728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 15, 2023

පරණ කොන්තරේකට පවුලක්ම යටකර මරන්න හැදු පාපතරයෙක්


 අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ මෝටර් රථයක් අලුත්වැඩියා කරමින් සිටි කාර්මික ශිල්පියකු සිය වෑන් රථයෙන් යටකර ඝාතනය කර තවත් සිව්දෙනකුට බරපතළ තුවාල කර පලා ගිය වෑන් රථ රියැදුරකු පොලිසිය මගින් ඊයේ (14 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයා සමඟ පැවති ආරවුලක් මත ඔහුගෙන් පළිගැනීමට සැකකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙහිදී මරුමුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියකු වන ආර්. එම්. ඒ. කරුණාරත්න නමැති මෝටර් රථ කාර්මික ශිල්පියෙකි.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ මියගිය කාර්මික ශිල්පියාගේ 17 හැවිරිදි පුත්‍රයා, කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෝටර් රථයේ පැමිණි 42 හැවිරිදි කාන්තාවක්, ඇගේ සැමියා සහ 7 හැවිරිදි පුත්‍රයා බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (13 දා) රාත්‍රි 11.00 ට පමණය.

කහටගස්දිගිලිය තුරු සෙවන ප්‍රදේශයේ දී මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෝටර් රථය අලුත්වැඩියා කිරීමට කාර්මික ශිල්පියකු ගෙන්වා ගෙන තිබේ.

ඔහු සිය 17 හැවිරිදි පුත්‍රයා ද සමග එහි පැමිණ මෝටර් රථය අලුත්වැඩියා කරමින් සිටියදී වෑන් රථයක් එම ස්ථානය පසුකර ගොස් ඇත.

එම රියැදුරු සහ මෝටර් රථය අලුත්වැඩියා කළ කාර්මික ශිල්පියා අතර පරණ කෝන්තරයක් තිබී ඇති බව පොලිසිය පවසයි. වෑන් රථ රියැදුරු එම ස්ථානයේ රථය නවතා කාර්මික ශිල්පියා සමඟ ආරවුලක පැටලී ඇත. අධික බීමතින් සිටි වෑන් රථ රියැදුරා පසුව වෑන් රථය හරවාගෙන මීටර් 200 ක් පමණ දුරට ගොස් අධික වේගයෙන් පැමිණ මෝටර් රථය අසල සිටි සියලු දෙනා යටකරගෙන පලා ගොස් ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ කාර්මික ශිල්පියා ඇතුළු 05 දෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දි කාර්මික ශිල්පියා මියගොස් ඇත. තවත් දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

කහටගස්දිගිලිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පරණ කොන්තරේකට පවුලක්ම යටකර මරන්න හැදු පාපතරයෙක් Rating: 5 Reviewed By: webgossip24.com