728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, September 22, 2023

මම ශෙනායා වගේ රඟපාන්නේ නැහැ


 පාරදිගේ ටෙලි නාට්‍යයේ සරණි විදිහට ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත දුශේනි මියුරංගි සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පිංකි වෙලා ආපහු ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ඇවිත් ඉන්නවා. ඉතින් දුශේනිගේ මේ අලුත් පියවර ගැන දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.

පිංකි විදිහට ආපහු රසිකයො අතරට ආවා නේද?

ඔව්. සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පිංකි විදිහට මම ආපහු රසිකයො අතරට ඇවිත් ඉන්නවා. පිංකිගේ චරිතය කලින් රඟපෑවේ ශෙනායා වැන්හොෆ්. ඇය ටෙලි නාට්‍යයෙන් අයින් වුණු නිසා මට පිංකිගේ චරිතය රඟපාන්න කියලා සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් ආරාධනා ලැබුණා. මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය හදපු සද්දාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් තමයි සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවො වෙන්නේ. ඒ වගේම සද්දාමංගල අයියගේ බිරිඳ චේතනී විජේතුංග අක්කවත් මතක් කරන්න ඕන. චේතනී අක්කා තමයි පිංකිගේ චරිතයට මට ආරාධනා කෙරුවෙ.

ශෙනායා නැති අඩුව පුරවන්න පුළුවන් වෙයිද?

මම ශෙනයා වගේ රඟපාන්න උත්සාහ කරන්නෙ නැහැ. මම කැමැතියි දුශේනි විදිහට පිංකිගේ චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න.

ප්‍රේක්ෂකයො අලුත් පිංකිව ආදරයෙන් පිළිගත්තා නේද?

ඔව්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ඉතින් මගේ රංගනයට කැමැති නැහැ කියලා ප්‍රතිචාර ලබෙන අවස්ථාත් තියනවා. මම කැමැතියි හැම විදිහකම ප්‍රතිචාර ලැබෙනවට. විශේෂයෙන් මගේ රංගනයේ තියන අඩුපාඩු දුර්වලකම් පෙන්වල දෙන විදිහෙ ප්‍රතිචාරවලට. ඒ විදිහෙ ප්‍රතිචාර අපේ හැකියාව තව වැඩිදියුණු කරගන්න උදව් වෙනවා.

බන්ටිගේ චරිතය තුළ තිබුණු ගතිගුණ පිංකිගේ චරිතය තුළ තියනවද?

ප්‍රේක්ෂකයන්ට පිංකිගෙන් බන්ටිව පේනව නම් ඒකට හේතුව පිංකිගේ චරිතය මුලින් රඟපාපු රංගන ශිල්පිනියට ලබාදීලා තියෙන්නෙ බන්ටිගේ චරිතයට ටිකක් සමානව නිසා. හැබැයි දැන් මම පිංකිගේ චරිතයේ රඟපාන නිසා බන්ටිගේ තිබුණ ලක්ෂණ ගැළපෙන්නෙ නැති හින්දා සද්දාමංගල අයියා ඉදිරියෙදි පිටපත වෙනස් කරලා ලියයි.

සරණිට වගේම පිංකිගේ චරිතය නිසාත් සම්මානයක් ලැබෙයිද?

ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්ෂකයො. මම මට පුළුවන් උපරිමයෙන් චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. මගේ හැකියාව හොඳයි කියලා ප්‍රේක්ෂකයෝ තීරණය කරනවා නම් සම්මාන ලැබෙයි.

සාරංග එක්ක රඟපාන්න ලැබුණ අත්දැකීම කොහොමද?

සාරංග කියන්නෙ දක්ෂ රංගන ශල්පියෙක්. මගේ චරිතයේදී සාරංග ලොකු සහයෝගයක් ලබාදෙනවා.

හැබැයි රසිකයෝ තාම කැමැති ඔබව රෙහාන් එක්ක දකින්න කිව්වොත්...

ඔව්. ටෙලි නාට්‍යය අවසාන වෙලා මාස කීපයක් ගියත් අදටත් රෙහාන් - සරණි ප්‍රෙක්ෂකයෝ අතර අමරණීය යුවළක් වෙලා තියනවා. ආපහු උද්දිකටයි මටයි එකට රඟපාන්න තාම නිර්මාණයකින් ආරාධනා ලැබුණෙ නැහැ. එහෙම ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන් උද්දිකයි මායි එකට ප්‍රේක්ෂකයො අතරට ආපහු එනවා.

පාරදිගේ දෙවැනි කොටසක් එනවා කියන ආරංචිය ඇත්තද?

පාරදිගේ දෙවැනි කොටසක් නිර්මාණය කරනවා කියලා තාම අපිට සද්දා අයියවත් ශිවා අයියවත් කිව්වෙ නැහැ. තාම ඒ ගැන සාකච්ඡා මට්ටමින් තියෙන්නෙ. හැබැයි මමත් කැමැතියි පාරදිගේ දෙවැනි කොටසක් එනවා නම් ආපහු සරණිවෙලා රසිකයො අතරට එන්න.

පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියි?

ඔව්. මම රඟපාපු පළමුවැනි චිත්‍රපටය සිංහබාහු පහුගිය කාලෙ සාර්ථකව තිරගත වුණා. හේමාල් රණසිංහ එක්ක රඟපාපු මගේ ඊළඟ චිත්‍රපටය සිහින නෙළුම් මලුත් ළඟදීම තිරගත වීමට නියමිතව තිබෙනවා.

පුංචි තිරයේ එක එක විදිහෙ චරිත රඟපාන දුශේනි ඇත්තටම මොනවගේ කෙනෙක්ද?

සැබෑ ජීවිතයේදි මම සරණි වගේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් සරලව ඉන්න කැමැති කෙනෙක්.

හැමදාමත් ලස්සනට ඉන්නෙ කොහොමද?

මම ලස්සන වෙන්න කිසිම කෘත්‍රිම දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ හිත ලස්සන නිසා ඇඟ ලස්සන ඇති.

ආපහු ඉන්දියාවට යන්න අදහසක් නැද්ද?

මම කාලයක් ඉන්දියාවෙ නිරූපිකාවක් විදිහට වැඩ කටයුතු කළා. නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ තමයි මට පාරදිගේ ටෙලි නාට්‍යයෙන් ආරාධනා ලැබුණෙ. පාරදිගේ සරණි නිසා දෝරෙ ගලාගෙන යන ආදරයක් ලැබිලා තියනවා. ඒත් එක්කම මට තවත් නිර්මාණවලින් ආරාධනා එනවා. ඉතින් මම හිතනවා ආපහු පිරටක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට වැඩිය ලංකාවෙ මිනිස්සුන්ගෙ ආදරය විඳගෙන අපේ රටේ කලා ක්ෂේත්‍රයේ වැඩ කරන එක හොඳයි කියලා.

වෘත්තීය ජීවිතය පිළිවෙළක් කරගත්තා වගේ පෞද්ගලික ජීවිතයත් පිළිවෙළක් කරගන්න කාලෙ හරි නේද දැන්?

දැන්මම විවාහ වෙන්න මට අදහසක් නැහැ. විවාහ වුණොත් කලා ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න මට ඉඩකඩ මදි වෙයි. ඒ නිසා මම කැමැතියි කලා ක්ෂේත්‍රයේ තුළ තව ස්ථාවර වෙලා ආදරයක් ගැන වගේම විවාහයක් ගැන හිතන්න.

ඒ වුණාට ආදර යෝජනා ඕන තරම් එනවා ඇති නේද?

ආදර යෝජනා නම් ඕන තරම එනවා. හැබැයි ඒ එකක්වත් මට ගැළපෙන්නෙ නැහැ.


මොන වගේ කෙනෙක්වද බලාපොරොත්තු වෙන්නෙ?


මාව තේරුම් අරන් රංගන කටයුතුවලට සහයෝගය දෙන කෙනෙක්ව තමයි පෙම්වතා කරගන්න බලාපොරොත්තු වෙන්නෙ. එහෙම කෙනෙක් හම්බ වුණුදාට ඉස්සෙල්ලාම පිනිපලසට කියන්නම්.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම ශෙනායා වගේ රඟපාන්නේ නැහැ Rating: 5 Reviewed By: webgossip24.com