728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, September 4, 2023

මම හොයන්නෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්


 දෙරණ නාළිකාවේ විකාශය වන 'රාජිනි' ටෙලි නාට්‍යයේ ආදරණීය 'අභී' ගේ චරිතයට මුල සිට ජීවය දුන් හර්ෂි අංජුමාලා පෞද්ගලික හේතුවක් මත විදෙස් ගත වීමත් එක්කම ඒ චරිතය හිමි වුණේ නවක රංගන ශිල්පිනියක් වන තනු රසාංජලීට. කෙනෙක් කරපු චරිතයක් තව කෙනෙක්ට කරන්න ලැබෙනවා කියන්නෙම අභියෝගයක්, ඒ නිසාම පිනිපලස අපි හිතුවා තනු රසාංජලී එක්ක කතා කරන්න.



රාජිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම කියනවා නම් හොඳ සහ නරක ප්‍රතිචාර තියෙනවා. මොකද මම මේ කරන්නෙ තව කෙනෙක් කරපු චරිතයක්නේ. එතකොට කලින් කෙනා විදියට මට කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තවම මම හර්ෂි අක්කා කරපු දේවල් අධ්‍යනය කරමින් ඉදිරියට යනවා. මුලදි තරම් නම් දැන් බනින්නෙ නැහැ. මම ඉතින් ඒ හැමදේම දරාගෙන ඉදිරියට යනවා.

රාජිනි වෙන්න කලින් ඉඳලා රාජිනිගේ රසිකාවියක්ද?

රාජිනි කියන්නෙ වෙනස් කෝණයකින් නිර්මාණය වන වෙනස් කතාවක් කියලා මම දැනන් හිටිය. නමුත් නාට්‍යය බලලා තිබුණේ නැහැ. හැබැයි ඉතින් මට මේ චරිතයට ආරාධනා කරාම මුල ඉඳන් එපිසෝඩ් ටික ආපහු බැලුව.

මොකද හිතුණේ රාජිනි වෙන්න ආරාධනා කළාම...

ඇත්තටම මට කතා කරේ සුදර්ශන බණ්ඩාර සර්. මම මුලින්ම බැහැ කිව්වා. පළවෙනිම දේ ඒක ඒ වෙද්දි කෙනෙක් කරපු චරිතයක්. එහෙම චරිතයක් භාරගන්නවා කියන්නෙ ලොකු අභියෝගයක්. මම මුලින්ම ඒ අභියෝගයට බය වුණා. ඊට පස්සෙ අපේ අම්මා එක්කත් කතා කරලා සර් මාව ස්ක්‍රීන් ටෙස්ට් එකකට ගෙන්නුවා. කමක් නැහැ ස්ක්‍රීන් ටෙස්ට් එකටනේ කියලා හිතලා මමත් ගියා. පස්සෙ දැන ගන්න ලැබුණ මාව සිලෙක්ට් වෙලා කියලා. එතනදි සතුටක් වගේම පොඩි බයක් දැනුණා මට මේක කරන්න පුළුවන්ද කියන එක.

රාජිනි කණ්ඩායමට එකතුවෙද්දි, කොහොමද කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය...

ඇත්තටම රාජිනි කණ්ඩායම ගැන මතක් කරද්දී මුලින්ම මතක් කරන්න ඕනේ නිෂ්පාදක ජානක සර් සහ අධ්‍යක්ෂ තිළිණ අයියා සහ තිර රචනාව කරන අනෝමා මිස්ව. ඒ තුන්දෙනා නැත්නම් අද මම මෙතන නැහැ. උපරිම සහයෝගයක් ලබා දෙනවා. අනෝමා මිස් කියන්නෙ මට මගේ දෙවැනි අම්මා වගේ. තිළිණ අයියා පුදුම විදියට ඉවසනවා. මට තියෙන බයත් එක්ක දෙබස් පවා අමතක වෙනවා. ඒ හැම තැනකම මම ඉවසනවා. ඒ වගේම මට රඟපාන්න ලැබිලා ඉන්න හැමෝම මට මාර විදියට සපෝට් කරනවා. ඇත්තටම මගේ පළවෙනි නාට්‍යය විදියට හොඳම තැනකින් මම මගේ ගමන පටන් ගත්ත කියලා හිතෙනවා.

රාජිනි චරිතය කළ හර්ෂි අංජුමාලා යද්දී මොකක්ද කියලා ගියේ...

හර්ෂි අක්කා කිව්වේ අභී කියන චරිතයට ප්‍රේක්ෂකයන් ආදරේ කරන නිසා ඒ චරිතයට හානියක් කරන්න එපා කියන එක. ලස්සනට ඒ චරිතය ඉදිරියට අරන් එන්න කිව්වා. ඒ වෙනුවෙන් හැමෝම මට උදව් කරයි කියන එක කිව්වා.

රාජිනි වෙන්න කලින් රඟපෑ නාට්‍යය ගැන කිව්වොත්...

මේක මගේ පළමු ටෙලිනාට්‍යය. මම කරලා තියෙන්නේ වේදිකා නාට්‍යය පමණයි. වේදිකාවේ මාව දැකලා තමයි සුදර්ශන සර් මට මේ චරිතයට කතා කරන්නෙ.

තනුශි කොහොමද රංගනයට යොමු වෙන්නෙ...

මම පාසලේදී හය වසරේ පටන් නාට්‍යය හා රංග කලාව කියන විෂය හැදෑරූවා. එතකොට පාසල් වේදිකාවේ නාට්‍යය තරගවලට ඉදිරිපත් වෙලා ඒවා වලින් දිනලා තියෙනවා. උසස් පෙළ කරද්දී මම ගියා චාමික හත්ලහවත්ත සර් ගාවට ඉගෙන ගන්න. සර් තමයි අපිව පොලිෂ් කරලා ගත්තේ. සර් නිසා ප්‍රසිද්ධ වේදිකාවේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. බුද්ධික දමයන්ත සර් එක්ක වේදිකාවේ වැඩ කළා. ඒ විදියට තමයි කලාවට ආවේ.

උපන් ගම, පවුලේ විස්තර කිව්වොත්...

මගේ ගම මහරගම. පවුලේ විස්තර කියනවා නම් මට අවුරුදු 19දී මගේ තාත්තා නැතිවෙනවා. දැන් ඉන්නෙ අම්මා අක්කා සහ මම.

නිළියක් වෙන්න සිහින දැක්ක කෙනෙක්ද?

නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳන්ම සිහින දැක්ක කෙනෙක්. පුංචිම කාලේ මගෙන් ලොකු වෙලා වෙන්න කැමති කවුද කියලා අහන අයට පවා මම කිව්වෙ මම ආසයි රංගන ශිල්පිනියක් වෙන්න කියන එක. ඒ හින්දම තමයි නාට්‍යය හා රංගකලාව හැදෑරුවේ. මම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනින්ම මගේ සිහිනය සැබැ වෙයි කියලා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අද මම මෙතන ඉන්නවා නම් ඒ ඉන්නෙ මගේ අම්මා නිසා. අම්මා එදා කිව්වා නම් ඕකට යන්න එපා කියලා අද මම මෙතන නැහැ. අම්මා හැමතිස්සෙම කිව්වේ ඉන්න ඕනේ විදිය ඔයා දන්නවනේ, ඒ විදියට ඉන්න කියලා.ෂුටින්වලට යද්දී පවා මගේ ළඟින් ඉන්නෙ මගේ අම්මා. මගේ සතුටකදී වගේම දුකකදි අම්මා මගේ ළඟින්ම ඉන්නවා. ඒ වගේම තමා මගේ අක්කා මාරම විදියට මට සහයෝගයක් දෙනවා. මම රඟපෑ පළවෙනි කොටස විකාශය වෙද්දි හැමෝම වගේ බැනලා දාලා තිබ්බෙ. ඒ දේවල් දැක්කම මම මනසින් කඩා වැටුණා. නමුත් ඒ හැම තැනකම මට ශක්තියක් වුණේ අක්කා.

ජීවිතේදි ආදරේ ගැන හිතන්නෙ කොහොමද?

ආදරේ කියන්නෙ සුන්දර දෙයක්. ආදරේ අපි හැමෝටම ඕනේ වෙන පොදු දෙයක්. නමුත් මම ආදරවන්තියක් නෙවේ.

මොන වගේ කෙනෙක් ද හොයන්නෙ,

මම හොයන්නෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. මට ආදරේ කරන මාව ආරක්ෂා කරන මගේ අම්මා අක්කා ඇතුළු පවුලේ හැමෝම එක්ක සුහදව ඉන්න පුළුවන් කෙනෙක්ව. එහෙම කෙනෙක් තාම හම්බුණේ නැහැ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම හොයන්නෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් Rating: 5 Reviewed By: webgossip24.com