728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 15, 2023

ඉතිහාසයේ පළමු සජීවී විකාශ අවමංගල්‍යය - සමුගෙන අපෙන් සිනමාවේ දැවැන්තයා අදට සමුගෙන වසර 35යි


විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර් 09 වැනිදා රාගම රජයේ රෝහලේදීය. ඔහුගේ සම්පූර්ණ නම කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංගය. සිවු දෙනකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා ඔහුය. විජයගේ මව බියට්‍රිස් වූ අතර පියා ගම් මුලාදෑනියකු වූ බෙන්ජමින්ය. සිඩ්නි, විවියන් සහ රූපා ඔහුගේ වැඩිමල් සොයුරු සොහොයුරියෝ වූහ. කුඩා කාලයේදීම පියා මියගිය බැවින් පවුලේ ආර්ථිකය දුෂ්කර තත්ත්වයකට පත්විය. හෙතෙම කඳාන ද මැසනඩ් සහ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය අමරනාත් ජයතිලකගේ ප්‍රියංගා චිත්‍රපටියෙන් ප්‍රධාන චරිතය 1971දී රඟපෑවේය. වසර 1971දී ඔහු රඟපෑ චිත්‍රපට හතරක් තිරගත විය. ඔහු සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ අසහාය පෙම්වතා බවට ඔහු පත් විය. ජනප්‍රියත්වය කෙතරම් ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේ ද ඔහුය.

ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. එයා දැන් ලොකු ළමයෙක් (1975), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර, පාර දිගේ, මහගෙදර සහ බැද්දේගම (1980) ඒ අතරින් ප්‍රධාන වේ. ජනප්‍රිය නළුවා වශයෙන් 1983 සිට 1988 දක්වාම සම්මානය හිමිවූයේද ඔහුටය. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කළ ඔහු කැසට් පට 10ක් පමණ නිකුත් කළේය.

සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. එජාපයේ විජේපාල මෙන්ඩිස්ට ඔහු පරාජය වූයේ ඡන්ද 4,218කිනි. පසුව ඔහු දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමා බණ්ඩාරනායකගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය. ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මඟින් නැක්සලයිට් චෝදනාව ගොනු කර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. එමෙන්ම මහජන පක්ෂය නියෝජනය කරමින් මින්නේරිය අතුරු මැතිවරණයට 1984 ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් වූ අතර එහිදී දෙවන ස්ථානය ලබා ගනිමින් ඡන්ද 10,568ක් ලබා ගත්තේය. ශ්‍රිලනිපයෙන් ඉදිරිපත්ව තෙවැනි ස්ථානයට පත්වූ රත්න දේශප්‍රිය සේනානායකට හිමිවූයේ ඡන්ද 6,250ක් පමණි. ජයග්‍රාහකයා වූ එජාපයෙන් ඉදිරිපත්වූ එස්. බී විජේකෝන්ට ඡන්ද 19,744ක් හිමිවිය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මහජන පක්ෂයෙන් ඉවත් වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28 වැනිදා පැවති පක්ෂයේ සිවුවන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමි විය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මගින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කල අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනය වූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමගුල් උත්සවයන්ට ද විජය සහභාගී වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.

ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පළ කර සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසඳා ගැනීමට හැකි වනු ඇතැයි සිය සතුට පළ කර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත් කළ අතර මහජන පක්ෂය සහ විජය ද දේශදෝහීන් ලෙස නම් කෙරිණි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වළල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.

උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවෙසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණටද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමු විය. ඒ. කේ. 47 වර්ගයේ අවියකින් එකවර පතොරොම් 30ක් විනාඩියකටත් අඩු කාලයකදී නිකුත් කළ හැකිය.

විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාලියකිනි. අවමගුල සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කළ අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල සිදු වූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලි ද බරපතළ ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය. කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මඟින් වගකීම බාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේ ද සඳහන් විය.

‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූව ද දෝහීන් නොවූ කිසිවකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉතිහාසයේ පළමු සජීවී විකාශ අවමංගල්‍යය - සමුගෙන අපෙන් සිනමාවේ දැවැන්තයා අදට සමුගෙන වසර 35යි Rating: 5 Reviewed By: webgossip24.com