ඔන්න ගත්තා මෙන්න ගත්තා – සුබ ආරංචියක් මෙන්න – කැණීම් කරපු ළිං 4න් 3කම ගෑස් හා තෙල් හමුවුණා – අමාත්‍ය ගම්මන්පිල

මෙතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.ඒ අනුව, මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශණය කිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ පනත් කෙටුම්පත එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව ඔහු පැවසීය.

එම පනත් කෙටුම්පත පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) අනාවරණය කළේය.”2020 සැප්තැම්බර් මාසේ කිව්වා මගේ ධූර කාලය ඇතුළත ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව ගෑස් හෝ තෙල් නිපදවන රටවල් අතරට එකතු කරනවා කියලා. ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයේ පනත අනුමත කරලා ලබන මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. අපි මේ හදාගත්තු පනත ලෝකයේ ප්‍රබල සමාගම්වලටත් යැවුවා. ඒ අයගේ අදහස් බලන්න. ඒ අයගෙත් අදහස් අරගෙන වැඩි දියුණු කරලා තමයි මේ පනත හදා ගත්තේ. මෙතෙක් කල් දැවැන්ත ආයෝජකයෝ නොපැමිණීමට හේතු ටික නැති කරන පනතක් තමයි ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.”

එම පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යංශ උපදේශක සාලිය වික්‍රමසූරිය මහතා පැවසූවේ, “රජයට මේක කොහොමත් සම්පූර්ණයෙන් අයිතියි. හැම ගෑස් හා තෙල් බිංදුවක්ම රජයට අයිතියි. අයිති වුණාට කාගෙහරි හරහා තමයි ඕක නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ගවේෂණ මට්ටමේ ළිං 11ක් තියෙනවා.”

ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ ඉතිහාසය

1960 දශකයේදී ඉන්දියාව පළමුවෙන් තෙල් කැණීම් කටයුතු ආරම්භ කළේය.ඒ අනුව මෙරට ද ඒ ක්ෂේත්‍රය ගැන උනන්දු විය. 1963 වසරේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව “තෙල් ගවේෂණ ඒකකය” නම් වෙනම ඒකකයක් තෙල් ගවේෂණ කටයුතු සඳහා ඇරඹීය.

අනතුරුව රුසියාව සහ ප්‍රංශය වැනි රටවල් සමග සම්බන්ධ වී තෙල් සෙවීමේ කාර්යයට ශ්‍රී ලංකාව අතගසා තිබේ.ඒ අනුව විශේෂයෙන් සෝවියට් රුසියානු සහාය ඇතිව මන්නාරම් ද්‍රෝණියේ සහ කාවේරි ද්‍රෝණියේ භූ දත්ත රැස්කිරීම සිදුවිය.

විශේෂයෙන් ම පේසාලේ ආසන්නයේ සිදුකළ කැණීම් අනුව ගෑස් ඇති බවට එම සමාගම් පැවසීය.මෙරට ගෑස් සහ ඛනිජ තෙල් සෙවීමේ කටයුතු 1976 දක්වා සිදුකෙරිණි.ඉන් පසුවද මෙරට ගෑස් සහ ඛනිජ තෙල් සෙවීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රයත්න ගත්ත ද එය සාර්ථක නොවිණි.

නැවතත් එම විෂය ගැන රජයේ අවධානය යොමුවන්නේ 2008 වසරේදී ය. එහිදී “කේයර්න් ඉන්දියා” සමාගම සමග ගිවිසුමකට එළඹීමට රජය කටයුතු කළේය.නැවතත් කැණීම් කටයුතු අරඹා කෙටිකලකින් මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ස්ථාන දෙකක ස්වභාවික ගෑස් හමුවූ බව කෙයාර්න් සමාගම නිවේදනය කළේ මෙරට ජනතාව තුළ බලාපොරොත්තු ඇතිකරමිනි.

නමුත් එම සමාගම 2015 දී කැණීම් කටයුතුවලින් ඉවත් විය.අමාත්‍ය ගම්මන්පිල පවසන්නේ “මෙරට තුළ වර්ධනය වූ ඉන්දීය විරෝධය” හේතුවෙන් කෙයාර්න් සමාගම ඉවත්වූ බවය.ලෝකයේ මෙම ක්ෂේත්‍රයේ දැවැන්තයින් මෙරට ට නොපැමිණීමට හේතුවක් තිබුණි. ඒ ඔවුන්ගේ ආයෝජන සුරක්ෂිත කෙරෙන පැහැදිලි නීති රාමුවක් මෙරට නොතිබීමය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ නව පනතෙන් එම අඩුපාඩුව ට පිළිතුරු සපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බවය.නව පනත යටතේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය පිහිටුවන අතර එහි දී තීරණ ගැනීම ක්‍රමවත් වෙනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එම අධිකාරියට පත්කෙරෙන විෂය ප්‍රවීණයින් වන අධ්‍යක්ෂවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය යුතුය.මේ අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම මහතා පැවසුවේ ආයෝජකයින් බලාපොරොත්තු වන්නේ එවැනි විනිවිදභාවයක් බවය.

“නැත්නම් ඇමතිවරයා, ආණ්ඩුව හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාරුවුණොත් ගහපු ගිවිසුම් සාකච්ඡා කඩා වැටෙන්න පුළුවන්. නමුත් මෙම අධිකාරිය හරහා අපි ආයෝජකයින්ට විශ්වාසය ඇතිකරනවා.ආයෝජකයෙක් යම් ආයෝජනයක් සඳහා ඉදිරිපත් වන්නේ හොඳ ප්‍රතිපත්ති රාමුවක් තිබීම, නියාමන සාර්ථක වීම සහ තරඟකාරී වාතාවරණයක් යටතේ මෙහෙයුම් කිරීමට ඇති හැකියාව යන සාධක මතය.

මෙම පනත මගින් එම අවශ්‍යතා සම්පූර්ණ වෙතැයි අනුමාන කෙරේ.මෙතෙක් ශ්‍රී ලංකාව අවට තෙල් ගවේෂණ සිදුකළ ළිං 11ක් පමණ තිබේ. ඉන් 4ක් මෑතකදී පර්යේෂණ සිදුකළ ස්ථාන වන අතර අනෙක් 08 1970/80 වසරවල කැණීම කළ ස්ථාන වේ.සාමාන්‍යයෙන් තෙල් ගවේෂණය සඳහා මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 3ක් පමණ ගැඹුරට කැණීම් කළ යුතුය. ඒ සඳහා අධික වියදමක් වැයවන අතර අධි තාක්ෂණ මෙවලම්ද අවශ්‍ය වේ.

Next Post

ඉතාලියෙන් විනිසුරු තරඟ විභාග සමත්ව බොක්සින් වළල්ලට පැමිණි ආසියාවේ එකම කාන්තාව - ජායාරූප

Mon Jul 19 , 2021
ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.ඇය ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනියයි.ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේද මෙය රන් අකුරින් සටහන් වනු ඇති ඒ අනුව 2021 […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News