728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, September 8, 2023

ලංකාවෙදි පාරද වුණාට ලෝකය දිනුවා


 ටීවී දෙරණ නාළිකාවෙ විකාශය වන ‘හේල්‍යන්’ ටෙලි නාට්‍යය තුළින් කලා ලෝකයට පෑයූ අලුත්ම තාරකාව තමයි නලීෂා බානු කියන්නෙ. වසර කීපයක සිට නිරූපිකාවක් ලෙස කටයුතු කරන නලීෂා ලෝක සංචාරක රූ රැජනක්ද වනවා. නලීෂාගේ විස්තර දැනගන්න අපි ඇයට කතා කළා...

කොහොමද නිරූපණ ශිල්පිනියක් වුණේ?

පාසල් අධ්‍යාපනය අවසන් වුණාට පස්සෙ මම නිරූපණය හදාරමින් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්න පටන්ගත්තා. ඒ අතරතුර මම රූපවාහිනී නාළිකාවල පවත්වපු අවුරුදු කුමාරි තරගවලට සහභාගිවුණා. නමුත් ඒ තරගවලින් මාව තේරුණේ නැහැ. ලංකාවෙ පවත්වපු රූප රාජිනී තරගයකටත් මම සහභාගි වුණා. ඒ තරගයෙනුත් මාව තේරුණේනැහැ. පස්සෙ මම ලෝක සංචාරක රූ රැජන තරගයට අයැදුම් කළා. රටවල් 27ක තරගකාරිනියන් 27ක් එක්ක තරග කරලා ජයග්‍රහණය කරලා එයින් ඉදිරියට ඇවිත් අවසානයේ පිලිපීනයේ තරගකාරියක් සමග අවසාන වටයට තේරුණා. පිලිපීනයේ තරගකාරිනිය පරදවලා 2021 ලෝක සංචාරක රූ රැජන කිරුළ මම හිමිකරගත්තා. ඒ විදිහට ලංකාවෙ තරගවලින් ජයග්‍රහණය කළේ නැති මම උත්සාහයෙන් හැකියාවෙන් ලෝකය ජයගත්තා.

ඔබ ලෝක සංචාරක රූ රැජන විදිහට කිරුළු පැලඳුවා. රාජ්‍ය අංශය ඔබෙන් ප්‍රයෝජනයක් ගත්තද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න?

ලෝක සංචාරක රූ රැජන තරගයට යනකොට මට රාජ්‍ය අංශයෙන් කිසිම අනුග්‍රහයක් සැපයුවෙ නැහැ. චන්දිමාල් ජයසිංහ සහ රුක්මල් සේනානායක සර් තමයි හැ⁣මදේකටම මට උදව්කළේ. තරග ජයග්‍රහණයෙන් මට හිමිවුණ කිරුළ රේගු සහ බදු කටයුතු නිසා ලංකාවට ගෙන්න ගැටලු මතුවෙලා මම ගොඩක් ලොකු අපහසුතාවට ලක්වුණා .එවකට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග හම්බවෙලා ඔහුගේ උදව්වෙන් තමයි කිරුළ ලංකාවට ගෙන්නගත්තෙ. ලෝක සංචාරක රූ රැජන කිරුළ මම ලංකාවට හිමිකරලා දුන්නත් රාජ්‍ය අංශය එච්චර උනන්දුවක් තිබුණෙ නැහැ සංචාරක ප්‍රවර්ධනය සඳහා මාව සම්බන්ධ කරගන්න. වෙනත් රටක නම් ලෝක සංචාරක රූ රැජන වගේ රටට කීර්තියක් අත්කරදුන්න ජයග්‍රාහිකාවක් වටින තැනැත්තියක් විදිහට සලකන්නෙ. නමුත් ලංකාවෙ ඒ වගේ තත්ත්වයක් නැහැ.

ඇයි නිළියක් වෙන්න හිතුවෙ?

නිරූපිකාවක් විදිහට කටයුතු කරන කාලයේ ඉඳලම මට රංගනයට ආරාධනා ආවා. නමුත් මට පූර්ණ කාලීනව නිරූපණ කටයුතු කරන්න ඕන නිසා රංගනයට මම එච්චර උනන්දුවක් දැක්වූයේ නැහැ. හැබැයි මෑතකදි තුෂාර තෙන්නකෝන් සර් හේල්‍යන් ටෙලි නාට්‍යයේ පිටපත මට දීලා රංගනයට ආරාධනා කළා. පිටපත කියවගෙන යද්දි මට හිතුණා හොඳ නිර්මාණයක් කියලා. ඒ වගේම මගේ අම්මා කැමැත්තෙන් හිටියා මම මේ නිර්මාණයට සම්බන්ධ වෙනවට. ඉතින් මේ හැමදෙයක්ම සලකලා මම ආරාධනාව භාරගත්තා.

රඟපාන පළවැනි ටෙලි නාට්‍යයම ටිකක් වෙනස් නිර්මාණයක් නේද?

හේල්‍යන් කියලා කියන්නෙ අතීත පැරණි හෙළයන්ගෙ වර්තමානය ගැන කියවෙන වෙනස් විදිහෙ ටෙලි නාට්‍යයක්. තුෂාර තෙන්නකෝන් තමයි මේ ටෙලි නාට්‍යයේ පිටපත රචනය සහ අධ්‍යක්ෂණය සිදුකරන්නෙ.

කොහොමද රංගන ශිල්පිනියක් විදිහට ලබන අත්දැකීම?

රංගනය කියලා කියන්නෙ නිරූපණය වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. රංගනයෙදි ගොඩක් ලොකු මහන්සියක් කැපකිරීමක් කරන්න ඕන.

නිළියක් වුණ නිසා නිරූපණය අතාරියිද?

මම අද මේ තත්ත්වයෙ ඉන්නෙ නිරූපණය නිසා. ඒ නිසා නිරූපණය කවදාවත් අතාරින්නෙ නැහැ. මගේ බලාපොරොත්තුවක් තියනවා විදෙස් රටකට ගිහින් නිරූපණය ගැන තව වැඩිදුර හදාරලා ආපහු ලංකාවට ඇවිත් නිරූපණය ගැන පාසලක් පටන්ගන්න.

මේ වෙද්දි ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය හොඳ තත්ත්වයක තියනවද?

ෆොටෝ ෂූට් එකක් කරපු පමණින් නිරූපිකාවක් කියලා හිතන් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒ වගේ අයව නිරූපණ ක්ෂේත්‍රයේ වැඩවලට යොදාගන්න අවස්ථා පවා තියනවා. මං හිතනවා මේ දේවල් තමයි ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය ඇදවට්ටන හේතු වෙන්නෙ කියලා. මේ දේවල්වලට විරුද්ධව නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයො එකතුවෙලා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය රැකෙන විදිහෙ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියලා මම හිතනවා.

චන්දිමාල්ගේ උපන් දිනය සාදයට ඇඳපු ඇඳුම් විලාසිතාව හුඟක් කතාබහට ලක්වුණා නේද

ඔව්. ගොඩක් දෙනෙක් කිව්වා චන්දිමාල්ගේ උපන් දින සාදයට ඇඳපු ඇඳුම ලස්සනයි කියලා. ඒ ඇඳුම් විලාසිතාව සැලසුම් කළේ මමයි. මගේ සැලසුමට ඒ ඇඳුම නිර්මාණය කළේ යසංග සිගේරා.

විලාසිතා කරනකොට සරාගීකම ගැන හිතනවද?

හැමෝම කැමැතියි තමන්ව අනිත් අය අත⁣රෙ ආකර්ෂණීය විදිහට බබළනවට. ඉතින් මමත් කැමැතියි සාදවලදි විශේෂ උත්සවවලදි අනිත් අය අතරෙ සරාගී විදිහට කැපිලා පේන්න ඉන්න.

කොහොමද ඇඟේ හැඩය ලස්සන තියාගෙන ඉන්නෙ?

මගේ ඇඟ ස්වාභාවිකවම කෙට්ටු විදිහෙ ඇඟක්. කොච්චර කෑම කෑවත් මහත් වෙන්නෙ නැහැ. ජිම් යන්නෙත් ගොඩක් අඩුවෙන්. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ලංකාවෙදි පාරද වුණාට ලෝකය දිනුවා Rating: 5 Reviewed By: webgossip24.com