728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 7, 2023

මම පොඩි වර්ඩ් එකක් දැම්මා..කාටවත් මේ ගැන කියන්න එපා - සචිත්‍රගේ විනාඩි 49ක Whatsapp හඬ පටය


 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලිග් පළමු අදියරට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනකු මුදලට තරගය පාවාදීම සඳහා ජාත්‍යන්තර බුකීකරුවන්ගේ ශ්‍රී ලාංකීය ඒජන්තවරයා ලෙස ක්‍රියා කළේ යැයි ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක  මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (06) නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ තරිඳු රත්නායක නම් ක්‍රීඩකයාට විස්කි බෝතලයක් දුන් බව කියන වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු දින හතක් ඇතුළතදී විමර්ශන ඒකකයට ගෙන්වීමට කටයුතු කරන බවට සැකකරු විමර්ශන ඒකකයට දුන් ප්‍රකාශය අනුව සැකකරුට ඇප ලබා දුන හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බවට කරුණු තහවුරු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රා වරයා මෙහිදි නියම කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත නීතිඥයකු මාර්ගයෙන් ඊයේ (06) භාර වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකටි ක්‍රීඩක සවිත්‍ර මධුශංක සේනානායක අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ 2019 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් වන ප්‍රථම නඩුව මෙය බවයි.

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සැකකරු රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙකලා මුදලට ක්‍රිකට් ක්‍රීඩාව කිරීමෙන් දූෂණය නම් වැරැද්ද සිදු කර ඇති බවත් කීය.

2020 වසරේ ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් ලද පැමිණිල්ලක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළ දිලිප පීරිස් මහතා තරිඳු රත්නායක හා ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනාට මුදලට තරග පාවා දීම සඳහා සැකකරු පොලඹවා ඇති බවට විමර්ශනයේදි කරුණු අනාවරණය වන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර බුක්කරුවන් හරහා මෙම ක්‍රීඩකයන්ට වට්ස් ඇප් දුරකතන මාර්ග ඔස්සේ ඇමතුම් ලබාගෙන තරගයට බලපෑම් නොවන ආකාරයෙන් තරග කිරීමට හා පක්ෂග්‍රාහීව ක්‍රීඩා කිරීමට උපදෙස් ලබා දෙමින් ඒ සඳහා ඩොලර්වලින් ගෙවීමට ද කටයුතු කරන බව පවසමින් ක්‍රීඩකයන් ඒ සඳහා පෙලඹවීමට කටයුතු කර ඇති බව පැවසීය.

මෙම ක්‍රීඩකයන් ඊට අවනත නොවූ පසුව අදාළ පණිවිඩ මකා දැමීමට ක්‍රියා කරන ලෙසට සචිත්‍ර සේනානායක මහතා ක්‍රීඩකයන්ට බලපෑම් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජන- රාල්වරයා බුකීකරුවන් කියන ලෙසට ක්‍රියා කරන්නේ නම් ඩොලර් 40,000 ත් 60,000  අතර ප්‍රමාණයක් දීමට ක්‍රියා කරන බව සඳහන් කර ඇති බව පැවසීය.

2022/12/22 දින ධම්මික ප්‍රසාද් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එහි ලද උපදෙස් අනුව සචිත්‍ර සේනානායක මහතා සමඟ පැවැත්වූ වට්ස්ඇප් ඇමතුම් පටිගත කර ඇති බවක් එම හඩපටය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීම සඳහා අධිකරණ නියෝග ඉල්ලා සිටියේය.

බුකිකරුවන්ගේ දුරකතන අංක මෙම ක්‍රීඩකයන් දෙදෙනා අවහිර කළ පසු ඔවුන්ට ඇමතුම් ලබාගත් සචිත්‍ර සේනානායක “උඹලට හොඳක් කරන්න හැදුවම පැමිණිලි කරනවා. මම පොඩි වර්ඩ් එකක් දැම්මා. කාටවත් මේ ගැන කියන්න එපා' යැයි පවසමින් ක්‍රීඩකයන් වෙත සචිත්‍ර සේනානායක මහතා බලපෑම් කර ඇතැයි දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

ජාත්‍යන්තර බුකීකරුවන් වන ෂයිනි හා ටෙබි ක්‍රිකට් ක්‍රීඩකයන් මිල දී ගන්න උත්සාහ කරන සෑම අවස්ථා වලදී ඇති වන ගැටලු සමථ කිරීම සඳහා සැකකරු ක්‍රියා කරන බවට කරුණු අනාවරණය වන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රටේ වැසියන් මුදල් වියදම් කර නිර්මාණය කරන ජාතික වස්තුවක් වන ක්‍රීඩකයන් රට පාවා දෙමින් මෙලෙස ක්‍රියා කිරීම ඛේදජනක බව පැවසීය.

ක්‍රීඩා සමාජය තුළ කෝටි ගණන් මුදල් වැය කරමින් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන මෙබඳු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් හද තුළ කම්පාවක් ඇති බවත් සැකකරුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බවත් සඳහන් කළේය.

2020 වසරේ සිට සැකකරු විමර්ශනය මඟහැර ක්‍රියා කර ඇති බව සඳහන් කළ දිලීප පීරිස් මහතා සැකකරු ජංගම දුරකතන තුනක් භාවිත කරන බවත් එහි විමර්ශනයට අවශ්‍ය වන ජංගම දුරක- තනය විමර්ශකයන් වෙත නොදී එය ගඟකට වැටී අස්ථානගත වූ බවට ප්‍රකාශයක් දී ඇතැයි පැවසීය.

සැකකරු ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා කිරීම සඳහා පොළඹවා ගැනීමේ විනාඩි 49ක හඬ පටයක් ඇති බව සඳහන් කළ දිලීප පීරිස් මහතා අධිකරණය මඟින් සැකකරු ඉදිරිපත් කරන අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේය.

මීට අමතරව අධිකරණය මඟින් විදේශ ගමන් තහනමක් පනවා ඇති බවත් සැකකරු පදිංචි නිවෙස ද අතහැර දමා ගොස් ඇති බවට වීඩියෝ පට ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජන- රාල්වරයා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබා දීමට විරුද්ධ වන බව සඳහන් කළේය.

සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පැවසුවේ ක්‍රීඩාව ඔට්ටු තැබීමේ කලාව ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දුන් බවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇති සැකකරු දැනුදු මුදලට ක්‍රිකට් ක්‍රීඩාව සිදු කරන බවද පැවසීය.

ජාත්‍යන්තරව මුදලට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන සැකකරු තරග පාවාදීම හෝ ක්‍රීඩා වැරදි සම්බන්ධ කිසිදු වරදකට සම්බන්ධ වී නැති බව සඳහන් කළ නීතිඥවරයා අයථා ක්‍රියා සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නැති බව සඳහන් කළේය.

2023 සිට හයවතාවක් සැකකරු විදේශ ගතව සිට පැමිණි බවත් ඉකුත් අගෝස්තු 14 වැනි දින විමර්ශන ඒකකය මඟින් ඒකපාර්ශ්විකව කරුණු දක්වා විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව සඳහන් කරන නීතිඥවරයා සැකකරු දැනට පදිංචි ස්ථානයේ පදිංචි වීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙත හා විමර්ශන ඒකකය වෙත ලිපි දෙකක් යොමු කළ බව සඳහන් කළ නීතිඥවරයා අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා විමර්ශන ඒකකයේ වෙත එන ලෙසට දැනුම් දුන් බව සඳහන් කළේය.

රෙකෝඩරයක් ගැන සඳහනක් එහිදී සිදු නොකළ බවත් වසර තුනක විමර්ශන කාලය තුළදී හඬපට විමර්ශන සිදු කිරීමේ හැකියාව තිබූ බව පැවසූ නීතිඥවරයා ක්‍රීඩකයන් රිමාන්ඩ් කර පහත් මානසික සතුටක් විඳීමට යම් පාර්ශ්ව බලා සිටින බව ද පැවසීය.

අධිකරණය මඟ හැරීමට සිය සේවාදායකයාට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසත් අධිකරණ ඉල්ලා සිටියේය.

සැකකරු විසින් සිදු කරන ලද වරද අනුව මිලියන 100ක දඩයක් හෝ වසර 10ක සිර දඬුවමක් ලබා දිය හැකි බව සඳහන් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ව- රයා විමර්ශනය සඳහා අවශ්‍ය වන දුරකතනය සැකකරු විසින් ලබා නොදී විමර්ශන වලට බාධා කර ඇති බවත් ඔහු පන්නිපිටියේ නිවෙසේ පදිංචිව නැති බවට වීඩියෝ දර්ශන ද ඇති බවත් සඳහන් කළේය.

මෙම විමර්ශනයට සම්බන්ධ තවත් සැකකරුවකු සතියක් ඇතුළතදී විමර්ශන ඒකකයට භාර දිය හැකි බවට කට උත්තරයේදී සඳහන් කළා දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න කර සිටියේය.

තමන් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට 1994 අංක 22 පනත හා ඇප පනත 14 එක වගන්ති හමුවේ සැකකරු අධිකරණය හමුවේ පිළිගනු ලැබිණි.

එහෙත් අද දින සැකකරු විමර්ශන ඒකකයට ප්‍රකාශයක් දෙමින් වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු දින හතක් ඇතුළතදී විමර්ශන ඒකකය වෙත භාර දෙන බවට වාචිකව පැවසූ බවට විවෘත අධිකර ණයේ පිළිගනු ලැබූ බවත් ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරියොත් සාක්කිවලට අහිතකර ලෙස බල පෑම් සිදුවිය හැකි බවට ඇප පනතේ දාහතර එක 2 වගන්ති අනුව තීරණය කළ මහෙස්ත්‍රා - ත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. මේ මස 13 වැනි දින සැකකරු හඬපට පරික්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරමින් සැකකරු මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සුපුන් විදානගේ හා එහි අධ්‍යක්ෂ ජයනාත් වනසිංහ මහත්වරුද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම පොඩි වර්ඩ් එකක් දැම්මා..කාටවත් මේ ගැන කියන්න එපා - සචිත්‍රගේ විනාඩි 49ක Whatsapp හඬ පටය Rating: 5 Reviewed By: webgossip24.com