. 

නාවල නිහාල්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් චරිතයට පණ දුන් මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටුකර දුන්නේ ද මෙවැනිම ආකාරයේ ගේමක් ගසාය. ඒ පිටුපස සිටියේ අන්නාසි මොරිල්ය.

මාකඳුරේ මධුෂ්ගෙන් පසු ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයකට අනුව විදේශයකදී අත්අඩංගුවට ගත් අපරාධකරුවකුව මෙරටට රැගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නම් ඒ හරක් කටා සහ කුඩු සළිඳු පමණි. මැඩගස්කරයට හසුවන්නට පෙර හරක් කටාව හසුවන්නේ ඩුබායි පොලිසියටය. දන්නා හැම ශිල්පයක්ම දමා ඔහුව මෙරටට ඉල්ලා සිටියත් මධුෂ්ව දුන් විදිහට ඔහුව මෙරට ලැබුණේ නැත.

හරක් කටාට පෙර අබුඩාබි හීදී එරට පොළිසියට හසුවන්නේ එල්ලවල ලියනගේ ධර්මසිරි පෙ‍රේරා නොහොත් ඇල්ටෝ ධර්මේ නමැති පාතාලයේ අපරාධකරුය. ඒ 2020 වසරේදීය. අබුඩාබි හීදී එරට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ වීසා ගැටලුවක් මුල්කරගෙනය. ඇල්ටෝ ධර්මේට එරෙහිව රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කර ඇතැයි අබුඩාබි පොලිසිය පවා දැන ගන්නේ එහිදීය. ඒ යැයි කියා අබුඩාබි පොලිසිය ඔහුව මෙරටට පිටුවහල් කළේ නැත. එදා ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට තරම් උනන්දුවක් බලධාරීන්ට පවා නොවීය. ඒ තත්ත්වය මත සිදුවන්නේ එක්සත් එමීර් රාජ්‍ය තුළ නිදහසේ අදටත් රැඳී සිටිමින් මෙරට අපරාධ හසුරුවන්නටත් මත්කුඩු ජාවාරම මෙහෙයවන්නටත් ඔහුට බලපත්‍රයක් හිමි වීමය.

ප්‍රංශ පොලිසිය පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලබන සිංහාර අමල් ශාමින්ද සිල්වා නොහොත් ගොනා කෝවිලේ කුඩු අංජු සැලකෙන්නේ ඇල්ටෝ ධර්මෙගේ බොස් යැයි කියාය. ඇල්ටෝ ධර්මේ සැලකෙන්නේ අංජුගේ මත්කුඩු ජාලයේත් පාතාල අපරාධ ජාලයේත් කළමනාකරු බවය. අංජුගේ නම ඉදිරියේ ලියැවී ඇති හැම අපරාධයක්ම මෙහෙයවා ඇත්තේ ඇල්ටෝ ධර්මේය. අංජු සහ ඇල්ටෝ ධර්මේ යනු ගහට පොත්ත මෙනි.

ගොනා කෝවිලේ අංජු සහ ඇල්ටෝ ධර්මේ අපරාධ ලෝකයේ නම කියැවෙන චරිත බවට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා ඝාතනය කරමිනි. රංජන් ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහුගේ වැඩිමහල් පුතා සාවිත්‍ර ද සිල්වාය. ඔහු පොදු පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. එදා 2018 වසරේ මැයි 05 වෙනිදා රාත්‍රියේ රංජන්ද සිල්වා ඉලක්ක කරන්නේ සාවිත්‍ර ද සමඟිනි. එම අවස්ථාවේදී සාවිත්‍රගේ දිවි ගැලවෙන්නේ ඔහුගේ දෙපාවලට පිංසිදුවන්නටය. එදා ධනංජය ද සිල්වා විදෙස් තරගයකට සහභාගී වෙමින් සිටි බැවින් ඔහුගේ ජීවිතයට අනතුරක් නොවීය. එසේ නොවන්නට ධනංජය ද සිල්වා ද වෙඩික්කරුවන්ගේ ඉලක්කයක් බවට එදා පත්වන්නට තිබුණු ඉඩකඩ බොහෝය. 


ඒ වන විට ගොනා කෝවිලේ කුඩු අංජු සිටින්නේ සිය බිරිය හා දරුවන් දෙදෙනා සමඟ ඩුබායි හි පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාසයකය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ඝාතනය අංජු විසින් මෙහෙය වන්නේ ඩුබායිහි සිට බවය. ඒ ඇල්ටෝ ධර්මේ ඔස්සේය. ඇල්ටෝ ධර්මේ ධනංජය ද සිල්වාගේ පියාව එදා ඝාතනය කරනු ලබන්නේ කුලී ඝාතකයන් දෙදෙනෙක් යොදාය. එම කුලී ඝාතකයන්ගේ වෙඩි ප්‍රහාරවලින් එදා ධනංජය ද සිල්වාගේ පියා ජීවිතයට සමුදෙන විට රත්මලානේ ඥානේද්‍ර මාවතේ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිට රැඳී සිටි සරත් ජයන්ත සහ උපාලි සිල්වා යන දෙදෙනා ද වෙඩි ප්‍රහාාරවලට ලක්ව තුවාල ලැබීය. ඇල්ටෝ ධර්මේ අබුඩාබියට පනින්නේ මෙම වෙඩි තැබීමත් සමඟ පොලිසිය ඔහු පස්සේ පන්නන්නට වූ බැවිනි. ධර්මෙට එරෙහිව ඇති ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනය ලබාගැනීමට පවා මුල්වන්නේ යැයි කියැවෙන්නේ ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයයි.

ප්‍රංශ පොලිසිය කුඩු අංජුව අත්අඩංගුවට ගන්නේ ද ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කර ඇති රතු නිවේදනයට අනුව ඔහු පස්සේ පන්නා බොහෝම අමාරුවෙන් යැයි මෙරට සිටින බොහෝ දෙනා සිතනු ඇත. ඒ ඇතැම් උදවිය හැසිරෙන්නේ ඒ අය නිසා ප්‍රංශ පොලිසිය කුඩු අංජුව අත්අඩංගුවට ගත් ගානටය. මාකදුරේ මධුෂ්ව ඩුබායි පොලිසිය අත්අඩංගුවටගත් අවස්ථාවේදී පවා ඇතැම් අය රැඟුවේ ඒ ඔවුන් විසින් කළ මෙහෙයුමකට අනුව සිදුවූවක් යැයි කියාය.

ප්‍රංශයෙන් ලැබෙන තොරතුරුවලින් කියැවෙන ආකාරයට අනුව කුඩු අංජුව සැබෑ ලෙසම එරට පොලීසිය අත්අඩංගුවට ගනු ලබන්නේ රතු නිවේදනය නිසා නොව, බිරිය සමඟ ඇතිවුණු ආරවුලක් මුල්කරගෙන ඇය විසින් අංජුට එරෙහිව කළ පැමිණිල්ලකට අනුවය. එම පවුල් ආරවුලට මුල කුඩු අංජු සිය බිරිය අතහැර සුදු ජාතික කතක් සමඟ පවුල් කන්නට යෑමය. එම රටවලට මේ දේවල් අරුමයක් නොවූවත් එය නීතිය හමුවට යන සිදුවීමක් බවට පත්වන්නේ ඔහු සිය බිරිය සහ දරුවන්ට නොසලකමින් බිරියට අඩන්තේට්ටම් කිරීම නිසාය.

ප්‍රංශ පොලිසිය විසින් අංජුව අත්අඩංගුවට ගන්නේ ඒ සම්බන්ධයෙනි. එරට අධිකරණයට ඉදිරිපත් කරන ඔහුව දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමකටද යටත් කරනු ලැබීය. අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇතැයි ප්‍රංශ පොලිසිය පවා දැන ගන්නේ ඔහු එරට රැදී සිටි N6731590 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදීය. ජාත්‍යන්තර පොලිසිය මගින් අංජුට එරෙහිව රතු නිවේදනය නිකුත් කර තිබුණේ එම විදෙස් ගමන් බලපත්‍ර අංකයටය.

අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් මෙම රතු නිවේදනය නිකුත් කරනු ලබන්නේ 2020 වසරේ පෙබරවාරි 26 වෙනිදාය. ඒ A – 2073/2-2020 අංකය යටතේය. මෙම රතු නිවේදනය ඔහුට එරෙහිව නිකුත් කරන විට අංජු සිටින්නේ ප්‍රංශයේය. ඒ සිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ රැකවරණය පතාය. නිල නොලත් තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට අනුව අත්අඩංගුවට පත්වන විට අංජු රැඳී සිට ඇත්තේ රැකවරණය ලබන සරණාගතයෙක් ලෙසිනි. ඒ වෙනුවෙන් අංජු ලොකු ගේමක් ගසා තිබුණේය. එසේ නොවන්නට ඔහුට ප්‍රංශය තුළ කිසිවිටකත් රැකවරණය නොලැබෙනු ඇත. ඔහු මේ ගේම ගැසුවේ ඩුබායි රැඳී සිටි මුල් කාලයේදීය. මාකඳුරේ මධුෂ් ද එකල නෝර්වේ රාජ්‍ය­‍ෙයන් රැකවරණය ඉල්ලා තිබුණේය. ඩුබායි පොලිසියට ඔහුව හසුවන්නේ නෝර්වේ රාජ්‍ය­‍ෙයන් ඔහුට රැකවරණය ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදීය. 

ප්‍රංශයේ ද රැකවරණය ලැබීමට අංජු ගේම ගැසුවේ සිය වැඩිමහල් සහෝදරයාගේ ඝාතනය මුල්කරගෙනය. ඔහු නමින් ගොනා කෝවිලේ ලන්සියාය. අංජුට පෙර රත්මලාන හොල්ලාගෙන සිටියේ ලන්සියාය. ඔහු ඝාතනය වන්නේ 2016 වසරේ ජුනි 23 වෙනිදා කඩවත පිහිටි මහර අධිකරණයේ විභාග වෙමින් තිබුණු කුඩු නඩුවක් සඳහා පෙනී සිටීමට පැමිණ සිටි අවස්ථාවේදී ය. අධිකරණය ඉදිරිපිට ඇති ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳී සිටි ලන්සියාව වෙඩි තබා මරා දමන්නේ ගොනා කෝවිලේ රොහාය. එකල ඔහු ලන්සියාගේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. අංජුගේද ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ රොහාය. එදා ඔවුන් මරාගත්තේ රත්මලානේ මත්කුඩු ඒකාධිකාරය වෙනුවෙනි. එකල ඔවුන් එකිනෙකාට මරාගත්තද කලකට පෙර ඔවුන් ගජ මිතුරන්ය.

ඒ කතාව 80 දසකයේ මුල් භාගය දක්වාම දිවයන්නෙකි. එකල රත්මලාන හොල්ලා ගෙන සිටියේ ලන්සියාගේත් අංජුගේත් බාප්පලාය. එකල මුළු රත්මලානම හෙල්ලී ගියේ අංජුගේත් ලංසියාගේත් ලොකු බාප්පාගේ නමටය. ඔහු රාජාය. රත්මලානේ රාජා යැයි කී විට එකල නොදන්නා කෙනෙක් නැති තරම්ය. රත්මලානටම පිළිලයක් වූ රාජා 88 – 89 භීෂණයේ ගොදුරක් බවට පත්වන අතර තවත් බාප්පාවරු කිහිප දෙනෙක් මිය යන්නේ අකාලයේය.

ලන්සියාත් රොහාත් අංජුත් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්සේ පිහිටි ප්‍රසිද්ධ පාසලකිනි. රොහාන් ලන්සියාත් එක පන්තියේ මිතුරන්ය. අංජු එකල පොඩි කොල්ලෙකි. මේ තිදෙනාම සාමාන්‍ය පෙළෙන් ඉහළට අධ්‍යාපනයක් ලබා ඇති බවක් දැනගන්නට නැත. ලන්සියාටත් රොහාටත් එකල පැවැති එකම ආශාව වූයේ ඇඟපත පුම්බා ගන්නටය. ඔවුන් කායවර්ධන ක්‍රීඩාවට යොමුවන්නේ ඒ අනුවය. ලන්සියාගේ බාප්පලා ගමේ චණ්ඩීන් වූවත් ඔවුන් ලන්සියාට ඒ චණ්ඩිකම් ඇඟට ගන්නට ඉඩ දුන්නේ නැත. ගමේ සාමාන්‍ය පවුලක දරුවෙක් වූ රොහාටත් ඒ නිසාම ලන්සියා සමඟ එක්ව කිසිවෙකුටත් වැඩ පෙන්නන්නට ඉඩක් නොවීය. ලන්සියාත් රොහාත් අතර පැවැති මිතු දම කොතරම්දැයි සඳහන් කළහොත් එකල ඔවුන් කෑවේ බිව්වේ එකටය. ඇඳුම් පවා ඇන්දේ එකම විදිහටය.

ඒ බැඳීමට කණකොකා හැඬලෙන්නේ ලන්සියාගේ ඥාති දියණියකට රොහාගේ මිතුරෙක් පෙම් කරන්නට ගොසිනි. ඒ බව දැනගත් රංජි නමැති ලන්සියාගේ බාප්පා එම මිතුරාවත් රොහාවත් නිවසට කැඳවා අතපය දිගහැර සලකන්නේ බඩ කට පිරෙන්නටය. එම පාවාදීම පිටුපස සිටියේ ලන්සියාය. ඒ බව දැනගත් රොහා ලන්සියාගෙන් ඈත් විය.

එතෙක් කලක් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ රොහා තෙලවල පැත්තේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක ආරක්ෂක අංශ සාමාජිකයෙක් ලෙස සේවයට යන්නේ ඔහු පවුලේ වැඩිමහල් දරුවා වූ බැවින් පවුලේ බර කරට ගන්නටය. එම රැකියාවෙන් ලැබෙන සොච්චම පවුලේ බර කෙසේ වෙතත් ඔහුට ද ජීවත්වන්නට ප්‍රමාණවත් නොවීය. මොරටුවේ අවන්හලක වේටර්වරයෙක් ලෙස රොහා සේවයට යන්නේ එබැවිනි. රොහාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ එහිදීය. ඒ එම අවන්හලට ආ එකල මොරටුව හොල්ලා ගෙන සිටි මොරටු සමන්ව දැන හඳුනා ගන්නට ලැබීමෙනි. මොරටු සමන්ගේ අඩිපාරේ යමින් රොහා පාතාලයට අතපොත් තබන්නේ ද මොරටු සමන්ගේ ආශීර්වාදයෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව, ලන්සියාගේ බාප්පාගෙන් පළිගන්නටය. 

ඒ බව ලන්සියාගේ බාප්පාගේ කණ වැකීමත් සමඟ රොහාට සිදුවන්නේ අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට ලක්ව ගල්කිස්ස පොලිසියේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවන්නටය. ඒ පිටුපස සිටියේ පොලිසිය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැති ලන්සියාගේ තවත් බාප්පෙකි. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුට බොහෝ දෙනා කීවේ පොඩි මහත්තයා යැයි කියාය.

නොකළ වරදකට බන්ධනාගාරගත වන රොහා මාස ගණනාවකට පසු එළියට එන්නේ අපරාධ ලෝකයේ නම ගිය තවත් අපරාධකරුවන් රැසක් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගනිමින් අපරාධ ලෝකයේ පරිණතයෙක් ලෙසනි. එසේ පැමිණි රොහා එදා තමාගේ කනට ගැසූ ලන්සියාගේත් අංජුගේත් බාප්පාට පාණදුරේදී වෙඩි තබා මරා දමන්නේ බන්ධනාගාරයේදී දැන හඳුනාගත් වෙඩික්කරුවෙක් යොදාය. අංජුගේ සහ ලන්සියාගේ බාප්පාවරුන්ගේ හිරිහැරවලට ලක්වුණු තරුණයන් රොත්තක්ම රොහා වටා එක්වන්නේ ඒත් එක්කමය. ඒ අය අතර බොරුපන සංජීව, පින්වත්තේ කළු මහේෂ්, වාසනා ඇතුළු පිරිසක්ම සිටියහ.

රොහාගේ ඊළඟ ඉලක්කය බවට පත්වන්නේ පොලිසිය සමඟ එක්ව බෝම්බයක් අතින් දමා ඔහුව සිරගත කළ පොඩි මහත්තයාය. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙක්වූ පොඩි මහත්තයාට එදා රොහා වෙඩි තබා මරා දමන්නේ මහා නගර සභාව තුළදීමය. මොරටු සමන්ද ප්‍රතිවාදියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේ මේ අතරතුරදීය. එහිදී මොරටු සමන්ගේ හිඩැස පිරවෙන්නේ රොහාගෙනි.


ඒ වන විට රොහා සිටියේ රටේ නමගිය මංකොල්කරුවෙක් බවට ද පත්වය. රන් භාණ්ඩ අලෙවි සැල් ඔහුට පෙන්නන්ට බැරිය. රට වටේම කරක් ගසමින් ඔහු රන් භාණ්ඩ අලෙවි සැල් කොල්ලකෑවේ පොලිසියට පවා ඔහුව හිසරදයක් බවට පත්කරවමිනි. එම හිසරදයෙන් පොලිසිය අවසානයේදී ගැලවෙන්නේ බෝම්බයක් සමඟ රොහා ඇතුළු ඔහුගේ කල්ලියේ හයදෙනෙක්ම හිරේට යවමිනි.

වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින රොහා සිය ගෝලබාලයන් සමඟ ඇප මත එළියට එන්නේ 2006 වසරේදීය. ඒ වන විට ලන්සියා සිටින්නේ සිය බාප්පාවරු මරා දැමුවාට රොහාගෙන් පළිගන්නට සූදානමිනි. පිරිස් බලයෙන් මෙන්ම ආයුධ අතින්ද ලන්සියා සිටියේ රොහාට වඩා බලවත්වය. ලන්සියා මත්කුඩු ජාවාරමට අත තබා තිබුණේ ගල්කිස්සේ සිට පාණදුර දක්වාම බලය අල්ලමිනි. රොහා ද සටන අතහැරියේ නැත. ඔහුත් මත්කුඩු ජාවාරමට අත තැබුවේය. ඒ ලන්සියාගේ බලය හීන කරන්නටය. ලන්සියා මත්කුඩු බෙදූ තැන්වලටම රොහා ද බෙදන්නට ගත්තේය. ලන්සියාත් රොහාත් අතර ගැටුම් උස්සන්න වන්නේ ඒත් එක්කමය. මේ ගැටුම පාලනය කිරීමට බැරිම තැන පොලිසිය කරන්නේ බෝම්බයක් සමඟ අල්ලා රොහාව නැවතත් ඇතුළට දැමීමය. ඒ යැයි කියා දෙපැත්තේ ගැටුම්වල නිමාවක් නොවීය. රොහා බන්ධනාගාරය ඇතුලළේ සිට සිය ගෝලබාලයින් ලන්සියාට එරෙහිව මෙහෙයවන්නට ගත්තේය. දෙපැත්තේම තරුණයින් එකිනෙකා මරාගන්නා විට මේ කල්ලි දෙක සමාදාන කරන්නට ඉදිරිපත්වන්නේ මොරටුවේ එකල සිටි අණ්ඩුවේ දේශපාලන බලවතාය. එම දේශපාලන බලවතා ඊට මැදිහත් වන්නේ “බලන්න සර්, මුං එකට හැදිච්ච කොල්ලො, දැන් මරා ගන්නවා. දවස ගානේ එක එකා මැරෙනවා. සර්වත් මුංට ටිකක් කථාකරල මේ මරා ගැනිල්ල නවත්තල දෙන්න“ යැයි ලන්සියාගේ මවගෙන් ලද ඉල්ලීමකටය.

ඒ වන විට රොහා සිටින්නේ බන්ධනාගරයේය. රොහා වෙනුවෙන් එම සාම සාකච්ඡාවට එක්වන්නේ රොහාගේ ගෝලබාලයන්ය. ලන්සියාත් ඔහුගේ ගෝලයන් සමඟ එම සාකච්ඡාවට එක්ව සිටියහ. දේශපාලන බලවතා ඉදිරියේ දෙපැත්ත සාම ගිවිසුමකට එළඹෙන්නේ එකිනෙකා වැලඳගෙන නැවතත් මරා නොගන්නා බවට ප්‍රතිඥා දෙමිනි. ගොනා කෝවිලේ පොදුජය මාවතේ පිහිටි රොහාගේ ලෑලි නි‍ෙවස දෙමහල් සුවිසල් මන්දිරයක් ලෙස ගොඩ නැඟෙන්නේද මේ කාලයේදීය. ගෙට ගෙවදීමේ උත්සවය සමරන්නේ මහ ඉහළිනි. ඒ වන විටත් රොහා සිටින්නේ බන්ධනාගාරයේය. ප්‍රාදේශීය දේශපාලඥයන්ටත් පොලිසියටත් ආරාධනා ලැබ තිබුණු එම උත්සවයට ලන්සියාට මෙන්ම ඔහුගේ ගෝලබාලයන්ටත් ඇරයුම් ලැබී තිබුණේය.

ලන්සියාගේත් රොහාගේත් මේ එක්වීම කේලම්වලින් යැපුණු දෙපැත්තේම කිහිප දෙනෙකුට දැඩිව බලපෑවේය. ඔවුන් දෙපැත්තට කේලම් කියමින් හැමවිටම උත්සාහ ගත්තේ ගැටුමක් අවුලුවන්නටය. ලන්සියා කෙසේ වෙතත් එම කේලම් වලින් රොහා ඇවිස්සෙන්නට ගියේ නැත. ඒ නිසාම 2013 වසරේ රොහා ඇප මත එළියට එනතුරුම දෙපැත්තම සාමකාමී විය.

ඒ වන විට රොහාගේ හොඳම මිතුරා බවට පත්ව සිටින්නේ දිනේෂ්ය. රත්මලාන පැත්තේ ඔහුට කියන්නේ පොලී දිනේෂ් යැයි කියාය. රොහාගේත් ලන්සියාගේ ගැටුම්වලට නැවතීමේ තිත තැබීමෙන් පසු කේලම්වලින් යැපුණු රොහාගේ දෙදෙනෙක් කරන්නේ දිනේෂ් සහ රොහා අතර යළි ගැටුමක් ඇතිකරවන්නට උත්සාහ ගැනීමය. ඒ ලන්සියා සමඟ දිනේෂ් එක්ව රොහාව මරා දැමීමට සැලසුම් කරන බව රොහාට කියමිනි. රොහාගේ මත්කුඩු ජාලයේ වැඩි කොටසක් මෙහෙයවනු ලැබුවේ දිනේෂ්ය. ඒ වන විට රොහාගේ මත්කුඩු අලෙවිය ද පහත බැස තිබුණේය. කේලම්කාරයන් දෙදෙනා ඒත්තු ගන්වන්නේ ලන්සියාගේ උවමනාවට දිනේෂ් විසින් රොහාගේ මත්කුඩු නිසි පරිදි බෙදා නොහරින බවය. රොහා ඒ ලණුව කෑවේය. සිය මිතුරාව මරා දැමීමට තීරණය කළේය. වෙඩික්කරුවන් යොදා තෙලවල පිහිටි සැලුන් එකකදී දිනේෂ්ට වෙඩි තැබුවේය. ඒ වෙඩිල්ල වදින්නේ වෙනත් අයකුටය. ඒ 2014 වසරේදීය. වෙඩික්කරුවා බයිසිකල් බේබිය. යුද හමුදා විශේෂ බලකායෙන් පළාවිත් සිටි සෙබළෙක් වූ බයිසිකල් බේබිව රොහා දැන හඳුනා ගත්තේ බන්ධනාගාරය තුළදීය. බයිසිකල් බේබිගෙන් රොහා හොඳටෝම වැඩ ගත්තේය. කල්දෙමුල්ලේදී බන්දු නැමැති ත්‍රී රෝද රථ රියදුරකුට වෙඩි තබා මරා දමන්නේ ද බයිසිකල් බේබි යොදාය. ඒ එතෙක් කලක් රොහානේ මත්කුඩු ලබාගෙන බෙදා හරිමින් සිටි ඔහු ලන්සියාට හේත්තු වීමේ වරදටය.

මේ අතර දිනක් රොහාගේ බිරියගේ සහෝදරයා ත්‍රිරෝද රථයකින් එන්නේ සිය නැගණිය මුණගැසෙන්නටය. ඔහු බන්ධනාගාර නිලධාරියෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නිරතව සිටින ලන්සියාගේ සහ අංජුගේ ඥාතියෙක් මෝටර් රථයකින් රොහාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරන්නට යෙදෙන්නේ ඔය අතරතුරදීය. රොහාගේ මස්සිනාගේ ත්‍රි රෝද රථයෙන් ඒ වන විටත් මාර්ගය තිබෙන්නේ අවහිරවය. ඒ ගැන රොහාගේ මස්සිනා සහ ලන්සියාගේ ඥාතියා අතර ඇතිවන්නේ බහින්බස් වීමකි. එහිදී රොහාගේ මස්සිනාගෙන් පහරක් වදින්නේ ලන්සියාගේ ඥාතියාටය. එය කන වැකුණු ලන්සියා එදා රොහාගේ නිවසට කඩා වදින්නේ ගෝලබාලයන් රොත්තක් සමඟිනි. ඒ වන විට නිවෙසේ සිටින්නේ බිරියගේ පියා පමණි. ඔහුගේ කටට පිස්තෝලය දමා කරකවා යන්නේ “වැඩිය දඟලන්න හැදුවොත් තොපි ඔක්කොම බාවනවා“ යැයි කියමිනි.

රොහාගේත් ලන්සියාගේත් සාම ගිවිසුම බිඳ වැටෙන්නේ ඒත් එක්කමය. දෙපැත්ත මරා ගන්නා විට රොහා ඩුබායි පනින්නේ සුදු වෑන් රථ ඔහුව හඹා එන්නට වූ බැවිනි. ලන්සියා ද සුදු වෑන් රථ වලට බියෙන් සැඟවෙන්නේ ජා - ඇල පැත්තේ කුලියට ගත් නිවෙසකය. රොහා ඩුබායි හි රැඳී සිටියේ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ලා සමඟිනි. මේ සියලු දෙනාම මෙරටට එන්නේ 2015 මහ මැතිවරණ සමයේදීය. ලන්සියාගේ කතාව මහර බන්ධනාගාරය ඉදිරිපිටදී 2016 වසරේ ජුනි 23 වෙනිදා රොහා විසින් අවසන් කරන්නේ ඒත් එක්කමය. ඒ බයිසිකල් බේබි සමඟ එක්වෙමිනි.

මේ වන තෙක්ම ගොනාකෝවිලේ කුඩු අංජු නමින් පාතාල අපරාධකරුවෙක් භෞතිස්ම ලබා සිටියේ නැත. ගොනාකෝවිලේ අංජු නමින් අලුත් චරිතයක් පාතාලයට බිහිවන්නේ ලන්සියාගේ ඝාතනයත් සමඟිනි. ලන්සියාව මරා දැමීමෙන් සෑහීමට පත්නොවූ රොහා තමාට අනාගතයේ අභියෝගයක් වනු ඇතැයි සිතූ අංජුවද මරා දැමීමට මාන බලන්නට විය. මෙහිදී අංජු සිය ජීවිතාරක්ෂාව පතා පනින්නේ මලයාසියාවටය. සිය සහෝදරයාව මරා දැමූ රොහාගෙන් පළිගන්නට අංජුට සිතක් පහළ වන්නේ මලයාසියාවේදීය. ඊට ඔහුට හයියක් වන්නේ ඇල්ටෝ ධර්මේය. ඔහු ලන්සියාට කිට්ටුවන්තයෙක් විය. කලක් අංජු නැනෝ කැබ් රථයක් කුළියට ධාවනය කරනු ලැබුුවේද ඇල්ටෝ ධර්මේ සමඟ එක්වය. ඒ නිසා දෙදෙනා අතර හොඳ හිතවත්කමක්ද ගොඩනැඟී තිබුණේය. ලන්සියගේ තැන අංජුට දෙමින් ලන්සියාගේ කණ්ඩායම අංජු වටා එක්කරමින් ඔහුව ශක්තිමත් කරන්නට ධර්මේ මුල්වන්නේ එබැවිනි.

මලයාසියවේ රැඳෙමින් අංජු සිය සහෝදරයාගේ තැන ගනිමින් එතැන් සිට සිහින දකින්නේ රොහාගේ මරණ සිදුවන හැටි දකින්නටය. එම සිහිනය වෙනුවෙන් රොහාගේ ගෝලබාලයන්ට පන්න පන්නා වෙඩි තබා මරා දැමීමට සිය කණ්ඩායම මෙහෙයවූවා පමණක් නොව, රොහාගේ මත්කුඩු ජාලය ද බිඳ දමමින් රත්මලානේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයද අංජුගේ සියතට ගත්තේය. එතැන් සිට රොහාට අභියෝගයක් වන්නේ අංජුය. රොහාට හිතවත්කම් පෑ අය ද පන්නමින් අංජු පහර දෙන්නට ගත්තේය. ධනංජය ද සිල්වාගේ පියාට පවා අංජුගේ ගෝලබාලයින් අතින් නිකරුණේ වෙඩි කන්නට සිදුවන්නේ ගමේ කමට රොහා සමඟ හිතවත්කම් පෑම නිසාය.

ලන්සියාගේ පවුලේ දෙවැනියා අංජුය. ඔහුට වඩා බාල තවත් සහෝදරයෙක් සිටියි. ඔහු සංජුය. ඔහුටද රොහා එකල ඉව අල්ලාගෙන සිටියේය. ලන්සියාගේ පවුලේ හොඳම මීටරය වූයේ අංජුය. ඒ බව රොහා ද දැන සිටියේය. ඒ නිසාම රොහා සිය ගෝලබාලයින් යොදා අංජුට ඉව අල්ලමින් සිටියේ ඔහු පාසල් ශිෂ්‍යයෙක්ව සිටියදීමය. ලන්සියා සමඟ පැවති ගැටුමේ උච්චතම අවස්ථාවකදී පාසල් සිසුවෙක් වූ අංජුට පත්තු කළ වෙඩිල්ලට බිලිවන්නේ ඔහුගේ හොඳම මිතුරාය. අංජු පාතාලයට බසින්නේ ඒ හැමදේකටම පළිගන්නට සිතාගෙනය.

රොහාගේ සමීපතයෙක් වූ ප්‍රභාත්ට පිළියන්දල දී 2016 ජුනි 16 වෙනිදා වෙඩි තබා මරා දමවන්නේ රොහාට එරෙහිව යුද ප්‍රකාශ කරමින් පළමු වෙඩිල්ල පත්තු කරමිනි. අනතුරුව අංජුගේ මෙහෙයැවීමෙන් ඝාතනය වන්නේ රොහාගේ බාප්පාවය. කැලණිතිස්ස විදුලි බලාගාරයේ සේවකයෙක් වූ ඔහුව මරා දමන්නේ වාද්දූවේදීය. ජයරත්න මාර්ක් ද සිල්වා නම් වූ ඔහුව සිය ගෝලයන් යොදා වෙඩි තබා ඝාතනය කරවන්නේ 2016 වසරේ ඔක්තෝබර් 31 වෙනිදාය. මේ කාලය තුළ අංජු මලයාසියාවේ සිට ඩුබායි පැන්නේය. සිය බිරිය ලසදා සමඟ දරු දෙදෙනාව ද ඩුබායි වෙත ගෙන්වා ගනිමිනි. ඒ ඔවුන්ගේ වැඩි ආරක්ෂාවටය. අවසානයේදී සිය අඹු දරුවන් සමඟ අංජු සිය වාසස්ථානය බවට පත්කර ගන්නේ ප්‍රංශයේ බෝඩෝ නගරයයි.



එහි සිට පවා රොහාගේ ගෝලබාලයන් මරා දමමින් අංජු ඔහුගේ බලය බිඳ දැමුවා පමණක් නොව, රොහාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ මත්කුඩු ජාලයද සියතට ගත්තේය. 2020 සහ 2021 යන වසරවල මුළු රටේම මත්කුඩු හිඟවන විට මුළු රටටම මත්කුඩු බෙදුවේ යැයි කියන්නේ අංජුය. අංජු ඔළුව ඉස්සුවේ යැයි කියන්නේ එම වකවානුව තුළදීය. පාතාල අපරාධකරුවන් පවා ඉතා සමීපව ඇසුරු කරමින් ඒ අයට විවිධ තනතුරු පවා ලබාදෙමින් කලකට පෙර මෙරට දේශපාලනයේ සිටි කලහාකාරී චරිතයක් විසින් සිය ව්‍යාපාරික මිතුරකු හරහා මිලදී ගෙන තිබුණේ යැයි කියන ප්‍රංශයේ ඇති වයින් නිෂ්පාදනාගාරයක් පවා අංජු විසින් අත්පත්කර ගත්තේ යැයි කියැවෙන්නේ මේ වකවානුවේදීය. ඒ හැරුණු කොට අංජුට හිමිකම් කියන අවන්හලක්ද ප්‍රංශයේ ඇති බව කියැවෙයි. මේ සියල්ලක්ම ඔහු විසින් මිලදී ගෙන ඇත්තේ වෙනත් පුුද්ගල නම්වලිනි. ඒ හැරුණු කොට ඩුබායි හී ද අංජුට ව්‍යාපාර කිහිපයක්ම හිමිව ඇති බව කියති.

එකී ව්‍යාපාර ඔහු විසින් කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ තවත් එක් මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ජූඩ් ප්‍රියන්ත සමඟ හවුලේය. ජා-ඇල පැත්තේ මත්කුඩු බෙදාහරිනු ලබන ප්‍රධාන පුරුක වන ජූඩ් ප්‍රියන්ත ද මේ වන විට සිටින්නේ ඩුබායිවලය.

රොහාගේ බලය අංජු විසින් බිඳින්නේ මත්කුඩු ජාලය සියතට ගනිමිනි. ඒ තුළින් අසීමාන්තික ලෙස අංජු වෙත මුදල් ගලා එන්නට ද ගත්තේය. අංජු එම මුදල් වැය කළේ සැලසුමක් ඇතිවය. ව්‍යාපාරවල පවා එම මුදල් ආයෝජනය කර ඇත්තේ ඒ අනුවය.

අංජු මෙසේ නිදහසේ මත්කුඩු ජාලය මෙහෙයවමින් රත්මලානේ පාතාලයේ බලය සියතට ගන්නා විට ලන්සියාව ඝාතනය කර සැඟවී සිටි රොහා පොලිසියට කොටු වෙන්නේ 2016 වසරේ නොවැම්බර් 16 වෙනිදා කුරුණෑගලදී ය. ඒ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිවාඩු නිකේතනයකදී පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටියදීය. පොලිස් නිලධාරියාගේ ඝාතනයට බන්ධනාගාරගත වූ රොහාට ඇප දෙන්නට ඉදිරිපත් වන අයට පවා අංජුගෙන් කිසිදු සමාවක් නොවීය. රොහා පොලිසියට කොටුවන විට අංජු සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. එහි සිට අංජු සැලසුම් කරනුයේ අධිකරණයට රැගෙන එන මොහොතකදී අධිකරණ ශාලාව තුළදී රොහාට වෙඩි තබා මරා දමන්නටය. ඒ පාතාලයේ කුප්‍රකට චරිතයක් වූ ධම්මික අමරසිංහව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා මරා දැමූ ආකාරයටය. ඒ අනුව රොහාව වෙඩි තබා ඝාතනය කිරීමට අංජු සැලසුම් කරනුයේ 2017 මාර්තු 01 වෙනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට රොහාව රැගෙන එන විටදීය. කල්තියා ඒ වෙනුවෙන් වෙඩික්කරුවන්වද සූදානම් කර ගිනි අවි සඟවා තැබෙන්නේ අධිකරණ ශාලා පරිශ්‍රය තුළය. රොහාට වෙඩි තබන්නට පෙර එම ගිනි අවි දෙක පොලිසියට හසුවන බැවින් එදා රොහාගේ ජීවිතය බේරෙන්නේ තවදුරටත් ජීවත්වීමට වාසනාව තිබුණු බැවිනි.

මෙම සිදුවීමත් සමඟ කෙටි කාලයක් නිහඬව සිටි අංජු නැවතත් කලඑළි බසින්නේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්වූ අමල් සිල්වාට 2018 වසරේ මාර්තු 08 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහයක නිරත වෙමිනි. ඒ සිය ගෝලබාලයන් යොදාය. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනය සිදුවන්නේ එම වෙඩි තැබීමෙන් පසුවය. එම වසරේම දෙසැම්බර් 05 වෙනිදා අංජුගේ මෙහෙයැවීමෙන් සිදුවන ඊළඟ ඝාතනයත් සිදුවන්නේ ගල්කිස්ස සහ රත්මලාන ආශ්‍රිතවය. ඒ ප්‍රියංකර උදාර සඳරුවන්ට ටී 56 අවියකින් වෙඩි තබමිනි.

මේ අතර අංජු සැලසුම්කරනුයේ බන්ධනාගාරය තුළීදී හෝ රොහාව මරා හිත නිදහස් කරගන්නටය. රොහාව රඳවා සිටි මැගසින් බන්ධනාගරය තුළට සයිනයිඩ් විෂ සමඟ එන්නත් කටුවක් යැවෙන්නේ ඒ අනුවය. ඒ බන්ධනාගාරය තුළදී රොහාට සයනයිඩ් විෂ එන්නත්කර මරා දමන්නටය. රොහාට සයනයිඩ් විෂ එන්නත් කරන්නට බන්ධනාගාර ඇතුළෙන්ම හිරකාරයෙක්ව පවා අංජු සූදානම්කරගෙන සිටියේය. ඒ සමන් පුෂ්පකුමාර නොහොත් මරාල සුරංගය. එම ඝාතන සැලසුම වෙනුවෙන් අංජු එකල වෙන්කර තිබුණු මුදල රුපියල් කෝටි 04කි.

එහෙත් අන්තිම මොහොතේ වැඩේ ගැස්සෙන්නේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වළ දමා තිබුණු එම එන්නත් කටුව සමඟ සයනයිඩ් කුප්පිය බන්ධනාගාර නිලධාරීන්ට හසුවීම හේතුවෙනි. ඒ 2019 වසරේ අප්‍රේල් 08 වෙනිදාය.

ඒ යැයි කියා රොහාව ඝාතනය කිරීමේ උත්සහය අංජු අතහැරියේ නැත. බන්ධනාගාරය ඇතුළට කොටස් වශයෙන් ගිනි අවියක් රැගෙන ගොස් රොහාට වෙඩි තබා මරා දැමීමට සැලසුමක් යෙදුවේය. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් වූ නගුලන්ව ඒ සඳහා අංජු විසින් සූදානම් කරගෙන සිටියේ රුපියල් ලක්ෂ 20ක මුදලක් ඔහු වෙනුවෙන් වෙන්කර තබාය. මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක කොටස් විටෙන් විට බන්ධනාගාරය තුළට එදා ගියේ දූෂිත නිලධාරීන්ගේ අතමිට මොලවාය. හැමදෙයක්ම තිතට සිදුවූවත් එවරත් වැඩේ ගැස්සෙන් බුද්ධි අංශයට ඒ ගැන ලද තොරතුරක් හේතුවෙනි.

අංජු ගැසූ හැම ගේමකින්ම රොහා දිවි බේරාගත්තේ ඔහුට තව කාලයක් ජීවත්වීමට ආයුෂ මෙන්ම වාසනාව ඉතිරිව තිබුණු බැවිනි. ඇප ලැබුණත් බන්ධනාගාරයෙන් එළියට එන්නේ නැතිව රොහා ඒ තුළම සිටියේ වැඩි ආරක්ෂාව ඇත්තේ බන්ධනාගාරය තුළ බව දැන සිටි නිසාය. කල්තියා ලද ඇපයකට අනුව ඔහු කාටත් හොරා අමුතුම ගේමක් ගසා බන්ධනාගාරයෙන් එළියට එන්නේ කොරෝනා වසංගතයෙන් මුළු රටම වෙළාගෙන සිටි මොහොතකය. ඒ එන්නේ ද බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලායාමේ සූදානමක් ඇතිවය. ඒ වන විට රොහාගේ ජීවිතය වෙනුවෙන් තබා තිබුණේ විවෘත ලන්සුවකි. ඒ රුපියල් කෝටි 05 මුදලකි. අංජු පවසා තිබුණේ රොහාව කවුරුන් විසින් මරා දැමුවත් ඒ මුදල ඒ අයට ලබාදෙන බවය. කෙසේ වෙතත් අවසානයේදී රොහා මැරුම් කන්නේ පොලිසියෙනි. ඒ 2020 වසරේ සැත්තැම්බර් 24 වෙනිදා අලුයම මීගමුව කම්මල්තොට මෝය කට අසල ඇති ධිවර වාඩියකදීය. පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමරුවකින් එදා රොහා මරු වැලඳ ගන්නා විට ඊට දින කිහිපයකට පෙර අංජුගේ මුහුණු පොතේ ඔහු සටහනක් තබන්නේ “බොන්න ලෑස්ති වෙන්න කට්ටිය“ යැයි කියාය.

රොහාගේ මරණය එදා අංජු සැමරුවේ ප්‍රංශයේ සිටය. මෙරට සිටි සිය ගෝලබාලයන්ට බොන්න දුන්නේ නාන තරමටය. ඒ හැරුණු කොට ගොනාකෝවිලේ එක දිගට රතිඤ්ඤා දල්වන්නට වූයේ රොහාගේ මරණය සමරමිනි. ඒ අංජුගේ සහෝදරිය ඇතුළු ඥාති පිරිසකි. ඒ අය ලන්සියාගේ සොහොන අසලට ගොස් කේක් කපමින්ද සතුට සමරනු ලැබුවේය.

අංජු මුල සිටම කියා සිටියේ රොහාගේ මරණයත් සමඟ සියල්ල අතහැර යහපත් ජීවිතයක් ගතකරන බවය. ඒ සියල්ලක්ම වචනවලට පමණක් සීමාවූවකි. දහඩිය මහන්සියකින් තොරව මත්කුඩු ජාවාරමෙන් ලැබෙන මුදල්වලට වහ වැටී සිටි අංජු හැමදෙයක්ම අතහැර දමනවා යැයි කීවාට ඒ කිසිවක් අතහැර දැමුවේ නැත. දැන් අංජු බලවත් වී සිටින්නේ රටටම මත්කුඩු බෙදිය හැකි තරමටය. අංජු ප්‍රංශයේ වයින් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් බවට පත්වන්නේත් ඩුබායි හි ව්‍යාපාර රැසක කොටස්කරුවෙක් බවට පත්වන්නේත් කුඩු සල්ලිවලිනි. අවසානයේදී ඔහුට මේ කුඩු සල්ලි එපා වන්නේ සල්ලාල ජීවිතයකට පෙලඹෙන බැවිනි. අංජුට වැඩ වරදින්නේ ද ඒ නිසාමය. ඒ අංජුගේ හැම හොර වැඩක් ගැනම වගේම අපරාධ ගැන හැම රහසක්ම දන්නේ ඇය වන බැවිනි. ඒ ඇය අංජුව දැන හඳුනන්නේ ඔහු පාතාලයට වැටෙන්නට පෙර සිටම බැවිනි.

සිය බිරිඳගේ පැමිණිල්ලට ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අංජු තාමත් සිටින්නේ සිර භාරයේය. සිය ගැලවිල්ල වෙනුවෙන් අංජුද මේ වන විට හැම ගැටයක්ම ගසා හමාරය. ලොකු සල්ලියක් තිබුණත් ඔහු ඒ සල්ලිවලින් ප්‍රංශයේ සිටින ලොකුම නීතීඥවරු අල්ලන්නට ගොස් නැත. ඔහු ගේම ගසන්නේ සරණාගතයෙක් ලෙසිනි. ඔහු පෙන්වන්නේ ජාත්‍යන්තර පොලිසිය මඟින් තමාට එරෙහිව රතු නිවේදනය පවා නිකුත් කර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවය. ඒ හැරුණු කොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් 2022 වසරේ සැත්තැම්බර් 09 ගල්කිිස්ස අධිකරණය මඟින් ඔහුට විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර ඇත්තේ සංවිධානාත්මකව අවි ආයුධ රැස්කරමින් ජාතික ආරක්ෂාවට හා මහජන සාමයට තර්ජනයක් වන ආකාරයෙන් සාහසික ලෙස අඛණ්ඩව ක්‍රියා කරන බව කියාය.

රතු නිවේදනය මෙන්ම මෙම විවෘත වරෙන්තුව පවා ඔහුට එරෙහිව නිකුත්ව ඇත්තේ ඔහු ප්‍රංශයට සරණාගතයෙක් ලෙස ඇතුළුවීමෙන් අනතුරුවය. එබැවින් වැඩි වාසිය ඇත්තේ අංජුටය. එබැවින් අංජු ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවෙක් බව කියමින් මෙරටට ඉල්ලා සිටි පමණින් අපට ඔහුව ලැබෙන්නේ නැත. හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට ගෙන්වා ගන්නට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගැසූ ගේම මෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළ යුතුව ඇත. මැඩගස්කරය මෙන් නොව, ප්‍රංශය සමඟ මේ ගේම ටිරාන් අලස් අමාත්‍යවරයාට තනිවම ගැසීමට නොහැකි වනු ඇත. ඊට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලොකු දායකත්වයක් ලබාදිය යුතුය. අංජු මෙරටට ගෙන්වා ගැනීම ගැන යම් බලා පොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත්තේ එහි සාර්ථක ආසාර්ථකත්වය මතය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියාගේ දිවි අහිමි කරමින් කොළඹ මුල් කරගෙන ඉහලින්ම සිටපු අංජුගේ පැටිකිරිය - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com