728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, February 26, 2023

පොලිසියටත් කලින් මධුෂ් අල්ලපු සිද්ධික් මෙහෙයුම…අතීත කතාවක් ආපහු එළියට ඇවිත්….


 මැරකමින් ජීවිතයේම කොටසක් කරගනිමින් කඩුවෙන්, කිණිස්සෙන් එසේ නැතහොත් මන්නයෙන් සහ පිහියෙන් වැඩ දැමූ උන්ට අතීතයේ අපේ ගම්වල සිටි ඇත්තෝ චණ්ඩි යැයි කීහ. මේ කියන චණ්ඩි අතින් එදා මිනිස් ඝාතනයක් සිදුවූයේ නම් බොහෝ කලාතුරකිනි.

එදා මරණය එතරම් සිල්ලර වී තිබුණේ නැත. මොන චණ්ඩියා වුවත් ගමේ පංසලේ නායක හිමියන් දුටු කල හුනස්නෙන් නැගිට්ටේය. සරම පිටපොට ගසා සිටියේ නම් වහා එය පහතට දැමීය. චීවරයට ආගමික නායකත්වයට ගරු කරන්නට එකී චණ්ඩියෝ දෙවරක් නොසිතූහ.

උන් තුළ එවැනි හික්මීමක් තිබිණි. එසේ වුවද බොහෝ ගැටලුවලට උන් පිළිතුරු සෙව්වේ කසිප්පු ටිකක් බීමෙන් පසු අතට ගත් කඩුවෙන් කිණිස්සෙන් හෝ පිහියෙනි. එනිසා ගමේ චණ්ඩි සමඟ ගැටෙන්නට ගිය අයට සිදුවූයේ කැපුම් තුවාල සමඟ රෝහලකට යෑමටය.

එසේ සිදු කෙරුණු මාරාන්තික නොවන කැපුම් තුවාලවලද එක්තරා සුවිශේෂී බවක් විය. බොහෝ විට එකී තුවාල සිදු වූයේ අතක, කකුලක නැතහොත් පශ්චාත් භාගය වැනි තැනකය. ඇතැම්විට එසේ වූයේ චණ්ඩින් වුවද ඔවුන් තුළ තිබූ හික්මීම නිසා විය හැකිය. එක්වරම සතුරා මරා දැමීමේ සිතක් ඒ චණ්ඩින්ට පහල නොවුණි.

ඔවුන් ඝාතනයට බිය විය. එහෙත් යකෙකුටවත් බිය නොවීය. ගමේ සිටි චණ්ඩි වෙනුවට එතැන් සිට ඇතිවූයේ අලුත්ම සංස්කෘතියකි.

ගමේ චණ්ඩියා වෙනුවට පාතාලය හෙවත් කුඩු පාතාලය ඉදිරියට ආවේය. ඝාතනය යන්න පාතාලයේ ගැටලුවට විසඳුම් සෙවූ ප්‍රධාන ක්‍රමවේදය විය. කුඩු ජාවාරමේ කිරුළ දැරීම පිණිස එතැන් සිට සිදු වන්නට වූ මිනිස් ඝාතන ප්‍රමාණය අනන්ත අප්‍රමාණ විය. ගමේ චණ්ඩියා අත තිබූ කඩුව කිණිස්ස වෙනුවට එතැන් සිට පාතාලයා අත වූයේ ගල්කටස් එක්, රිවෝල්වරය සහ ටී 56 ය වැනි ගිනි අවිය.

එසේ අසූව දශකයේ මැදභාගයේ පමණ සිට මෙරට ආරම්භ වූ පාතාල සංස්කෘතිය තුළ එකෙක් මරා දැමෙද්දී තවකෙක් ලෙසින් අඛණ්ඩ ව්‍යාප්තියක් සිදුවූ අතර එය අදටද වලංගුව තිබෙන්නකි.

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්මින් මෙරටට කුඩු පොම්ප කරන තැන දක්වාම විහිදී ගිය එකී පාතාලය පිළිබඳ කතාවේදී මීට තෙවසරකට පමණ ඉහතදී මුළු රටම භීතියට පත්කරමින් නැගී සිටි ප්‍රබලම චරිතයක් වූයේ මාකඳුරේ මධුෂ්ය.

මාතර මාකඳුර ප්‍රදේශයේ ඉපදී මිනිස් ඝාතන සහ කොල්ලකෑම් සිදු කරමින් පාතාලයේ අත්පොත් තැබූ මාකඳුරේ මධුෂ් අවසානයේ නතර වූයේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් අති දැවැන්ත ලෙස රට තුළට කුඩු පොම්ප කරන සහ තමන් ඉදිරිය පැමිණෙන ඕනෑම බාධකයකට පිළිතුර ලෙස ඝාතනය පමණක්ම තෝරා ගත් පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත්වය.

ඒ අන්දමට රටම හෙල්ලූ මධූෂ් දැන් ජීවතුන් අතර නැත. ඉකුත් 2019 වසරේ පෙබරවාරි පළමුවැනිදා ඩුබායිහිදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කරන ලද කොළඹ මාලිගාවත්තේදී පොලිස් වෙඩි පහරකින් පරලොව ගියේ 2020 ඔක්තෝබර් මස 10 වැනිදා රාත්‍රියේදීය.

2019 වසරේදී ඒ අන්දමට ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා තුරුම කුමන ජාත්‍යන්තර ගිවිසුම් පැවතියද ඩුබායිහි සැඟව සිටි මධුෂ්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. එහෙත් මධුෂ්ව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කියැවුණු කතා නම් බොහෝ විය.

සැබැවින්ම ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන අතරේ එරට තුළ ව්‍යාපාර ගණනාවක්ද කරගෙන යමින් ධනකුවේරයකු සේ සිටි මධුෂ්ව ඩුබායි පොලිසිය ඒ අන්දමට හිටි හැටියේ අත්අඩංගුවට ගත්තේ ඇයි? එය පසුපස ක්‍රියාත්මක වූ බලවේගය කුමක්ද?

මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු බොහෝ කතා කියැවෙමින් තිබිණි. එහෙත් සැබෑ කතාව තිබුණේ වෙනතකය. එකී සැබෑ කතාවේ ආරම්භය නිවැරදිව කිවහොත් මීට වසර අටකට පමණ ඉහතදී සිදුවූවකි.

මොහොමඩ් සිද්ධික් සහ වෙළේ සුදා යනු ඉකුත් 2014 වසර වන විට පාකිස්තානයේ සැඟව සිටිමින් මහා පරිමාණයෙන් කුඩු ජාවාරමේ නිතර වන අතරේ ටොන් ගණනින් මේ රටට හෙරොයින් මත් කුඩු පොම්ප කළ චරිත දෙකකි. මේ අතරිනුත් මොහොමඩ් සිද්ධික් සිටියේ අංක එකේය.

සිද්ධික්ට එසේ අංක එකට ළඟා වීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතු සාධක කිහිපයක්ද විය. තම බිරිඳක ලෙස පකිස්තාන ජාතික කාන්තාවක් විවාහ කරගැනීමට කටයුතු කිරීම ඉන් එකකි. ඒ තුළින් පකිස්තානයේ සිටින ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවන්ට සමීප වීමට ද සිද්ධික්ට හැකියාව ලැබිණි. එසේම මෙරට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකුව සිට කොළඹ වෝඩ් පෙදෙසේදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණීය දණ්ඩනය හිමිවූ මොහොමඩ් සියාම්ගේ මස්සිනා වූ මැලේසියාවේ ගරුකටයුතු චරිතයක් සේ සිටින මොහොමඩ් මුජහිදීන්ට සමීප වීමටද ඒ වන විට සිද්ධික්ට හැකිවී තිබිණි.

එකී මොහොමඩ් මුජහදීන් යනු මැලේසියාවේ ගරු චරිතයක් සේ පෙනී සිටියද මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව ශ්‍රී ලංකා පොලිසිය පසු කලක සොයා ගනු ලැබීය. එකී සොයා ගැනීම සිදු කරනු ලැබුවේ කලකට ඉහත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරමින් මෙරට කුඩුපාතාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවය.

වෝඩ් පෙදෙසේදී මත්කුඩු කිලෝ ග්‍රෑම් හයක් සමඟ අත්අඩංගුවට ගත් මොහොමඩ් සියාම් බන්ධනාගාරගත කිරීමෙනුත් පසුව ඔහු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වූ රංගජීව එක් අහඹු තැනකදී කුඩු සියාම්ට මුජහදීන් නමින් මස්සිනා කෙනකු සිටින බවට මුල්වරට අනාවරණය කරගනු ලැබූ අතර මොහොමඩ් මුජහදීන්ගේ පැටිකිරිය හෙළි වූයේ එම සොයා ගැනීමත් සමඟය.

මෙකී සියලු සුදුසුකම් සමඟ සිද්ධික් සහ වෙළේ සුදා ඉකුත් 2014 වන විට පාකිස්තානයේ රැඳී සිටිමින් හෙරොයින් මත් කුඩු ටොන් ගණනින් මෙරටට එවා රට වනසද්දී හිටි හැටියේ ඔවුන් දෙදෙනා පකිස්තාන රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරටින් කළ ඉල්ලීමකට අනුවය.

එසේ අත්අඩංගුවට ගනු ලැබූ සිද්ධික් සහ වෙළේ සුදා ඉකුත් යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ පකිස්තානයේ සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර අනතුරුව දෙදෙනාටම සිදුවූයේ බන්ධනාගාරගතව තනිවන්නටය.

මේ කාලය වන විට මාකඳුරේ මධුෂ් යනු මෙරට පාතාලයේ නැගී එන තවත් එක් යක්‍ෂයකු බවට පත්ව සිටියෙකි. ඒවන විට බන්ධනාගාරගතව සිටි මධූෂ් සිද්ධික් හා වෙළේ සුදා බන්ධනාගාරත කිරීමෙන් මාස කිහිපයකට පසු ඇප මත නිදහස් වී පැමිණි අතර ඔශු ඩුබායි රාජ්‍යයට පැන යන්නේ ඉන් අනතුරුවය.

එදා එසේ ඩුබායි බලා පැන ගිය මධූෂ් කෙළින්ම සොයා යන්නේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි කංජිපානි ඉම්රාන්වය. මේ කංජිපානි ඉම්රාන් යනු කවරෙක්ද? හේ අන් කිසිවකුත් නොව, ඒ වන විට පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු බන්ධනාගාරගත කෙරුණු මොහොමඩ් සිද්ධික්ගේ කුඩු ජාවාරමේ ප්‍රධානම සගයාය.

මාකඳුරේ මධූෂ් පසු කලෙක ඩුබායිහි ධනකුවේරයකු සේ රැඳී සිටියදී හිටි හැටියේම එරට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමේ කතාවේ මූලාරම්භය ලෙසින් මේ අන්දමට සිද්ධික් සිරගතව සිටියදී මධුෂ් කංජිපානි ඉම්රාන් වෙත යෑම පෙන්වා දිය හැකිය.

මධූෂ් එසේ ඩුබායි බලා පිටත්ව යෑමෙන් පසු වසරක පමණ කාලයක් ගෙවී ගියේය. එය ශාලාව අවි ගබඩාව පිපිරී ගිය කාලවකවනුව විය. එදා රටේම අවධානය එසේ ශාලාව යුද හමුදා කඳවුර වෙතට යොමුවී තිබියදී එක්වරම තටු ලැබී ඉහළට මතු වෙමින් තිබූ පුවතක් විය.

මේ වන විට බන්ධනාගාරගත කෙරුණු මොහොමඩ් සිද්ධික් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර යවා තිබිණි. ඔහු එසේ මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී සිද්ධික් බන්ධනාගාරයෙන් පැන යෑමට බිහිසුණු සැලසුමක් සකස්කර ඇතැයි යනුවෙන් කතාවක් බුද්ධි අංශ සොයා ගැනීමක් ලෙස මාධ්‍යයට පැමිණි අතර හිටිහැටියේ තටු ලැබුණු කතාව එය විය.

මේ පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමඟ සැණෙකින් සිදුවූයේ කුමක්ද? මහර බන්ධාගාරයේ රඳවා සිටි මොහොමඩ් සිද්ධික්ව වෙනත් කිසිවකුත්ම නැති සමීප ඥාතීන්ට හැර පිටස්තර කාටවත් හමුවිය නොහැකි සේ අඳුරු සිර කුටියක තනිව සිරකර දමන්නට බන්ධනාගාර ප්‍රධානීහු කටයුතු කළහ.

එසේ සිද්ධික් මහර බන්ධනාගාරයේ සිරකර සති කිහිපයක් ගතවෙද්දී මෙරට සිට විශේෂිත දෙතුන් දෙනකු ඩුබායි බලා සංචාරයකට ගියේය. එසේ ගිය අයට මෙලොව ඇති සියලු සැප ඩුබායිහි රැඳී සිටි කාලය පුරා ලබා දෙන්නට කංජිපානි ඉම්රාන් සහ ඒ වන විට ඔහු සමඟ එක්ව කුඩු ජාවාරම අරඹා සිටි මාකඳුරේ මධූෂ් කටයුතු කළේය.

එසේ ඩුබායි ගිය කිහිප දෙනා අතර බන්ධනාගාර ප්‍රධානීන් දෙදෙනකුද වූහ. ඔවුන්ටද ලද සැපේ කිසිදු අඩුවක් නොවීය. දින ගණනාවක් එසේ ඩුබායිහි රැඳී සිටි එසේ ගිය දෙතුන් දෙනා පසුව යළි ලංකාවට පැමිණයේ මිලියනපතියන් බවට පත්වය. බුද්ධි අංශ මගින් මාධ්‍යයට යොමු කළ සිද්ධික්ගේ පැන යෑම පිළිබඳ කතාවේ අවසානය තිබුණේ එතැනය.

ඉන් පසුවත් සිද්ධික්ට සිදුවූයේ කුමක්ද? ඔහුට සිදුවූයේ වසරකටත් අධික කාලයක් ඉහත කී අඳුරු සිර කුටියේ තනිවම සිටිමින් මානසිකව අපා දුක් විඳින්නටය. ඔහුට එවැනි ඉරණමක් අත්වීම පිටුපස සිටියේ සිද්ධික්ගේ ප්‍රධානම ගෝලයා වූ කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ්ය.

ඒ වන විට සිද්ධික්ගේ සම්පූර්ණ මත්කුඩු ජාලයේ සබඳතා තමන් අතට ගනිමින් මහා පරිමාණයෙන් කුඩු ජාවාරම කරගෙන යෑමට කංජිපානි ඉම්රාන් කටයුතු කළ අතර මාකඳුරේ මධූෂ්ද වේගයෙන් සිය ගමන යමින් සිටියේය.

මේ අන්දමට සිද්ධික් මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී වරක් ඔහු හමුවීමට මේ ලියුම්කරුට අවස්ථාවක් හිමිවිය. එහිදී කංජිපානි ඉම්රාන්ගේ ද්‍රෝහී වීම සහ ඔහුත් සමඟ එක්ව මාකඳුරේ මධූෂ් තමන්ව අඳුරු සිර කුටියද තනිව සිරකර දමන්නට ක්‍රියාත්මක වූ ආකාරය හැඟීමකින් තොරව කියන්නට වූ සිද්ධික් අවසානයට කියා සිටියේ හැකිනම් බන්ධනාගාරගතව සිටින තමන් අතට ජංගම දුරකථනයක් ලැබීමට සලස්වන ලෙසය.

එසෙ කළහොත් ඒ වන විට කුඩු පාතාලයේ ගෝඩු ෆාදර් කෙනෙකු බවට පත් වෙමින් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධූෂ්ව සතියක් තුළ ලංකාවට පිටුවහල් කරවීමට ක්‍රියා කරන බවද හේ කැට තබා කියා සිටියේය.

ඒ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි තබා එක් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව පොලිස් ප්‍රධානීන්ට දුරකථන හරහා තර්ජන කිරීම ආදී වශයෙන් දරුණු අපරාධ රැසක් මෙහෙයවීමට ඩුබායිහි සිටිමින් මධූෂ් කටයුතු කර තිබිණී.

ඇතැම් විට එදා සිද්ධික් කී ලෙස ඔහුගේ අතට ජංගම දුරකථනයක් ලැබුණේ නම් මාකඳුරේ මධූෂ්ට පිටුවහල් ලේබලය යටතේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වන්නේ ඒ දිනවලය. එතරම්ව විශ්වාසයක් ඒ කතාව පවසද්දී සිද්ධික් තුළ විය.

මේ අන්දමට මහර බන්ධනාගාරය තුළ කිසිත් කරකියාගත නොහැකිව සිර වී සිටින අතරේ වසර එකහාමරකට පමණ පසුව හිටි හැටියේ යළිත් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණෙන්නට සිද්ධික් සමත් විය. එවකට සිටි එක්තරා ඉහළ බන්ධනාගාර නිලධාරියකුට රුපියල් ලක්‍ෂ පනහක් ලබා දී ඔහු එසේ යළි වැලිකඩ බන්ධනාගාරයට පැමිණි බවට වූ කතාවක් පසුව ඇතැම් බන්ධනාගාර නිලධාරීහුම කියන්නට වූහ.

සිද්ධික් එදා එසේ නැවත වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙද්දී මාකඳුරේ මධූෂ් මෙරට කුඩු පාතාලයේ ගෝඩ්ෆාදර් බවට පත්ව අවසන්ව තිබිණි. පාතාලය තුළ වූයේ මධූෂ්ගේ අණට ඉහළින් කිසිවකුත් නොයක තත්ත්වයකි.

එසේ තිබියදී නැවත වැලිකඩ බන්ධනාගාරයට පැමිණි මොහොමඩ් සිද්ධික් අතට ජංගම දුරකථනයක්ද ලැබී තිබිණි. එහෙත් දුරකථනයක් ලදහොත් සතියක් තුළ මධූෂ්ව ඩුබායි මෙරටට පිටුවහල් කරන්නෙමියි සිද්ධික් කියනු ලැබුවද සිදුවූ කිසිත් නොවීය.

ඒ වන විට සිද්ධික් බන්ධනාගාරගතව සිටියේ මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීමේ චෝදනාවකට අනුවය. එසේ සිටින අතරේ තවත් මාස හයකට පමණ පසු ඉකුත් 2018 වසරේ මැදභාගයේදී පමණ අධිකරණයෙන් නිදහස ලැබී බන්ධනාගාරයෙන් පිටව යන්නට සිද්ධික්ට අවස්ථාව හිමිවිය.

එසේ නිදහස් වූ මොහොමඩ් සිද්ධික් අද සිටිනුයේ මැලේසියාවේය. එහෙත් සිද්ධික් එසේ මැලේසියාව බලා පිටත්ව යෑමට පෙර සිදුවූ සිදුවීමක්ද තිබිණි. සිද්ධික් නිදහස් වූ විගසම ඔහුගේ ඥාති සහෝදරයකු සහ තවත් අයකු ඩුබායි බලා පිටත්ව යෑම එම සිදුවීම විය.

සිද්ධික් මැලේසියාවට යන්නේ ඉන් අනතුරුවය. සිද්ධික්ගේ ඥාති සහෝදරයා ඒ අන්දමට ඩුබායි බලා ගොස් මාසයක් දෙකක් පමණ ගෙවී යමින් තිබිණි. ඒ අතරේ ඉකුත් 2019 පෙබරවාරි මස 04 වැනිදා හෝ 5 වැනිදා සිය කුඩා දරුවාගේ උපන් දිනය සැමරීම සඳහා ඩුබායිහි තරු හෝටලකයදී පැවති උපන් දින සාදයකදී ඒ වන විට මෙරට කුඩු පාතාලයේ ගෝඩ් ෆාදර්ව සිටි මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස එක් වරම අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය කටයුතු කළේය.

ඩුබායි පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟ එදින අලුයම පහට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකාවේ එක්තරා අයකුට ලැබුණු දුරකථන ඇමතුමකි. ‘සර් රැවුලා ඇල්ලුවා.. රැවුලා ඇල්ලුවා..ඩුබායි සීඅයිඩී එකෙන් මේ දැන් ඇල්ලුවායි..’ ඇමතුම ලබා දුන් අය අනෙක් පුද්ගලයාට සඳහන් කරනු ලැබීය.

හේ රැවුලා ලෙසින් හඳුන්වා ඇත්තේ මාකඳුරේ මධූෂ්වය. ඒ වන විට මධූෂ්ගේ ඡායාරූපය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ දිගු රැවුලක් සහිතවය.

එකී ඇමැතුම ලබා දී තවත් විනාඩි පහක පමණ කාලයකදී ඩුබායි පොලිසිය මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා තරු හෝටලයට කඩා වදින අන්දම සඳහන් වීඩියෝ පටයක්ද සමඟ ඡායාරූප රැසක් එවීමටද ඩුබායි සිට ඇමතුම ලබාදුන් අය කටයුතු කර තිබිණි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් කුඩු ජාවාරම ඇතුළුව වෙනත් ව්‍යාපාර රැසක් කරමින් ධනකුවේරයකු ලෙස ජීවත් වූ මාකඳුරේ මධූෂ්ව ඩුබායි පොලිසිය ඒ අන්දමට එක්වරම අත්අඩංගුවට ගත්තේ ඇයි?

ඒ පසුපස වූයේ හෙරොයින් ජාවාරමේ ජාත්‍යන්තර තලය දක්වා විහිදී ගිය මොහොමඩ් සිද්ධික්ගේ මත්කුඩු ජාලයේ ශක්තියද? එදා සිදුවූයේ දුරකථනයක් දුනහොත් සතියෙන් මධූෂ්ව ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරනෙමියි කී මොහොමඩ් සිද්ධික් නිදහස ලබා රටිනුත් පිටවීමෙන් පසු සැලසුම් සහගතව ඉතා සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක වීමද?

කුමක් වුවත් දැන් මාකඳුරේ මධූෂ් ජීවතුන් අතර නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙතියි එදා බුදුහිමියෝ වදාළහ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පොලිසියටත් කලින් මධුෂ් අල්ලපු සිද්ධික් මෙහෙයුම…අතීත කතාවක් ආපහු එළියට ඇවිත්…. Rating: 5 Reviewed By: webgossip24.com