728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, June 11, 2023

තාමත් මම තනිකඩයි - කාලෙන් කාලෙට වෙනස් විදිහෙ දේවල් කරන්න මං හරි ආසයි


 ශ්‍රී ලංකීය සංගීත ලෝලීන් අතර කෙටි කාලයකින් ජනප්‍රිය වුණ යොවුන් ගායිකාවක් තමයි හනා සෆා කියන්නෙ. වෙනස් විදිහෙ සංගීත රටා ස්පර්ශ කරමින් ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන හනාගේ සංගීත කටයුතු ගැන වගේම අලුත්ම විස්තර දැනගන්න ඇයත් එක්ක අපි කතාබහ කළා.


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


සංගීත කටයුතු එක්ක වගේම ප්‍රසංග වේදිකාව එක්ක තමයි මේ දවස්වල වැඩිපුර දවස ගෙවෙන්නෙ.

හනා සෆා කියන නම ලැබුණෙ කොහොමද?


නම ලැබුණෙ පවුලෙ අයගෙන්. මගේ තාත්තා ඉස්ලාම් අම්මා බෞද්ධ. මම ඒ නමට හුඟක් කැමතියි.


මිශ්‍ර ආගමික පවුලක ජීවත්වෙන එක මොනවගේද?


අම්මයි තාත්තයි මට කැමති ආගමක් අදහන්න ඉඩදීලා තියනවා. එයාලා කවදාවත් නීති දාලා නැහැ මේ ආගම අදහන්න ඕන කියලා. හැම වෙලාවකම එයාලා කියන්නෙ හොඳ මනුස්සයෙක් විදිහට ජීවත්වෙන්න කියලා. ඒ නිසා මට ආගම් බේදයක් නැහැ. පොඩි කාලෙ ඉඳලා මම පන්සල් වගේම පල්ලිත් යනවා. මිනිස්සුන්ගේ හැඟීම් තියෙන්න ඕනේ හදවතේ.


කොහොමද ගායන ක්ෂේත්‍රයට එන්නෙ?


පුංචි කාලෙ ඉඳලා මට සිංදු කියන්න වගේම සංගීත භාණ්ඩ වාදනයට හැකියාව තිබුණා. පාසල් අධ්‍යාපනය හදාරපු මොරටුව වේල්ස් කුමරි බාලිකාවේ වාදක කණ්ඩායමේ වගේම ගායක කණ්ඩායමෙත් මම කටයුතු කළා. ඒ දේවලුත් එක්ක සංගීත ක්ෂේත්‍රය එක්ක මට හොඳ බැඳීමක් තිබුණා. හැබැයි මගේ හැකියාව මුළු ලංකාවෙම ඉන්න සංගීත ලෝලීන්ට පෙන්නන්න ලැබුණෙ වොයිස් ටීන් වැඩසටහන හරහා. ඒ නිසා වොයිස් ටීන් වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයටත්, මගේ හැකියාවන් අගයකරපු ප්‍රේක්ෂකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.



්ෂේත්‍රයේ වැඩ කරද්දි බාධක ආවෙ නැද්ද?


ඕනෑම ක්ෂේත්‍රයක වැඩකරද්දි බාධක එනවා. හැබැයි ඒ බාධකවලට අධෛර්ය වෙලා ගමන නැවත්තුවොත් අපිට පැවැත්මක් නැහැ. කොහොමහරි ඉදිරියට යනවා කියන අධිෂ්ඨානයෙන් හැකියාවෙන් ඉස්සරහට යන එක තමයි කරන්න ඕන.


පවුලෙ අය කැමති වුණාද ගායිකාවක් වෙනවට ?


මම වගේම පවුලෙ අයත් සංගීතයට ගොඩක් ලොකු ලැදියාවක් තියනවා. විවේක වෙලාවට එයාලත් සිංදු කියනවා වගේම සිංදු අහනවා. මම පුංචිකාලෙ ඉඳලා ගායන ක්ෂේත්‍රයෙන් ඉහළට යනවට එයාලගෙන් ලොකු සහයෝගයක් තියනවා. විශේෂයෙන් අම්මාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් තියනවා. අම්මා තමයි වොයිස් ⁣⁣ටීන් වැඩසටහනට මගේ තොරතුරු සඳහන් කරලා අයැදුම් පත්‍රයක් යොමු කළේ. අදටත් අම්මා මගෙත් එක්ක ඉඳගෙන සංගීත කටයුතුවලට උදව් කරනවා.


පොඩි වයසකදි ලොකු ජනප්‍රියත්වයක් ලැබුණ එක ගැන මොකද හිතෙන්නෙ?


මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු කරලා හැකියාව දියුණු කරගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට ආවෙ. ඒ මහන්සියට හරියන ප්‍රතිචාර ලැබෙනකොට ඇත්තටම ගොඩක් ලොකු සතුටක් දැනෙනවා.

මල් ඔංචිල්ලා සිංදුව හුඟක් ජනප්‍රිය වුණා නේද?


මම හිතුවටත් වැඩිය මල් ඔංචිල්ලා සිංදුව ජනප්‍රිය වුණා. ප්‍රසංගවලට ගියහම වුණත් මේ දවස්වල මගෙන් හැමෝම ඉල්ලන්නෙ මල් ඔංචිල්ලා සිංදුව කියන්න කියලා.


නිතර බටහිර පන්නයේ සින්දු කියන ඔබ ඇයි මේ වගේ වෙනස් සින්දුවක් ගායනා කළේ?


මල් ඔංචිල්ලා සින්දුවෙ පද⁣ පේළි ටික කියවද්දි මට ඒකට ගොඩක් ආස හිතුණා. ඇත්තටම මම රසිකයෙක් වුණා ඒ පදවල. ඉතින් හිතුවා ඒ පද මගේම කරගෙන ගායනා කරන්න.


සචින්ව සහ පූජනීව මියුසික් විඩියෝ එකට ගත්තෙ ඇයි ?


මම හිතුවා සචින් සහ පූජනී මේ සිංදුවෙ වචනවලට ගැළපෙන විදිහෙ හොඳ පෙම්තුන් යුවළක් කියලා. හිතුවා වගේම ඔවුන් දෙන්නා මේ සින්දුවට ගොඩක් හොඳ සාධාරණයක් ඉෂ්ට කළා.

ඔබ ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයට වෙනස් සංස්කෘතියක් එකතු කළා කිව්වොත්?


ඒක රසිකයො තීරණය කරන්න ඕන දෙයක්. හැබැයි මම නිතරම අලුත් වගේම වෙනස් සංගීත රටා, පද රචනා යොදාගෙන වෙනස් විදිහෙ අලුත් නිර්මාණ කරන්න හදන කෙනෙක්.


ගායිකාවක් නොවුණනම් මොන විදිහෙ වෘත්තියක් කරයිද?


පුංචි කාලෙ ඉඳලා මට හීන දෙකයි තිබුණෙ. එකක් ගායිකාවක් වෙන එක. අනිත්එක නීතිඥවරියක් වෙන එක. ගායිකාවක් වෙන හීනය නම් සැබෑ වුණා. බැරිවෙලාවත් ගායිකාවක් නොවුණා නම් නීතිඥවරියක් විදිහට මම පූර්ණ කාලීනව කටයුතු කරයි.


ගායිකාවක් වුණ නිසා අනිත් හීනය මගහැරුණද?


නැහැ. මම නීති අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගායිකාවක් වෙන හීනය සැබෑ කරගත්තා වගේම නීතීඥවරියක් වෙන හීනයත් සැබෑ කරගෙන සින්දු කියන ගමන් නීතිඥ වෘත්තියෙ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍රසංග වේදිකාවෙදි ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රසංගවලදි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරවලින් ගොඩක් ලොකු තෘප්තියක් ලබනවා. ඇත්තටම සතුටුයි ඒ ගැන.


ප්‍රසංගවලදි අඳින ඇඳුම් ගැන විවිධ පුද්ගලයො සමාජ මාධ්‍යවල කියන දේවල් ගැන මොකද හිතන්නෙ?


සාමාන්‍යයෙන් මම කොට ඇඳුම් හෝ දිග ඇඳුම් කියලා වර්ග කරලා විලාසිතා කරන්නෙ නැහැ. හැබැයි විලාසිතා කරන්න ගොඩක් කැමතියි. මට ගැළපෙනවා කියලා හිතුනොත් මම ඒ විලාසිතාව කරනවා. එකම විලාසිතාවකට කොටුවෙන්නෙ නැතුව එක එක කාලෙදි වෙනස් විදිහෙ ඇඳුම් විලාසිතා කරන්න ආසයි. හැබැයි ඒ කිසිම විලාසිතාවක් අනිත් අයට කරදරයක් වෙන්නෙ නැතිව ප්‍රසන්න විදිහට කරන්නයි මම නිතරම උත්සාහ කරන්නෙ.


ආදර්ශයක් විදිහට අනුගමනය කරන ගායක ගායිකාවො කවුද?


මම මේ ගායකයා වගේ වෙනවා කියන අදහසින් නම් කවුරුවත් අනුගමනය කරන්නෙ නැහැ. මම කැමතියි මම වගේ ඉන්න. රසිකයෙක් විදිහට නම් මම කැමතියි රිහානා, ජුලියා එලී, බාචි සුසාන්, කාංචනා අනුරාධි වගේ ගායනශිල්පීන් ශිල්පිනියන්ගෙ සින්දුවලට.

ආදරය ගැන මොකද හිතන්නෙ?


ආදරය කියන්නෙ සුන්දරව විඳින්න තියන හොඳ දෙයක්. හැබැයි ඒක සුන්දර වෙන්නෙ තමන්ට ගැළපෙන විදිහෙ හොඳ කෙනෙක්ව තෝරගත්තොත් විතරයි.


කාටහරි මේ වෙද්දි ආදරය කරනවද?


තාම නැහැ. මම තනිකඩයි.


ඉදිරි බලාපොරොත්තු මොනවද ?


මට ඕන සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ වෙනස් අලුත් දෙයක් කරන්න. මම තවම ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයයි. හැබැයි මට පුළුවන් විදිහට රසිකයන්ට දැනෙන විදිහෙ හොඳ අලුත් දෙයක් කරන්න ඉස්සරහදි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තාමත් මම තනිකඩයි - කාලෙන් කාලෙට වෙනස් විදිහෙ දේවල් කරන්න මං හරි ආසයි Rating: 5 Reviewed By: webgossip24.com