728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 15, 2023

වසර 34 පසුව ලබන ඉරිදා ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරක්


 මහනුවර ඓතිහාසික  ශ්‍රී දළදා  මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන  ජනරජ පෙරහර පෙබරවාරි  19 වනදා  මහනුවර නගරයේ දී  වීථි සංචාරය කිරීමට නියමිතය.

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පෙබරවාරි 19 දා පස්වරු  6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන  පෙරහර  දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරී ජයම්පති වැද්දාගල මහතා පැවසීය.

වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ජයම්පති වැද්දාගල මහතා වැඩිදුරටත් පැවසීය.

 මෙම  පෙරහරේ සධාතුක කරඬුව  වැඩම වීමක් නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය  කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරේ. 

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා ඇත.

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

මෙම ආකාරයට සංවිධානය කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර, ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හි ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කර ගනිමිනි.

 1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවන එලිසබෙත් රැජිණ  ලංකාවට පැමිණීමෙන් පසුව රජ   පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත්විණි. එය නැරඹීම සඳහා ද දෙවන එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර  මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර  නරඹා තිබේ.

1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා ඇත. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වසර 34 පසුව ලබන ඉරිදා ජනපති ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරක් Rating: 5 Reviewed By: webgossip24.com