728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, October 4, 2023

කට කතා වලින් වුනේ තවත් ජනප්‍රිය වුන එක - සජිනි


 සිත නිදි නෑ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන සජිනි රෝයි කියන්නෙ මේ දවස්වල කා අතරත් කතාබහට ලක්වෙලා ඉන්න ජනප්‍රිය නිළියක්. ඇයගේ අලුත් විස්තර දැනගන්න අපි හිතුවා සජිනි එක්ක කතා කරන්න.

ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා නේද ?

ඔව්. මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුද්දක් විතර වෙනවා. මේ වෙද්දි දිවිතුරා, සිදාදියේ සමනලියො කියන ටෙලිනාට්‍යවල කැපීපෙනෙන විදිහෙ චරිතවල රඟපාන්න ලැබුණා. ඒ වගේම මම ප්‍රධාන චරිතය රඟපාන සිත නිදි නෑ ටෙලිනාට්‍යය මේ දවස්වල ටී.වී. දෙරණ නාළිකාවෙ විකාශය වෙනවා. සිනමාවටත් මට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන සූරිය සුළඟ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයක් රඟපානවා. ඉතින් ඇත්තටම කෙටි කාලයක් ඇතුළත නිර්මාණ ගොඩක රඟපාන්න අවස්ථාව ලැබුණා වගේම ලොකු ප්‍රේක්ෂක ආදරයකුත් මට හම්බ වුණා.

නිළියක් වෙන හීනය පුංචි කාලෙ ඉඳලා තිබුණද?

පුංචි කාලෙදි මට තිබුණ හීනය තමයි කවදාහරි ගුවන් සේවිකාවක් වෙන එක. ඒ හීනයට අවශ්‍ය ඉගෙනගැනීම් කටයුතු කරලා සුදුසුකමුත් සපුරගෙන තිබුණා. හැබැයි මට රඟපාන්න හැකියාවකුත් තිබුණා. ඉතින් ඒ රංගන හැකියාව නිසා ගුවන් සේවිකාවක් වෙන හීනයට තිත තියන්න වුණා.

දෙමව්පියෝ කැමැති වුණාද නිළියක් වෙනවට?

මටත් වැඩිය මගේ අම්මයි තාත්තයි කැමැතියි මම රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යනවට. එයාලා තමයි කලාවට මාව යොමු කළේ.

තාමත් ගුවන් සේවිකාවක් වෙන හීනය තියනවද?

මේ වෙද්දි රංගනය මගේ වෘත්තීය කරගෙන තියෙන්නෙ. හොඳ නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා වගේම රසිකයො පිරිසක් මං වටා මේ වෙලාවේ එකතු වෙමින් ඉන්නවා. ඉතින් රංගනය පැත්තෙන් ඉදිරියට ගියොත් මට හොඳ අනාගතයක් තියනවා කියලා හිතන නිසා ගුවන් සේවිකාවක් වෙන හීනය මම අමතක කරලා දැම්මා.

අලුත්ම නිර්මාණය සිත නිදි නෑ ගැන කියමුද?

සිත නිදි නෑ කියන්නෙ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන වෙනස්ම විදිහෙ ටෙලිනාට්‍යයක්. සිත නිදි නෑවල මම රඟපාන්නෙ දඟකාර ගෑනු ළමයකුගේ චරිතයක්. හරියටම කිව්වොත් අඬාවැලපීම් නැති ලස්සන ආදර කතාවක් තමයි සිත නිදි නෑ කියන්නෙ.

සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද ?

රඟපාපු ටෙලිනාට්‍යයවල මට හම්බවුණ චරිතවල තියන ලක්ෂණ ⁣ඔක්කොම කලවම් වෙලා තියන කෙනෙක් තමයි ඇත්ත සජිනි කියන්නෙ. ඒ කියන්නෙ ටිකක් නපුරු කරුණාවන්ත දඟකාර කෙළිලොල් කෙල්ලෙක් කියලා කිව්වොත් හරි.

මේ දවස්වල රේවතී හුඟක් ජනප්‍රියයි නේද?

සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ රේවතීගේ චරිතයට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දිවිතුරා ටෙලිනාට්‍යයේ අචිනිට රසිකයො බැන්නට රේවතීව ආදරයෙන් වැලඳගත්තා. රේවතී මගේ සැබෑ ජීවිතයට සමීප නිසා රසිකයො වගේම මමත් ගොඩක් කැමැති චරිතයක් තමයි රේවතී කියන්නෙ.

දෙමළ පුළුවන් වුණේ කොහොමද?

මම සිංහල කතෝලික ගෑනු ළමයෙක්. හැබැයි මම හැදුණෙ වැඩුණෙ දෙමළ මිනිස්සු ගොඩක් ඉන්න කොටහේන ප්‍රදේශයේ. දෙමළ යාළුවො මට ගොඩක් ඉන්නවා. ඒ ආභාසයත් එක්ක දෙමළ කතා කරන්න ලියන්න මට වතුර වගේ පුළුවන්.

මීට වැඩිය දෙමළ භාෂාවෙන් වැඩක් ගන්න අදහසක් නැද්ද?

මම කැමැතියි කවදාහරි දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටයක රඟපාන්න. මගේ හැකියාව තව දියුණු කරගෙන දකුණු ඉන්දියානු දෙමළ සිනමාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියනවා.

ඇඳුම් පැලඳුම්වලදිත් වැඩිපුර දෙමළ විලාසිතාවලට මුල් තැනක් දෙනවද?

ඔව් මම වැඩිපුර කැමැති සල්වාරි, සාරි, ගවුම් වගේ දෙමළ පෙනුම තියන දිග ඇඳුම් විලාසිතා කරන්න. හැබැයි ඉතින් රඟපානකොට නම් චරිතවලට ඕන විදිහට කොට ඇඳුම් මම අඳිනවා.

නිළියක් විදිහට කටයුතු කරනකොට කටකතා හැදෙන එක ගැන මොකද හිතන්නෙ?

කටකතාවලින් වෙන්නෙ අපිව තව ජනප්‍රිය වෙන එක. ඒ නිසා කටකතා හැදෙනවට මම කැමැතියි. අනිත් එක නිළියක් වුණහම කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්.

සරාගිනියක් කියන එකත් ඒ විදිහට හැදුණ කටකතාවක්ද?

සමාජ මාධ්‍යවල සමහරු කියනවා මට තියෙන්නෙ සරාගී සිරුරක් කියලා. ඇත්තටම සරාගීකම කියන්නෙ ලස්සන කලාවක්. හැබැයි මට තාම මාව සරාගී කියලා දැනිලා නැහැ. ක්ෂේත්‍රයේ මට වැඩිය ඕන තරම් සරාගී නළුනිළියො ඉන්නවා.

ජනප්‍රිය නිසා පිරිමි ළමයින්ගෙන් ආදර යෝජනා එනවා ඇති නේද?

අම්මෝ ⁣යෝජනා නම් ඕන තරම් ඕන තරම් එනවා. හැබැයි මම ඒ එකක්වත් භාරගන්නෙ නැහැ.


ආදරවන්තියක් වෙන්න කැමැති නැත්තෙ ඇයි?


මම ඉස්සෙල්ලාම කැමැතියි රංගන ක්ෂේත්‍රයේ නිළියක් විදිහට ඉස්සරහට ගිහින් ස්ථාවරය හදාගන්න. ඊටපස්සෙ ඉතින් ආදරය ගැන හිතන්න පුළුවන්.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කට කතා වලින් වුනේ තවත් ජනප්‍රිය වුන එක - සජිනි Rating: 5 Reviewed By: webgossip24.com