728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 16, 2023

මැකෝ ගිරවුන් සොරකමේ ඇවිත් මාට්ටු

 විකිණීම සඳහා ඇති කරන  මැකෝ වර්ගයට අයත් ගිරවුන් හය දෙනකු කොල්ලකෑමට  උත්සාහ කරද්දී එම ව්‍යාපාරිකයාගේ මව සොරුන් සමග පොර බදා කොල්ලය වළක්වාගෙන ඇතැයි   බෝගමුව පොලීසිය පවසයි.

බොරු පිස්තෝලයක් රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද පොලිසිය කියයි.

බෝගමුව  නාරම්පොල ප්‍රදේශයේ නිවසක කූඩු වල දමා සිටි පැටවුන් අභිජනනය සඳහා යොදා ගන්නා වටිනා මැකෝ මව් සතුන් හය දෙනකු කොල්ලකෑම සඳහා මෙම සැකකරුවන් පිරිස පැමිණ ඇති බව පොලීසිය කියයි.

මෙම විශේෂිත ගිරවු ජෝඩුවක වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ බව පැවසේ.

කූඩුවල අගුල් බිඳ දමා ඒවායෙහි සිටි ගිරවුන් හයදෙනකු ගෝනි කීපයක දමා රැගෙන යාමට සූදානම් වෙමින් සිටියදී ව්‍යාපාරිකයාගේ මව රෝහලේ සිට නිවසට පැමිණ ඇත. 

ගිරවුන් ගෝනි තුළ බියට පත්ව කෑගසමින් සිටින බව දුටු ඇය සතුන් බේරා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොදමින් සැකකරුවන් සමඟ පොර බදා ඇත.

මෙහිදී සැකකරුවන් ඇයට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන එල්ල කර ඇතත් ඉන් බියට පත් නොවූ ඇය ඔවුන් සමඟ දිගින් දිගටම පොර බදිමින් අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇත. මැකෝ ගිරවුන්ගේ සද්දයත් කාන්තාවගේ කෑගැසිල්ලත් ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණෙත්දී කොල්ලය වැරුදුනු සැකකරුවන් සතුන් අතහැර ඔවුන් පැමිණි යතුරු පැදි වලින් පලා ගොස් තිබේ.

මෙම සිද්ධිය එම අවස්ථාවේදීම තම පුතුට දුරකථනයෙන් දැනුම්දී තිබූ අතර ඔහු නිවසට පැමිණෙත්දී යතුරු පැදිවලින්


පලා යන සැකකරුවන් දැක  ඔවුන් පසුපස තම වෑන් රථයෙන් හඹා ගොස්  යග්ගපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසලදීම වෑන් රථයෙන් එක් යතුරු පැදියක් හප්පා අනතුරට ලක් කර එහි ගමන් කළ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට ව්‍යාපාරික පුතු සමත්ව ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් පවතී.


අනතුරට ලක් වීමෙන් සැකකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකුගේ පාදයකට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන සිටින ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මැකෝ ගිරවුන් සොරකමේ ඇවිත් මාට්ටු Rating: 5 Reviewed By: webgossip24.com