රු. 5000 බැංකු ණයෙන් වී මිටි 100ක් ගෙන ව්‍යාපාර අරඹා කෝටි 11කට හෙලිකොප්ටරයක් මිලදී ගත් ව්‍යාපාරිකයා

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇත

.මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර ඇති එම යානය සඳහා ඉංජිනේරුවරයකු හා ගුවන් නියමුවෙකුද ඔහු විසින් සේවයට යොදවාගෙන ඇති බවද සඳහන්ය.මෙම හෙළිකොප්ටරය මගින් විවාහ උත්සව ප්‍රවාහන පහසුකම්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් පහසුකම්, පුද්ගලික ගමන්. භාණ්ඩ ප්‍රවාහන හා විනෝද චාරිකාද සපයනු ලබයි.

ඔහු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකි. කොත්මලේ සිට 1956දී පොළොන්නරුව පුලස්තිගම් පියසට පැමිණි එල්. එලියස් සහ එම්.පී. ලොකු මැණිකේ යන මවුපිය දෙපළට දාව දරුවන් දස දෙනකු මෙලොවට ජනිත විය. ඒ පවුලේ බඩපිස්සා වන්නේ 1961 වර්ෂයේදී උපත ලබන ලංකේශ්වරගේ මිත්‍රපාලය. මවුපියන් විසින් ගොවිතැනින් ජීවිකාව සරිකර ගත්තද 1970දී වර්ෂයේ පවුලට අමතර ආදායම උපයා ගැනීමට ව්‍යාපාරයක් පියා විසින්ම ආරම්භ කළේය.

පවුලේ බාලයා වූ තරුණ ලංකේශ්වරගේ මිත්‍රපාල පියාගේද හොඳ මිත්‍රයකු බවට පත් වෙමින් පවුලේ අනාගතය ගොඩනැඟීමට ඇරැඹූ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේ බොහෝ ළෙන්ගතුකමිනි.

කාලය සෙමින් ගලා යමින් තිබියදී පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ පියාගෙන් ලද ආභාසය අත්වැලක් කර ගනිමින් තරුණ ජවයට අරුතක් එක් කරමින් හාපුරා කියා 1978 වර්ෂයේ වී මිලදී ගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ඇරැඹීය. පුලතිසිපුර ගොවියන්ගේ මිත්‍රයෙක් බවට පත්වෙන ලංකේශ්වර මිත්‍රපාල 1982දී වී මිටි 10කින් සහ සේවකයන් දෙදෙනකු සමඟ පාපැදිය ප්‍රවාහන රථයක් ලෙස තමන් සතු කර ගනිමින් ‘රත්න සහල්’ නමැති ළදරුවා බිහි කරයි.

ඒ ව්‍යාපාර ලොව ජය ගැනීමේ සිහිනයෙන් නම් නොවේ. පඩියෙන් පඩිය ඉදිරියට තබමින් 1985 වර්ෂයේදී වී මිටි 250කින් සේවකයන් 20ක් කුඩා ලොරි රථයකින් සන්නද්ධ වන ‘රත්න සහල්’ ඒ වන විට මාතලේ සහ මහනුවර ප්‍රදේශවලට සහල් බෙදාහැරීමේ අභියෝගයද භාරගෙන තිබිණි.

2013 වන විට ගමේ බොහෝ පිරිසකට රැකියා ලබාදීමට මිත්‍රපාල නම් වූ ව්‍යාපාරිකයාට හැකිවිය. ඒ නිසාම පුලස්තිගම ගම්මානයේ බාල මහලු කාගේත් මිත්‍රයා බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය.

මේ වන විට රට පුරා පිහිටි ගම්දනව්වල ජනී ජනයාගේ නිවෙස්වල ළිප මත ඉදෙන සහල ‘රත්න සහල්’ බවට පත්ව තිබිණි. පුලස්තිගමින් ආරම්භ කළ සහල් ව්‍යාපාරය ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම නිසා නවීන යන්ත්‍ර සූත්‍ර යොදවා තම ව්‍යාපාරය පුළුල් කිරීමට මිත්‍රපාල මහතාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

තමන්ගේ සහල් ව්‍යාපාරයට ස්ථාන කිහිපයකම ඉල්ලුම පැවැතියද ඊට අදාළව සැපයුම ලබාදිය නොහැකි වීමත් සමඟ තම සියලු ව්‍යාපාර එකම ස්ථානයකට කේන්ද්‍ර ගත කොට ගැනීමට මිත්‍රපාල මහතාට සිදුවිය.

අති නවීන යන්ත්‍ර සූත්‍රද සහිතව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ඉදි වූ ‘රත්න සහල් නිෂ්පාදන ව්‍යාපාරය’ ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ විශාලතම සහල් මෝල ලෙස ඉතිහාසයට එක් වී අවසන්ය. මේ මෝල් සංකීර්ණය වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ ඉදි වීමත් සමඟ වැලිකන්ද පුලස්තිගම පමණක් නොව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ජනතාවට රැකියා අවස්ථාවන් උත්පාදනය විය.

විරැකියාවෙන් පීඩිතව සිටි ජනතාව මත නව අරුණැල්ලක් පතිත වූ බව පවසනුයේ එම ගම්මානවල ජීවත් වන ගම්වාසීන්මය.මේ වන විට සහල් ව්‍යාපාරය පමණක් නොව ලෝකයේ තාක්‍ෂණයත් සමඟ මුසු වෙමින් තම සහල් නිෂ්පාදනයට අවශ්‍ය පොලිතීන් කවර නිෂ්පාදන කම්හලක් සහ මාර්ග සංවර්ධනයට අවශ්‍ය බිම් ගල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද ආරම්භ කර රට පුරා පොලිතීන් කවර සහ බිම්ගල් බෙදාහැරීම සිදු කෙරේ.

තම කර්මාන්තශාලාවෙන් පිටවන අපවිත්‍ර ජලය පරිසරයට මුදාහැරීම නුසුදුසු බැවින් එම ජලයද පිරිසුදු කර නව පරිසර හිතකාමී ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. අක්කර 200ක පමණ භූමි භාගයක් පුරා ‘ටොම්’ ඒ ජර්සි’ නමැති අඹ වර්ගය වගා කර ඇත.

ඉතාම කුඩාවට ආරම්භ කරන ලද රත්න සහල් නම් ව්‍යාපාරය ලෝකය ජයගෙන ඉහළම ස්ථානයක සිටින එහි අධිපති ලංකේශ්වරගේ මිත්‍රපාල ව්‍යාපාර ලෝකයේ දිගු ගමනක රහස පිළිබඳව පැවැසුවේ මෙවැන්නකි.

කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය ලෝකයේ ඉහළටම රැගෙන යන්න මට උදව් කළ රට පුරා සිටින මගේ හිතවත් සහල් පාරිභෝගික ජනතාවට හද පිරි ප්‍රණාමය පුදකර සිටිනවා. දෙවනුව මාගේ බිරිය වන මානෙල් දීපානී ඇතුළු අප ව්‍යාපාරයේ සියලුම සේවක මඬුල්ලට මාගේ ස්තුතිය පිරිනමනවා. ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේ තරම් දුර ගමනක් එන්න.

මාගේ අරමුණ වෙලා තිබුණේ පවුල ජීවත් කරවීමට ආදායම් මාර්ගයක් සකසා ගැනීම පමණයි. නමුත් මා කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය දවසින් දවස ඉදිරියට යන ගමනේදී මට හිතුණා මගේ පවුල විතරක් නෙවේ ගමේ අයටත් ජීවත් වෙන්න උදවු කරන්න මට හැකියාවක් තිබෙනවා කියලා.

ඒකෙ ප්‍රතිඵලයක් ලෙස මගේ සියලුම කර්මාන්තශාලාවල සේවය කරන්නේ පොළොන්නරුවේ ජනතාව. මගේ දියුණුවත් සමඟ ගමටත් රටටත් යුතුකමක් ඉටුවිය යුතු නිසා ගමේ ජනතාවට රැකියා ලබා දෙමින් පිටරටින් ගෙන්විය යුතු දේ පොළොන්නරුවේම නිෂ්පාදනය කිරීමට මම තීරණය කළේ ඒ නිසායි.

මම 1978දී වී මිටි දහයකින් ආරම්භ කළ ව්‍යාපාරයේ එදා මෙදා කාලය තුළ මට සහ මාගේ ව්‍යාපාරයට ආපු සෑම අභියෝගයක්ම ආශීර්වාදයක් ලෙස භාරගෙනයි කටයුතු කළේ. ඒ නිසා තමයි මට අද ව්‍යාපාර ලෝකය ජයගන්න පුළුවන් වුණේ.

පුලස්තිගමින් වැලිකන්ද සිංහපුරට ආවාට පස්සේ මම මුලින්ම වැවක් හැදුවා. වතුර නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඒ වැවේ වතුර අක්කර අඩි පහළොස් දාහක් විසිදාහක් විතර කිසිදු නියඟයකට හිදෙන්නේ නැති වෙන විදියට වතුර රඳවාගන්න පුළුවන්.

ඉන් පස්සේ තමයි කර්මාන්ත ශාලාව ගොඩනැඟුවේ. වසර දෙකක් විතර කරගෙන යනකොට සහල් මෝලෙන් ඉවත් වන අපවිත්‍ර වතුර ටික අපතේ යනවා මට බලන් ඉන්න බැරුව ගියා. ඒකට මොකද කරන්නේ කියලා මම කල්පනා කරනකොට මට හිතුණා ඒ වතුර ටික පිරිසුදු කරලා ඒ වතුරෙන් වගාවක් කරන්න පුළුවන් කියලා.

ඒ අනුව මෝලෙන් පිට කරන අපවිත්‍ර වතුර ටික පිරිසුදු කරලා වැඩක් ආරම්භ කළා. අක්කර විස්සක ‘ටොම් ඒ ජර්සි’ කියන අඹ වර්ගය හැදුවා. මේ වගාව නිසා සිංහපුර වැනි දුෂ්කර ගම්මානයකට විශාල අස්වැසිල්ලක් වුණා. අවට පරිසරය නිකන් කොළ පාට වෙලා කූල් වෙලා තියෙනවා.

මේ වගාවෙන් මට ආදායමකුත් ලැබෙනවා. ඒ වාගේම පරිසර පද්ධතියට විශාල සේවයක් වෙනවා. මේ ගොවිපළෙත් විශාල පිරිසකට රැකියා ලබාදී තිබෙනවා. ඉල්ලුමේ හැටියට සැපයුම සූදානම් කරන විට අපට අවශ්‍ය කවර ලබා ගැනීමේදී යම් යම් ගැටලු ඇති වුණා. ප්‍රශ්න එන තරමට මං විසඳුම් සොයා ගන්නවා. මම ඉන්දියාවට ගියා බෑග් නිෂ්පාදන ආයතනයක් බලන්න.

ඊට පස්සේ මාගේ සේවක පිරිසක් ඉන්දියාවට යවලා එම ආයතනයේ පුහුණුව ලබාදීලා එම ආයතනයෙන්ම යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන සිංහපුර බෑග් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් විවෘත කළා. ඒක විවෘත කරන්න මම ආරාධනා කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තමයි. 2017 ජූලි මාසේ විවෘත කළ බෑග් කර්මාන්ත ශාලාවේ මේ වන විට බෑග් වර්ග 10ක් විතර නිෂ්පාදනය කරනවා. එයත් රට පුරා බෙදාහැරීම සිදු කරනවා.

මාර්ග සඳහා අතුරන බිම්ගල් නිෂ්පාදනයත් සංචාරක කර්මාන්තයටත් මේ වන විට මා ප්‍රවේශ වෙලා ඉන්නේ. මේ මාගේ සියලු ව්‍යාපාර හේතුවෙන් මට සහයෝගය ලබා දෙනවා සේම පුද්ගලයන් දහසකට ආසන්න පිරිසක් පවුල් වශයෙන් ගත්තත් පවුල් දහසක පමණ පිරිසක් යැපෙනවා. ඒ විතරක් නොවේ එම සේවකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී තිබෙනවා.

ඒ වාගේම ඒ අයගේ සුබසාධන කටයුතු, නිවාස, මංගල, අවමංගල, රෝගී තත්ත්වයන්, හදිසි අනතුරු සහ ඔවුන්ගේ සියලු අවශ්‍යතා සඳහා මාගේ ආයතනය විසින් ණය සේවා ලබාදෙමින් ඔවුන්වත් නඟාසිටුවීම සිදු කරනවා. ඇතැමෙක් සිතන්නට පුළුවන් කොහොමද මේ දියුණුව ළඟා කර ගත්තේ කියලා. මට වී ගබඩා කරන්න මුලින්ම බැංකුවකින් දුන්නේ රුපියල් පනස්දාහක්. එතකොට වී කිලෝ එකක මිල රුපියල් 2.90වයි. මම ඒ මුදල් ඒ වැඩේට විතරයි ගත්තේ.

ගබඩාවෙන් වී කිලෝ සීයක් ගන්න අවශ්‍ය වෙද්දී ඒ මුදල මම බැංකුවට දුන්නාම බැංකුවෙන් ඇවිත් ගබඩාව ඇරලා මට වී ටික අරන් දීලා යතුරත් අරන් යනවා. කාලයක් ගියාට පස්සේ බැංකුවට මා කෙරෙහි විශ්වාසයක් ඇති වුණා. පස්සේ ගබඩා කරපු වී තිබුණු ගබඩාවේ යතුර මටම දීලා ගියා. මං මේක කීවේ ව්‍යාපාරයක් කරනකොට මුලින්ම විශ්වාසය ඇති කර ගන්න වුවමනායි. නිසි කළමනාකරණයක් තිබිය යුතුයි. ලොකුපොඩි ඕනෑම ප්‍රශ්නයකදී පස්සට යන්න හොඳ නෑ.

මූල්‍ය ආයතන සමඟ දැඩි විශ්වසනීය බවක් ඇති කරගත යුතුයි. සේවකයන් ගම්වැසියන්, රට වැසියන් පිළිබඳ ආදරයක් සහ විශ්වාසයක් තබාගත යුතුයි. මේ කරුණු නිසි ලෙස අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයකු දියුණු වෙනවා.

මේ නිසා මාගේ ව්‍යාපාර තවත් පුළුල් වෙලා. විශාල සේවක සංඛ්‍යාවක් සිටිනවා. රට පුරා ධාවනය වන රථවාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ සියල්ල මාගේ අල්ලට ගැනීමට මට දැන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ දේ කරන්න පුළුවන් වුණේ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ කීවොත් මං හරි.

Next Post

විදෙස් රටවලින් වාහන ගෙන්වීම වෙනුවට කරපු සුපිරි වැඩේ - ජායාරූප

Thu Jun 17 , 2021
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News