728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, June 25, 2023

අතේ – කරේ රත්තරන් නිසා මරු වසඟයට ගිය අබේකෝන් බණ්ඩා..!


 ඉකුත් පොසොන් පොහොය දා 119 හදිසි ඇමැතුම් අංශය හරහා මතුරට පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබිණි. එම ඇමැතුමෙන් කියැවුණේ ගලබඩ කෝපියාවත්ත පදියපැලැල්ල ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයකු අතපය ගැට ගසා මරා දමා ඇති බවය. සිද්ධිය සැලවීමත් සමඟ නිලධාරීහු පදියපැලැල්ල සිද්ධිය වූ ස්ථානයට පිටත්ව ගියහ.

මතුරට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යන විටත් ඒ අවට කිහිප දෙනකු එම ස්ථානයට රැස්ව සිටි අතර ඔවුන් එතැනින් ඉවත් කර නිවෙස තුළට යද්දී නිවෙස තුළ කිසියම් පුද්ගලයකු අත පය ගැටගසා මරා දමා ඇති අයුරු නිලධාරීන්ට දැකගත හැකි විය. සිද්ධිය දුටු සැණින් නිලධාරීන්ට ඒත්තු ගියේ ඔහුගේ මරණය ඝාතනයක් බවය. එහෙත් මියගිය පුද්ගලයාගේ අතපය ගැටගසා තිබීම නිලධාරීන්ට මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නේය.

“අනේ මහත්තයෝ මම පන්සලේ සිල් ගන්න ගියා පොසොන් පෝය හින්දා. මෙයා තනියම ගෙදර හිටියේ…. කවුද මගේ මහත්තයට මෙහෙම අපරාධයක් කළේ.”

මියගිය පුද්ගලයාගේ බිරිය මහ හ¾ඩින් නිලධාරීන් ඉදිරියේ විලාප දෙන්නට වූවාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර අතපය ගැටගසා මරා දමා ඇත්තේ අබේකෝන් බණ්ඩා නමැති ඇගේ සැමියාය. ඒ බව ඇය නිලධාරීන් ඉදිරියේ හඳුනාගත්තාය. අබේකෝන් බණ්ඩා මියයන විට වයස අවුරුදු 73කි. අනතුරුව නුවරඑළිය කොට්ඨාසයේ අපරාධ පරික්‍ෂණ (සොකෝ) නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට කැඳ වූ අතර සිද්ධිය පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කෙරිණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා පැවසුවේ අබේකෝන් බණ්ඩා මරා දමා ඇත්තේ හුස්ම හිර කිරීමෙන් බවය.

ඉන් අනතුරුව මතුරට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම අබේකෝන් බණ්ඩාගේ ඝාතනයට සම්බන්ධ වූවන් කොටු කර ගැනීමේ මෙහෙයුම ඇරඹූහ.

නිලධාරීන් මියගිය පුද්ගලයාගේ නිවෙස පරීක්‍ෂා කිරීමේදී පෙනී ගියේ නිවෙසේ බඩු මුට්ටු සියල්ල ඇද දමා ඇති බවය. ඒ අනුව ඝාතකයන් නිවසේ වටිනා යමක් ඇද්දැයි සොයා ඇති බව තහවුරු විය.

අනෙක් කරුණ වනුයේ ඝාතකයන් නිවෙසට ඇතුළු වී ඇත්තේ අබේකෝන් බණ්ඩා තනිවම නිවෙසේ සිටින බව දැනගෙන වන්නට ඇතැයි පොලිසිය සැක කළේය. ඊට හේතුව වූයේ එදා පොසොන් පුර පොහෝ දිනය නිමිත්තෙන් ඔහුගේ බිරිය නිවෙස ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට සිල් සමාදන් වීමට ගොස් සිටි නිසාය.

දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරියගෙන් කරුණු කාරණා විමසද්දී ඇය පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙසේ කීවාය.

“මහත්තයා අතේ කරේ මුදු මාල දාගෙන තමයි ඉන්නේ. එයා හරි ආසයි රත්තරන්වලට. මුන් ඒවා සේරම ගලවගෙන මහත්තයව මරලා දාලා සර්….”

නිලධාරීහු ඇගේ ප්‍රකාශය සටහන් කර ගත්හ. ඊට අමතරව ඇසින් දුටු සාක්ෂි හෝ වෙනත් සාක්ෂි සොයා ගැනීමට නිලධාරීහු මහත් ප්‍රයත්නයක් දැරූහ.

“මම දැක්කා ගෙදර ලයිට් දාලා තියෙනව. මට ඒ නිසා සැකයක් ආවා. මම දන්නවා නැන්දා පෝය නිසා සිල් ගන්න පන්සලට ගිහින් ඉන්නේ කියලා. මම පන්සලට ගිහින් නැන්දාට මේ ගැන කිව්වා. පස්සේ නැන්දත් එක්ක මම ගෙදර ආවම තමයි දැක්කේ මාමා අත පය ගැට ගහලා මරලා තියෙන විත්තිය.”

ඒ අතරතුර අසල්වැසියකු පොලිස් නිලධාරීන් ඉදිරියේ එසේ කීවේය. ඊට අමතරව අහල පහළ කිහිප දෙනකුගෙන්ම පොලිස් නිලධාරීහු සාක්ෂි සටහන් කර ගත්හ. එහිදී අනාවරණය වූයේ මියගිය අබේකෝන් බණ්ඩා කරේ රන් මාලයක්ද අතේ රන් මුදු කිහිපයක්ද නිතර පැලඳ සිටින බවය. ඒ අනුව පොලිසිය සැක කළේ එම රන් ආභරණ පැහැර ගැනීම සඳහා අබේකෝන් බණ්ඩා මරා දමා ඇති බවය. 

ඊට ප්‍රධානම හේතුව වූයේ අබේකෝන් බණ්ඩාගේ මළ සිරුරේ පැලඳ සිටින රන් මාලය සහ මුදු ඒ වන විටත් දකින්නට නොමැති වීමත් ඒ අනුව නිවෙසට පැමිණි කිසිවකු එම රන් අභරණ කොල්ලකෑමේ අදහසින් අබේකෝන් බණ්ඩා ඝාතනය කර ඇති බව මතුරට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විමර්ශන කණ්ඩායමට පැහැදිලි විය.

“ඊට පස්සේ අපි ගමේ කිහිප දෙනකුගෙන්ම මේ ගැන ප්‍රශ්න කළා. ඒ අවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නේ කවුද කියලා හොයලා බැලුවා. ඔන්න ඔහොම තොරතුරු හොයද්දී අපිට පුද්ගලයෙක් කිව්වා සුදු පාට මැස්ඩා වෑන් එකක් ඔය වෙලාවේ පාරේ යනවා දැක්කා කියලා. පස්සේ අපි උදේ 9.30 ඉඳලා දවල් 11 වනතුරු සී.සී.ටී.වී කැමරා චෙක් කළා. 

ඒ පරික්‍ෂා කිරීමේදී පාරේ ඔය වගේ පරණ මැස්ඩා සුදු පාට වෑන් එකක් යනවා දැකගන්න පුළුවන් වුණා. අපි ඒ රූපරාමු ලොකු කරලා ඒ වෑන් එකේ අංකය හොයා ගත්තා. ඒ අංකය ආර්.එම්.වී. එකට දීලා ඒ වෑන් එකේ අයිතිකාරයා කවුද කියලා හොයලා බැලුවා. එහෙම බලද්දී වෑන් එකේ අයිතිකාරයා පේරාදෙණිය පැත්තේ හිටපු හමුදා නිලධාරියෙක්. අපි ඉන් පස්සේ පේරාදෙණියට ගියා. ඒ අයිතිකාරයාගේ ගෙදර හොයා ගත්තා. ගෙදරට ගිහින් බලනකොට සුදු පාට වෑන් එක ඒ ගෙදර තිබුණා.”

විමර්ශන සිදුකළ ආකාරය පොලිස් නිලධාරියෙක් එසේ හෙළි කරන්නට විය. වෑන් රියේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කළේ ඉන්පසුවය. “පෙරේදා කවුද ඔය වෑන් එක අරන් ගියේ.”

“සර්” එදා ජෝනුයි, කඩල මාමයි ඇවිත් පන්සලක දානයකට යන්න ඕන කියලා වෑන් එක අරගෙන ගියා. මට රුපියල් පන්දාහකුත් ජෝන් දුන්නා.”

“කෝ දැන් ජෝන්”

“ඒක නම් මම දන්නේ නැහැ සර්.”

වෑන් රථ හිමිකරුගේ ප්‍රකාශය මත නිලධාරීන් නිශ්චය කළේ අබේකෝන් බණ්ඩා ඝාතනය සඳහා මෙම වෑන්රියෙන් පැමිණ ඇත්තේ ජෝන් බවය. ඔහු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් ජෝන් නිවෙසේ නොවීය. ඊළඟට පොලිසිය හැරුණේ කඩල මාමා නමැත්තා වෙතය. පසුව නිලධාරීහු ඔහු සොයා ගියහ. ඔහු නිවෙසේ නොවීය. නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය.

“ජෝන් තමයි මාව ඒ ගෙදරට එක්කගෙන ගියේ. මමත් වෑන් එක අරන් දෙන්න එයත් එක්ක ගියා. එතැනින් එහාට දෙයක් මම දන්නේ නැහැ සර්. කෙසේ වෙතත් කඩල මාමාගේ කීම පිළිනොගත් පොලිස් නිලධාරීන් ඔහුව කුදලාගෙන ගොස් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඔහුව අධිකරණයටද ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එතැන් පටන් පොලිසියේ උත්සාහය වූයේ ජෝන් සොයා ගැනීමය. ඔහු ගැන හෝඩුවාවක් සොයා ගැනීම සඳහා ඔත්තුකරුවන්ද  යොදවා තිබුණේය.

මෙලෙස දිගින් දිගටම ජෝන් ගැන තොරතුරු හොයද්දී දිනක් උදෑසන ස්ථානාධිපතිවරයාට ඇමැතුමක් ලැබිණ. ජෝන් නමැත්තා පේරාදෙණිය නිවෙසට ඇවිත් ඇති බව එම ඇමැතුමෙන් කියැවිණි.

නිලධාරීහු වහා පේරාදෙණියට ගියහ. එම නිවසේ තරුණ අඹු සැමි යුවළක් ජීවත්ව සිටියහ. පොලිස් විමර්ශකයන් පවසන්නේ සැකකාර ජෝන් එම නිවෙසේ කාන්තාව සමඟ අනියම් සබඳකමක් පවත්වාගෙන ගොස් ඇති බවය. ඒ අවස්ථාවේ එම නිවෙසේ ජෝන් නොවීය. ජෝන් එම නිවෙසට පැමිණ තිබිණි. එයා ෆෝන් එක චාජ් කරගෙන ගියා සර්…. නිවසේ සිටි කාන්තාව නිලධාරීන්ට කීවාය. පොලිසිය ඔහු සොයන බව ජෝන් ඒ වන විටත් දැන සිටියේය.

ඒත් කඩල මාමා අත්අඩංගුවට ගැනීම නිසාය. ඒ සමඟ ඔහුද ගමෙන් අතුරුදන් විය. මේ නිසා පොලිසිය යළි හැරුණේ හිස් අතින්ය. මේ අතර ස්ථානාධිපතිවරයාට කිසියම් උපායක් මතකයට නැඟුණි. ඒ අනුව ස්ථානාධිපතිවරයා නිවෙසේ සිටි කාන්තාව ඇමතීය. ඇයට කරුණු කාරණා අවබෝධ කරදී ඇගේ ජංගම දුරකථනයෙන් ජෝන් නමැත්තාට ඇමැතුමක් ගන්නා ලෙස කීවේය. එම ඇමතුමේදී ජෝන්ට කතා කළ යුතු ආකාරයද ස්ථානාධිපතිවරයා ඇයට කියා දුන්නේය. ඒ අනුව ඇය ජෝන් ඇමැතුවාය.

“ඔයා කොහේද ඉන්නේ?

“ඇයි”

“නැහැ අද අරයත් ගෙදර නැහැ. මට ඔයා හම්බ වෙන්නත් ඕනෑ.”

“හදිසියේ මොකද මම ඊයේ ආවේ…”

“නැහැ අනේ මට හරි පාළුයි… ඔයා කොහේද ඉන්නේ කියන්නකෝ.”

ඇය කතා කරන විලාසය දෙස පොලිස් කණ්ඩායම බලා සිටියේය.

“හරි එහෙනම් හවස 3ට විතර ඔයා පේරාදෙණිය බස් ස්ටෑන්ඩ් එකට එන්න. මම එතැනට එන්නම්…”

“අපි කොහේ හරි යමු.”

ජෝන් ඇයට කීවේය. ඇය ඒ බව නිලධාරීන්ට කීවාය. ඒ අනුව ඇයට හැඩ වැඩ වී සූදානම් වන ලෙස කී ස්ථානාධිපතිවරයා ඇයවද රැගෙන පේරාදෙණිය බස් නැවතුම්පොළට ආවේය.

“ඔයා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න. මිනිහ ආව ගමන් මිනිහට පේන්නේ නැතිව මිස් කෝල් එකක්  ගහන්න.”

ඇය ඊට එකඟ වූවාය. ඇය බස් නැවතුමේ නතර කළ නිලධාරීහු ඒ අවට තැන් තැන්වල රැඳී සිටියහ.

කී වේලාවටම ජෝන් ඇය සොයා ආවේය. නිලධාරීහු ඒ දෙසට සිය උකුසු ඇස් යොමා සිටියහ. මොහොතකින් පැමිණියේ ජෝන් බවට හැඟවෙන මිස් කෝල් එක වැදිණි. ඒ සමඟ එතැනට පැමිණි නිලධාරීහු ජෝන්ව අල්ලා ගත්හ. ඒ කිසිත් නොදත් ජෝන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව වටපිට බලන්නට වූයේ තමා උගුලකට හසු වූ බව දැනගැනීමත් සමඟය. නිලධාරීහු ජෝන්ව මතුරට පොලිසියට රැගෙන ගියහ. 

“අපි සේරම හොයාගෙන ඉවරයි. බොරු කිව්වොත් උඹව…”

“ජෝන් පේරාදෙණියේ සිට මතුරට ගමට සහ ඒ අවට ත්‍රිරෝද රියකින් කරක් ගහන්නේ පලතුරු ඇතුළු විවිධ භාණ්ඩ එකතු කිරීමටය. අබේකෝන් බණ්ඩාගේ ගෙදරට ගොස් වත්තේ ඇති අලිගැටපේර, දෙහි ඇතුළු බව බෝග එකතු කර ඊට සරිලන මුදලක් ඔහුට ලබාදීම ජෝන් පුරුද්දක් ලෙස කරගෙන ගියේය.

“ඔය අතරේ තමයි මිනිහට ආස හිතිලා තියෙන්නේ අබේකෝන් බණ්ඩා කරේ දාගෙන ඉන්න මාලයටයි. ඇඟිලිවල දාගෙන තියෙන

මුදුවලටයි. මේවා ටික ගලවගත්තොත් හොඳ ගාණක් ගන්න පුළුවන් කියලා ජෝන්ට හිතිලා තියෙනවා.”

“මිනිහගේ යාළුවෙක් ඉන්නවා ගල්කිස්සේ ‘බබී’ කියලා කෙනෙක්. ජෝන් මේ ගැන බබීට කියලා තියෙනවා. මෙහෙම වැඩක් තියෙනවා. ඒ බඩු ටික ගත්තොත් ලක්‍ෂ ගාණක් ගන්න පුළුවන් කියලා. පස්සේ බබීට පේරාදෙණියට එන්න කියලා තමයි ජෝන් ගිහින් අර වෑන් රථය පෝය දවසේ දානයක් දෙන්න තියෙනවා කියලා රෙන්ට් එකට අරගෙන තියෙන්නේ. 

පස්සේ එයයි බබීයි තමයි එදා උදේම ඔය ගෙදරට ඇවිත් තියෙන්නේ. එතකොට අබේකෝන් බණ්ඩා ජෝන්ව හඳුනාගෙන තියෙනවා. ජෝන් ඊට කලිනුත් එහෙ යන එන හින්දා. “අද නෝනා සිල් ගන්න ගියා. මම විතරයි ගෙදර ඉන්නේ” කියලා මේ දෙන්නට තේ දෙකකුත් හදලා දීලා තියෙනවා.

තේ එකක් බීලා තමයි මේ දෙන්නා එකතු වෙලා අබේකෝන් බණ්ඩාගේ අතපය ගැටගහලා තියෙන්නේ. අත් ගැට ගහලා තිබුණේ අයන් එකේ වයර් එකෙන්. ඒ අතරේ ගෙදරට ලයිට් බිල්කාරයාත් ඇවිල්ලා. ඒ වෙලාවේ ජෝන් ඉස්සරහට ගිහින් ලයිට් බිලත් අරගෙන තියෙනවා.

පස්සේ අබේකෝන් බණ්ඩාගේ මුහුණ වැහෙන්න සරමක් දාලා තමයි අතේ තියෙන බේ්‍රස්ලට් එකයි කරේ තියෙන රත්තරන් මාලයයි., මුදු දෙකයි ගලවගෙන ගිහින් තියෙන්නේ” යැයි විමර්ශන නිලධාරියා කීවේය. එහෙත් ඔවුන් විසින් අබේකෝන් බණ්ඩාගේ මුහුණ වැසෙන සේ යොදන ලද සරම නාසයට හිරවීම නිසා ඔහුට හුස්ම ගැනීමට අපහසු වී ඇත. එහෙත් අතපය ගලවා ගැනීමට නොහැකි වීම නිසා  මුහුණට වැටුණු සරම ඉවත් කර ගත නොහැකිව අබේකෝන් බණ්ඩා හුස්ම හිරවීමෙන් නිවෙස තුළම මියගියේය.

“අපි එයාව මරන්න හිතාගෙන නෙමෙයි සර් එහෙම කළේ,  අත්අඩංගුවට පත් ජෝන් පොලිසිය ඉදිරියේ කීවේය. “හරි දැන් කෝ උඹ ගත්ත රත්තරන් බඩු.” ස්ථානාධිපතිවරයා ජෝන්ගෙන් විමසුවේය. ඔහු සොරාගත් රන් බඩු විකුණ­ තැන් මෙන්ම ඒවා පරිස්සමට තිබූ තැන්ද පොලිසියට කීවේය.

“සර්… මගේ ළඟ එක මාලයක් තියෙනවා. ඒක මම දෙන්නම්. අනික් ඒවා … ජෝන් පොලිසිය හමුවේ සියල්ල කීවේය. ඒ අනුව ඔහු සන්තකයේ තිබූ පවුම් තුන හමාරක රන් මාලය පොලිසිය සිය භාරයට ගත්තේය. 

පවුම් 3ක් බර අත්පලඳනාව තිබුණේ ඒ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි කඩල මාමාගේ බිරිය ළඟය. නිලධාරීන් ඇයවද අත්අඩංගුවට ගත්තේය. අබේකෝන් බණ්ඩාගේ නිවෙස තුළ අල්මාරිය ඇද ඒ තුළ තිබූ පවුමක රන් මාලයක්ද ජෝන් විසින් සොරාගෙන ගොස් තිබිණි.

ඔහු එය රන් අබරණ අලෙවි සලකට විකුණා මුදල් ලබාගෙන තිබිණි. නිලධාරීන් රත්රන් බඩු සාප්පුවට ගොස් ජෝන් විකිණ­ූ­ එම මාලයද සොයා ගත්තේය. කෙසේ වෙතත් මරා දැමුණු අබේකෝන් බණ්ඩාගේ අත්වල, ඇඟිලිවල තිබූ රන් මුදු මෙතෙක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී නැත. 

පොලිසිය පවසන්නේ එම රන් මුදුත් සමඟ මේ කොල්ලකෑමට පැමිණි ගල්කිස්සේ බබී නමැත්තා මේ වන තුරුත් අතුරුදන්ව සිටින බවය. පොලිසිය ඔහු කොටුකර ගැනීම සඳහා පුළුල් පරික්‍ෂණයක් අරඹා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර ජෝන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. නුවරඑළිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් මත වලපනේ සහකාර පොලිස් අධිකාරි අනුර බණ්ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය මත මතුරට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්‍ෂක එච්.ඒ.එල්.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සෙනරත් ප්‍රමුඛ සැරයන්වරුන් වන ජයරත්න (2776), බණ්ඩාර (17742), අත්තනායක (37238) සුබසිංහ (61243),  කොස්තාපල් වසන්ත (77443), ආරියසිංහ (78034) සහ මුණසිංහ (71048) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට එක්ව සිටියහ. පොලිස් පරීක්‍ෂණ ඇසුරෙනි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අතේ – කරේ රත්තරන් නිසා මරු වසඟයට ගිය අබේකෝන් බණ්ඩා..! Rating: 5 Reviewed By: webgossip24.com