728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, August 28, 2023

සරාගී ප්‍රතිචාර ලැබෙනකොට ලැජ්ජා හිතෙනවා


 මේ දිනවල ටී.වී. දෙරණ නාළිකාවේ විකාශය වන ලොක්කි 2 ටෙලි නාට්‍යයෙන් වගේම ස්වර්ණවාහිනී නාළිකා‍ෙව් විකාශයවන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයෙන් කලා ලෝකය එළියකරන නවක රංගන ශිල්පිනියක් තමයි මලීෂා බණ්ඩාර කියලා කියන්නෙ.

මලීෂා ගැන විස්තර ටිකක් කියමුද?

මගේ නම මලීෂා බණ්ඩාර. වයස අවුරුදු විසිපහයි. ගම අම්පාර. මේ වෙද්දි රංගනශිල්පිනියක් විදිහට වගේම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.

නිළියක් වෙනවා කියන අදහස පුංචි කාලෙ ඉඳලා තිබුණද?

නිළියක් වෙන අදහස පුංචි කාලෙ ඉඳලා තිබුණා. හැබැයි මම පාසලේදි නාට්‍ය කලා විෂය අතෑරලා අධ්‍යාපනය ලැබුවේ වාණිජ විෂය දාරාවෙන්. ඒත් එක්ක නිළියක් වෙන හීනය ටිකක් මඟඇරෙනවා

කොහොමද රංගන ක්ෂේත්‍රයට එන්නෙ?

2018දී මම නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. නිරූපිකාවක් විදිහට කටයුතු කරගෙනයන අතරතුර 2022 වර්ෂයේදි ස්වාධීන රූපවාහිනී නාළිකාවෙ අවුරුදු කුමාරි තරගයට සහභාගි වෙනවා. අවුරුදු කුමාරි තරගයේ අවසාන දොළොස් දෙනා අතරට පැමිණීමත් එක්ක හර්ෂ උඩකන්ද අයියගේ දියණි ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය. ඊට පස්සෙ රංගනයට තියන උනන්දුව වැඩිවෙලා රංගනය ගැන ඉගෙන ගන්න සද්දාමංගල සූරියබණ්ඩාර සර්ගේ impas රංගන පාසලට සම්බන්ධ වෙනවා.

අම්මයි තාත්තයි කැමති වුණාද නිළියක් වෙනවට?

මම නිළියක් වෙනවට වගේම නිරූපිකාවක් විදිහට කටයුතු කරනවටත් අම්මයි තාත්තයි විරුද්ධ වුණා. එයාලගේ අදහස තිබුණේ මාව ගුරුවරියක් කරන්න. හැබැයි මට ඕනවුණේ කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. මගේ බලකිරීමට තමයි එයාල අකැමැත්තෙන් හරි මට නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් විදිහට වැඩකරන්න ඉඩදුන්නෙ. දැන් මගේ දක්ෂතා දැකලා එයාලා සතුටු වෙනවා. ඒ නිසා කලින් තරම් දැන් විරුද්ධත්වයක් නැහැ.

රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනකොට බාධක ආවේ නැද්ද?

බාධක, කැපිලි කෙටිලි නම් ඕනෑ තරම් ආවා. හැබැයි ඒ හැමදෙයක්ම දරාගෙන සැලෙන්නෙ නැතුව උත්සාහයෙන් හැකියාවෙන් දිගටම මම මගේ ගමන යනවා.

වැඩිපුර කැමති රඟපාන්නද නැත්තන් නිරූපණයටද?

පුංචි කාලෙ ඉඳලා මගේ අදහස තිබුණෙ නිළියක් වෙන්න ඕන කියලා. ඒ නිසා රංගනයට තමයි වැඩි කැමැත්තක් තියෙන්නෙ. එහෙමයි කියලා නිරූපණය අතාරින්නෙ නැහැ. වෙලාව තියන වෙලාවට නිරූපණ කටයුතු කරනවා.

මේ දවස්වල කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රංගනයටද වැඩි ප්‍රතිචාර තියෙන්නෙ නැත්තන් ලොක්කි 2 ටෙලි නාට්‍යයේ රංගනයටද?

කෝලම් කුට්⁣ටම ටෙලි නාට්‍යයේ මනෝරි ටීචර්ගෙ චරිතය තමයි මම රඟපාන්නෙ. හොඳ ආදරණීය ප්‍රතිචාර ඒ රංගනය වෙනුවෙන් මට ලැබෙනවා. ලොක්කි 2 ටෙලි නාට්‍යයේ ඈන් කියලා මැර චරිතයක් රඟපාන්නෙ. ඒ රංගනයට නම් ටිකක් බැනුම් තමයි මට හම්බවෙන්නෙ.

සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?

සරල විදිහට හිතන පතන සංවේදී විදිහට කටයුතු කරන පුළුවන් උදව්වක් අනුන්ට කරලා පාඩුවෙ ඉන්න කෙනෙක්. හැබැයි හිත හොඳ වැඩිකමට අනුන්ට උදව් කරන්න ගිහින් කරදරේ වැටිච්ච අවස්ථාත් නැත්තෙ නැහැ.

ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද?

ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද කියලා ගොඩක් දෙනෙක් ඇත්තටම මගෙන් අහනවා. මට තියෙන්නෙ මහතත් නැති කෙට්ටුත් නැති මධ්‍යම ප්‍රමාණයේ ඇඟක්. මේ විදිහට ඇඟ තියාගෙන ඉන්නෙ ජිම් ගිහින් ව්‍යායාම කරලවත් කෑම පාලනය කරලවත් නෙමෙයි. ස්වභාවිකවම මට ලැබුණ ඇඟක් මේක. මම හොඳට කනබොන කෙනෙක්. හැබැයි මගේ ඇඟ මහත්වෙන්නෙවත් කෙට්ටු වෙන්නෙවත් නැහැ. ස්වභාවිකව මගේ ඇඟ ලස්සන හැඩයකට නඩත්තු වෙනවා. මම හිතන්නෙ පෙර පිනකට තමයි මේ විදිහට ස්වභාවිකවම ලස්සන ඇඟක් ම⁣ට ලැබිලා තියෙන්නෙ.

ඇඟේ හැඩය ලස්සනට පේන්න කරන විලාසිතා මොනවද?

දිග ගවුම්වලට මගේ ඇඟේ හැඩය ලස්සනට පේනවා. ඒ වගේම දිගට ඇන්දහම ගැමි පෙනුමක් තියනවා. කොහොමත් මම ගමේ කෙල්ලෙක් නිසා ගැමි පෙනුමට කැමතියි.ඒ නිසා වැඩිපුර කැමති දිග ගවුම් අඳින්න. කොට ඇඳුම්වලටත් ආස නැතුව නෙමෙයි.කොට ඇඳුමුත් මම අඳිනවා. ඒ වුණාට වැඩිපුර කැමති දිග ගවුම්වලට.

විලාසිතාවලදි සරාගීකම ගැන හිතනවද?

මම සාමාන්‍යයෙන් තැනට ගැළපෙන විදිහට විලාසිතා කරන කෙනෙක්. අවස්ථාවට අනුව සරාගී විදිහට අඳිනපළඳින වෙලාවල් තියනවා.ඒ අවස්ථාවලදි සමහරු මට සරාගී කියලා ප්‍රතිචාර යොමු කරනකොට ලැජ්ජා හිතුන වෙලාවලුත් තියනවා. හැබැයි මම හිතන්නෙ හැම තිස්සෙම ඇඟ පේන විදිහට සරාගී ඇඳුම් අඳින්න ඕන නැහැ කියලා.මම වැඩිපුර පුරුදුවෙලා ඉන්නෙ අදාළ අවස්ථාවට ගැළපෙන විදිහට විලාසිතා කරන්න.

ටෑටූ කීපයක් කරලා තියෙන්නෙ, ටැටූවලට ආස නිසාද?

ඇත්තටම මම ටැටූවලට පොඩ්ඩක්වත් ආස නැහැ. උරහිසේ කරලා තියන ටැටූ එක කලේ මම කලින් ආදරය කරපු පෙම්වතා නිසා. මම වගේම එයත් ටැටූවලට පොඩ්ඩක්වත් ආස නැහැ. ඉතින් එයා මාත් එක්ක තරහා වුණ වෙලාවක එයාට රිද්දන්න ඕන නිසා තමයි උරහිසේ ටැටූ එක කලේ. බෙල්ල පි⁣ටිපස්සෙ තියන අනිත් ටැටූ එක කලෙත් ඒ වගේ මට නිකන් හිතිලා. ඇත්තටම මම අද පසුතැවෙනවා ඒ විදිහට ටැටූ කරපු එක ගැන. දැන් මම රංගන ශිල්පිනියක් නිසා මේ ටැටූ මගේ අනාගතයට හරස්වෙලා තියනවා. කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ වුනත් මම රඟපාන්නෙ ගුරුවරියකගේ චරිතයක්. ගුරුවරු සාමාන්‍යයෙන් ටැටූ කරන්නෙ නැති නිසා මම සෑහෙන්න උත්සාහ කරනවා ටැටූ එක නෙපෙනෙන විදිහට රඟපාන්න. මගේ ටැටූ නිසා නිර්මාණයට අසාධාරණයක් වෙයිද කියන සැකයත් මට වෙලාවකට හිතෙනවා. ඒ වගේම ටැටූ නිසා මට රඟපාන්න හම්බෙන අවස්ථා වුනත් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මම අද සෑහෙන්න පසුතැවෙනවා වගේම දුක්වෙනවා ටැටූ කරපුඑක ගැන.

ආදරය ගැන මොකද හිතන්නෙ?

මං හිතන්නෙ ආදරයේදි නිතරම අනිත් කෙනා ගැන හොයලා බලන්න ඕන කියලා. ඒ වගේම විශ්වාසය සහ අවංකකම තියෙන්න ඕන.මේ දේවල් සේරම එකට එකතුවුන තැන තමයි හොඳ ආදරයක් තියෙන්නෙ. එහෙම නැති වුණහම සම්බන්ධතාවය පුපුරලා ගිහින් තුන්වෙනි පාර්ශ්වයකට ළංවෙන එකයි සිද්දවෙන්නෙ.

මේ වෙද්දි පෙම්වතියක්ද?

ඒ ගැන පස්සෙ කියන්නම්.

ආදරයෙදි රාගය තියෙන්න ඕනද?

ආදරයෙදි විශ්වාසය, අවංකකම, රැකබලා ගැනීම වගේම රාගයත් තියෙන්න ඕන කියලා මම හිතනවා. දෙන්නා අතර රාගික ආකර්ෂණය තියනකොට ප්‍රේම සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වාගෙන යන්න උනන්දු වෙනවා. හැබැයි තමන්ගෙ සහකරු⁣ට විතරක් සීමාවෙලා අවබෝධයෙන් විශ්වාසයෙන් රාගික බව ආදරයෙන් පවත්වාගෙන යන්න ඕන.

ආදරයේදි living together ඉන්න එක අනුමත කරනවද?

Living together සංකල්පයට මම බණින්නෙ නැහැ. දෙන්නා අතර හොද තේරුම් ගැනීමක් වගේම දික්කසාද අවම වීමක් living together ඉන්න එකෙන් සිද්දවෙනවා. හැබැයි මම පෞද්ගලිකව කැමති living together ඉන්නෙ නැතිව සාමාන්‍ය විදිහට ආදරය කරලා දෙන්නගෙම පවුල්වලින් කතාබහ කරලා විවාහයකට යන්න.

දිගටම රඟපාන්නද බලාපොරොත්තුව?

ඔව්. රංගන ශිල්පිනියක් වෙනවා කියලා පුංචි කාලෙ ඉඳලා දැකපු හීනය අද වෙද්දි සැබෑ වෙලා තියනවා. ඒ හීනය සැබෑ කරගන්න සද්දාමංගල සූරියබණ්ඩාර සර් වගේම චේතනී විජේතුංග මිසුත් උදව් කලා. ඉතින් රංගනය ගැන තව හොඳට ඉගෙනගෙන ඉදිරියෙදි දක්ෂ චරිතාංග වගේම නිහතමානී රංගන ශිල්පිනියක් වෙනඑක තමයි මගේ බලාපොරොත්තුව. නිහතමානී කියලා මම අදහස් කලේ අපි රඟපාන ටෙලි නාට්‍යයවල ඉන්න සමහර ප්‍රධාන රංගන ශිල්පිනියෝ කාත් එක්කවත් හිනාවෙන්නෙ කතා කරන්නෙ නැතිව ආඩම්බර විදිහට ඉන්නවා. ඒ විදිහට තමන් ගැන අධික මාන්නෙන් ඉන්න රංගන ශිල්පිනියක් වෙන්න මට ඕන නැහැ. දක්ෂතාවයෙන් වගේම කාත් එක්කත් හිනාවෙලා කතා කරලා සහයෝගයෙන් වැඩකරන මනුස්සකම තියන රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සරාගී ප්‍රතිචාර ලැබෙනකොට ලැජ්ජා හිතෙනවා Rating: 5 Reviewed By: webgossip24.com