ස්වීඩනයේ හිටපු නගරාධිපතිතුමිය දැන් කුණු ලොරියේ රියැදුරු වුනු කතාව

නගරාධිපති යනු නගරයක සිටින ප්‍රධාන පුරවැසියාය. ජනපති, අගමැති, මැති ඇමැතිවරු ඒ නගරයේ පදිංචිව සිටියත් නගරයේ පළමු පුරවැසියා වන්නේ නගරාධිපතිවරයාය.

කොළඹ නගරාධිපති තනතුරට එදා සිටම පත්වූයේ දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයන්ය. ඒ නගරාධිපතිවරු බොහෝ දෙනෙක් ඉන් ඉදිරියටම ගියා මිස ඉන් පහළට ගියේ නැත.

කොළඹ නගරාධිපති ඔටුන්න ත්‍රීවීලර් රියැදුරකුගේ හිසටද වැටුණු අවස්ථාවක් වෙයි. ඒ 2006 වසරේදීය. එජාපයෙන් ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමෙන් සිදුවූ දේශපාලන අත්වැරැද්ද නිසා ඇස් කණ්ණාඩිය සලකුණෙන් ස්වාධීනව ඉල්ලූ කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය. එහිදී ඡන්ද 32,000ක් ගත් එම කණ්ඩායමේ නායකයා වූ උවයිස් මොහොමඩ් ඉමිතියාස් නමැති ත්‍රීවීල් රියැදුරා කොළඹ නගරාධිපති ධුරයට පත්වූයේ කොළඹ නගර සභා ඉතිහාසයට නව පිටුවක් පෙරළමිනි.නගරාධිපති ලෙස පත්වූ බව සැලවීමෙන් ඔහු දින කිහිපයක්ම බිය නිසා සැඟවී සිටි බව ඔහු පසුව පවසා තිබිණි.

2006-2009 දක්වා කොළඹ නගරාධිපති ධුරය දැරූ ඉමිතියාස් සිය කාලය අවසන් වීමෙන් පසු යළිත් ගියේ ත්‍රීවීල් රැකියාවටය. ඔහු දැන් කොළඹින් පිට පදිංචිව ත්‍රීවීලර් රැකියාව කරගෙන අපහසුතා මැද ජීවත් වෙයි.

මේ අතර තම පළාතේ කුණු එකතු කරන ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ගැනද පසුගියදා හපුතලේ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. එම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ නගර පිරිසිදු කරන කම්කරුවන්ට කොවිඩ් වැලඳී සේවයට නොපැමිණීම නිසා දින ගණනාවක්ම එකතු වූ කුණුවලින් නගර ගඳ ගසන්නට වූ තැන හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා කුණු ලොරිය ගෙන නගරයේ කුණු අදින රස්සාවට බැස්සේය.

මේ සියල්ල අපිට මතක් වූයේ නගරාධිපතිනි ධුරය දරා පසුව එම නගර සභාවේම කසළ ලොරියේ රියැදුරු ලෙස රැකියාව කරන තැනැත්තියක් ගැන ඇසීමෙන් පසුවය. ඇය 2016 සිට 2018 තෙක් ස්වීඩනයේ ගුතෙන්බර්ග් නගරයේ නගරාධිපති ධුරය දැරූ (Ann Sofie Hermanson) ඈන් සොෆි හර්මන්සන්ය’ ගුතෙන්බර්ග් යනු ස්වීඩනයේ දෙවැනි විශාලතම නගරයයි. එහි ලක්ෂ පහකට වැඩි ජනගහනයක් වෙසෙති. නගරය ඇත්තේ Gotaalv නමැති ගංගාව ආසන්නයෙහිය. එහි ඉපැරණි වරායක්ද ඇත. වර්ග කිලෝමීටර් 447.8ක් පමණ නගරය විශාලය. ගුතෙන්බර්ග් නගරය ආරම්භ වී ඇත්තේ 1621දීය.

ඈන් සොෆි උපාධිධාරිනියකි. ඇය දේශපාලනයට පිවිසියේ ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. ඇය වයස 19දී ලෝක කම්කරු සංගමයේ සාමාජිකත්වයද දැරීය. එසේම එරටේ වෘත්තීය සමිති සම්මේලනයේද ඇය නිලතල ඉසිලුවාය. මේ අතර ස්වීඩනයේ ස්ටොක්හෝල්ම්හි අමාත්‍ය උපදේශකවරියක් ලෙසද ඇය කලක් කටයුතු කළ අතර, ඒ සෑම අවස්ථාවකම මහජන සබඳතා ඇය උපරිම ලෙස පවත්වා ගත්තාය.

මේ අන්දමින් සමාජ ක්‍රියාකාරිනියක වූ ඇය ගුනෙත්බර්ග්හි නගරාධිපතිනිය ලෙස පත්වූයේ 2016දීය. වසර දෙකක් ඇය නගරාධිපතිනිය ලෙස සේවය කළාය.සිය සේවා කාලය තුළදී ඇය නගරවාසීන්ගේ සේවා සැපයීමට උපරිම ලෙස කැපවූවාය. නගරය පිරිසුදුව තබාගැනීමටත්, එය සංවර්ධනය කිරීමටත් ඇය මුල්තැන දුන්නාය.

ඈන් සොෆිගේ සේවා කාලය 2018දී අවසන් විය. එතැන් සිට ඇයට ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට සිදුවිය. ඇය ජීවත් වූයේ කුලී නිවසකය. නිවසේ කුලිය ඇතුළු දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට රැකියාවකට යොමුවීමට සොෆි තීරණය කළාය. ඒ නිසා ඇය තමන්ට කළ හැකි රැකියා ගැන සොයා බැලුවාය. ඒ සඳහා ඇය මුලින්ම කළේ බර වාහන රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමය.

ඒත් ඇයට රැකියාවක් සොයා ගැනීම දුෂ්කර කාර්යක් විය. තමන් නගරාධිපති ධුරය දැරූ නගරයේම කුණු ලොරියේ රියැදුරු තනතුර පුරප්පාඩු වී තිබෙන බවට ඇයට දැනගන්නට ලැබෙන්නේ මේ අතරතුරේදීය. ඒ අනුව ඇය ඊට විදිමත් පරිදි අයැදුම් පතක් ඉදිරිපත් කළාය. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූවාය. ඉන් සමත් වූ ඈන් සොෆි හිටපු නගරාධිපතිනියට තමන් නගරාධිපති ධුරය දැරූ නගර සභාවේ ම කුණු ලොරියේ රියැදුරු රැකියාවක් ලැබුණේය.

“මම නගරාධිපති කාලේ ආතතියෙන් වැඩ කළේ. දැන් මම කුණු ලොරියේ රියැදුරු ලෙස හරිම සැහැල්ලුවෙන් වැඩ කරන්නේ” වරක් ඈන් සොෆි පවසා තිබුණාය.

උසස් තනතුරු දැරූ ඇය ඊළඟට පිවිසෙන්නේ විවේකයෙන් ගත කළ හැකි රැකියාවකටය. ලංකාවේ විශ්‍රාම යන බොහෝ මැති ඇමැතිවරු විවේක කාලය ගත කළේ විදේශ රටවල තානාපතිවරුන් ලෙසය. එලෙස පත්වීම් ලබන බොහෝ අයගෙන් රටට සිදුවන සේවාවක් නොමැත. ඔවුන් කරන්නේ පවුලේ අය සමග රටේ මහජන මුදලින් සුවසේ සැප විඳීමය.

නමුත් බටහිර රටවල ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එම රටවල ඇමැති ධුර දැරූ බොහෝ දෙනා ඉන්පසු රට තුළම විවිධ රැකියාවල නිරත වෙති. සමහරු වැඩිහිටි නිවාස පාලනය කරති, තව අය දරුවන්ට ඉගැන්වීම් කරති.

නගරාධිපති ධුරය දරා එම නගර සභාවේම කුණු ලොරිය පදවන රියැදුරු ලෙස සේවය කරන ඈන් සොෆියා පවසන්නේ තමන් මේ රැකියාව කරන්නේ ඉතාම සතුටින් බවය. තමන් නගරාධිපති ධුරය දැරූ නගර වැසියන්ටම මේ අන්දමින් සේවය කිරීමට ලැබීම වාසනාවක් යැයි ඇය පවසන්නීය. ඇය ඉතා කඩිසරව තම සේවාව සපයයි. තමන්ට අවුරුදු 65ක් වනතෙක් ජනතාවටත්, නගරයටත් සේවය කිරීම ඇගේ අරමුණ වේ.

“ස්වීඩනය ඇතුළු යුරෝපයේ රටවල කිසිම දවසක රැකියාවෙන් මිනිස්සු මනින්නේ නැහැ. නමුත් ලංකාවේ ඊට හාත්පසින්ම වෙනස්. රැකියාව අනුව තමයි උස් පහත්කම් මනින්නේ. මේ රටවල කුණු අදින්නා. පාර පිරිසුදු කරන්නා, කම්පැනියක ප්‍රධානියා කියලා වෙනසක් නැහැ,

සියලු දෙනාම කරන්නේ සේවාවක් හැටියටයි සලකන්නේ. ඒ නිසා හැමෝම සමාජයේ එකම පිළිගැනීමකට ලක්වෙනවා. බොහෝ උසස් නිලතල දැරූ අය විශ්‍රාම ගියාම තමන්ට හැකි රැකියාවල නිරත වෙනවා. ඒවායේ කිසිදු උස් පහත් භේදයක් නැහැ. මේ රටවල් දියුණු වීමේ රහසත් ඕකයි” යැයි මේ ගැන සඳහන් ස්ටෝක්හෝල්ම් බෞද්ධ විහාරාධිපති ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන් අප සමග පැවසීය.

Next Post

සජිත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු වාහන එපා ඒ සල්ලි එන්නත් වලට දෙන්න කියයි

Sun Jun 13 , 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වන යෝජනාව සමගි ජනබලවේගය ප්‍රතික්ෂේප කරන බවත් එම මුදල් ජනතාවට එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බල කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි. එම සටහන පහතින් බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත […]

Breaking News