728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 13, 2023

ලිඛිතව දන්වයි ජන්දේ තියන්න බෑ - ජන්ද පත්‍රිකා මුද්‍රණයත් නවත්වයි


මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේය.

ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබුණු අතර එම මුදල් මැතිවරණයේ මූලික කටයුතු සඳහා වැය කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර පළාත් මැතිවරණ කටයුතු සඳහා පසුගිය මාසයේදී පමණක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වැය කළ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

මැතිවරණ වියදම් සඳහා තවත් මුදල් අවශ්‍ය වන අතර එම මුදල් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව කොමිසමේ නිලධාරීහු පවසති.

නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (13) පස්වරුවේ ලිඛිතව දැනුම්දී ඇත.මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනියගෙන් කරුණු විමසීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූලික මුද්‍රණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රජයේ මුද්‍රණාලයට රුපියල් කෝටි හතරක් දැනටමත් ලබා දී ඇති බවයි.මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාව ද රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් රජයේ මුද්‍රණාලයට ලබා දී ඇතැයි ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ මුදල් ප්‍රතිපාදනයක් බවත් එම ප්‍රතිපාදනය පසුව මුද්‍රණාල ප්‍රධානීන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් කරගන්නා බවත් එම නිලධාරියා පැවසුවේය.සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දුන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතරද කිසියම් කඹ ඇදීමක් පවතින බව වාර්තා වේ.ඇතැම් සංගම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ යුතුයැයි පවසන අතර අනෙක් ඒවා පවසන්නේ මුදල් දෙන තුරු මුද්‍රණය නොකළ යුතු බවයි.

UPDATE - 2023/02/14 14.15PM

පළාත් පාලන මැතිවරණය කල් යා හැකි බවට ඉඟියක් මැතිවරණ කොමිසමේ අද පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී නිර්මාණය වී තිබේ.

 මෙම පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී  මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර ඇත්තේ හෙට (පෙබරවාරි 15) සිට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කළ නොහැකි බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ (SJB) ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ හෙට සිට බෙදා හැරීට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නතර කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් තහවුරු කර ඇති බවයි.

“අපි එතුමාට කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නු වචනයේ ඉන්න කියලා. පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පවත්වන බවට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකවුණා. අපි එතුමාට කීවා ඔහුගේ වචනය රකින ලෙස” යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

නීතිපතිවරයාගෙන් තමන්ට ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව මැතිවරණ ප්‍රධානියා පක්ෂ ලේකම්වරුන්ට දැන්වූ බවත් එම කරුණ නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන බවට ඔහු පෙන්වා දුන් බවත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ නියමිත පරිදි මැතිවරණය නොපවත්වන බව මැතිවරණ ප්‍රධානියා පෙන්වා දී ඇති බවයි.

නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට රජයේ මුද්‍රණකරුවන් දැනුම් දී තිබේ. තැපැල් ඡන්ද ප්‍රකාශය ලබන 22දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

UPDATE - 2023/02/14 15.45PM

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කලේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව මුදල් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

මැතිවරණ කොමිසම මීට පෙර සැලසුම් කර තිබුණේ ලබන 22 , 23 , 24 යන දිනවලදි තැපැල් ඡන්දය පැවැත්වීමටයි


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලිඛිතව දන්වයි ජන්දේ තියන්න බෑ - ජන්ද පත්‍රිකා මුද්‍රණයත් නවත්වයි Rating: 5 Reviewed By: webgossip24.com