මුළු ජීවිතේම හරිහම්බ කළ කෝටි ගණන් දේපළ ආයුර්වේදයට දන් දුන් යුවළ

හාලිඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයිරින් හිල්ඩා මෙනෙවියට බදුල්ලේ පදිංචි බුද්ධදාස සමරජීවව මුණගැසෙන්නේ දෛවෝපගතවය. සමහර විටෙක සංසාර හුරුපුරුද්දට මේ ආත්මයේ ඔවුන් හමුවුණා වන්නටද ඇත. කෙසේ හෝ පිරූ පෙර පින් බලයෙන්ද, නොපිරූ පෙරුම් පුරන්නටද ඔවුන් දෙදෙනා අතහිත ගනිද්දී නිවසක්, රැකියාවක් වැනි භෞතික සාධක කිසිවක්ම නැතක් ආත්ම හතක් පුරාවටම දිව යන්නට තරමේ ප්‍රේමයක් ඒ හිත්වල ඕනෑවටත් වඩා ගොඩගැසී තිබෙන්නට ඇත.

ජීවිතයත් අතපය හතරත් තිබෙනවා නම් තවත් මොනවාද?’ ඔවුන් ජීවිතය පටන් ගන්නට හිතුවේ එලෙසය. එතැන් පටන් දෙදෙනාම එක්ව ජීවිත ගමන ගොඩදාගන්න එහෙමත් නැතිනම් පිළිවෙළකට ජීවත් වන්නට ඔවුන් විවිධ ක්‍රම ගැන සොයා බලන්නට විය. අවසානයේදී එකල යම්කිසි ලාභයක් උපයාගත හැකි සිවුරු මැසීමේ ව්‍යාපාරයක් කරන්නට දෙදෙනාම එකඟ විය. ඒ සඳහා සියලු කටයුතු යොදා ගෙන කොළඹට පැමිණියේ සිවුරු මැසීමේ ඕඩරය භාර ගන්නට වුණත් ඔවුන් පැමිණ තිබුණේ සිවුරුවලට එතරම් ඉල්ලුමක් තිබුණු කාලයක නොවීය. ඒ අදහසත් අත්හැර නිකම්ම ගස්වල හැදෙන අඹ, පැපොල් බීම එකක් හදාගෙන බොද්දී පලතුරු බීම ව්‍යාපාරයක් කරන්නට පුළුවන් නේද යැයි දෙදෙනාටම සිතිණි.

පලතුරු බීම හදන වැඩේ හරිගියත් එය කල්තබා ගන්නා වැඩේ හරි ගියේ නැත. ඒ කාලේ අපට එච්චර තේරුමක් නැහැ. ව්‍යාපාරය කරද්දී ලාභය ගැන හිතනවාට වඩා අපි හිතුවේ කරන වැඩේ හරියටම කරන්න. මේ පැත්තේ හොඳම පලතුරු තියෙද්දී අපේ නොතේරුම්කමට මුල් කාලේ කොළඹින් තමයි පලතුරු ගේන්න ගත්තේ.

කෙසේ හෝ නොතේරුම්කම් ඔවුන්ට අත්හදා බැලීම් ඔස්සේ දැනුම ශිල්පය ලබාදී තිබිණි. එවර කාර්මික සංවර්ධන ආයතනයේ උපදෙස් ලබාගෙන ඔවුන් නැවතත් බෝතල් 50ක් නිෂ්පාදනය කළේය. එවරද උත්සාහය වැරැදී තිබිණි.නෝනා හොඳ නමක් හිතන්න. මේ පාර නම් හරියටම හරියනවා’ බුද්ධදාස මහතාගේ ධෛර්ය, නොබිඳුණු හඬ අයිරින් නෝනාගේ ජීවිතයටද ධෛර්ය එක් කළේය.

මධුර’ජීවිතයේ පන්නරය ඇයට නමක් ගෙනාවේය. බුද්ධදාස මහතාගේ අනාවැකි හරියටම හරි ගියේය. දෙවැනි වර මිශ්‍ර පලතුරු බීම බෝතල් හොඳ තත්ත්වයේ පැවතිණි. මධුර පලතුරු බීම ආරම්භ වූයේ එතනිනි. ශ්‍රී  ලංකාවේ එක කාලයක් ජනප්‍රියම වෙළෙඳ නාමයක් වූ මධුර පලතුරු බීම බෝතලයේ තිඹිරිගෙය කතාව සැකසී තිබුණේ ඒ ආකාරයෙනි. පලතුරු බීම බෝතලය මධුර වූවාට එහි රසයද කුල්මත්ව පිනායන මධුර රසයක් වුවද මධුර රසයට පිටුපසින් ගලාගිය අයිරින් බුද්ධදාස යුවළගේ ජීවිත ශ්‍රමය මධුර වූයේ කටුත් සමඟය.

හැමදාම උදේ පාන්දර හතරට නැඟිටලා මම මොනවා හරි උයාගන්නවා. අපි දෙන්නට උදේටයි, දවල්ටයි කන්න. ඊට පස්සේ පොල් අතු මඩුවේ ඉඳන් පලතුරු බීම බෝතල් කරන වැඩේ පටන් ගන්නවා. බෝතල් හදලා පෙට්ටිවලට ඇසුරුවාට පස්සේ මහත්තයා තමයි ඒවා කඩවලට ගෙනියන්නේ බස් එකේ. ඊට පස්සේ හවස් වුණාම ආපුසු බෝතල් ටිකත් එකතු කරගෙන එනවා. ඒ ආවම ඊළඟ දවසේ වැඩ ටිකත් ලෑස්ති කරලා බෝතල් හොඳට හෝදලා තමයි මම නිදියන්නේ.”

අයිරින් නෝනා අතීතය සිහිපත් කළේ මධුර බීම හදන්නට ඔවුන් විඳි දුක අකුරුවලට පෙරළමිනි.ඒ කාලේ අපි කඩවල් කිහිපයකට විතරයි පලතුරු බීම දැම්මේ. ඒත් කාලයත් එක්කම අපේ බීම එක මිනිස්සු තවත් කඩවල සොයන්න ගත්තාම අපේ නිෂ්පාදනයට ඉල්ලුමකුත් ඇති වුණා.” බුද්ධදාස මහතා තම යටගියාව අකුරුවලට පෙරළීය.

කෙසේ හෝ ජීවිතය හැමදාකම හැමදේටම අකුල් හෙළන්නේ නැත. පැරැණි කියමනක් අනුව අඳුරු සීත කාලය හැමදාම පවතින්නේ නැත කවදාකම හෝ වසන්තය එනවාමය.

ඔවුන්ගේ ජීවිතවලටද වසන්තය පැමිණියේ මධුර පලතුරු බීම බෝතලයක් ලෙසය.

හරියටම අවුරුද්දකට පස්සේ අපි සේවකයෝ 5 දෙනෙක් වැඩට අරගෙන තවත් ටිකක් ලොකුවට මේ ව්‍යාපාරය දියුණු කරගන්න හිතුවා. ඒ කාලේම මට ලිපිකාරිනියක් විධියට රැකියාවක් ලැබුණත් මහත්තයට මේ හැමදේම තනියම කරගෙන යන්න බැරි වෙයි කියලා හිතුණු නිසා ඒ රැකියාවත් අත්හැර දැම්මා.”

අයිරින් මහත්මිය සිතුවේ තමන් දෙදෙනාගේ දෑතින් පටන් ගත් ව්‍යාපාරය රැකගැනීම වඩා හොඳ බවය.එතැනින් ව්‍යාප්ත වුණු මධුර පලතුරු බීම බෝතලය ඉන්පසු ලංකාව පුරා ජනප්‍රියම පලතුරු බීම බවට පත්වූයේ තටු ලැබුණු පරිද්දෙනි.

ඔහොම කාලයක් යනකොට අපි අතරේ මුදල් ඉතිරි වුණා. ගෙවල් ‍ෙදාරවල් හදලා යාන වාහනත් ගත්තා. ඊට පස්සේ අපි දෙන්නාටම හිතුණා ඇයි තවත් මහන්සි වෙන්නේ මේ හම්බ කරගත්ත දේවල් ඇති නේද කියලා. ඉතිං අපි දෙන්නම කතා වෙලා ව්‍යාපාරය විකුණලා දාලා නිදහසේ ඉන්න හිතුවා.”

එසේ ඔවුන් දෙදෙනා විසින් පටන්ගත් ව්‍යාපාරය විකුණා දැමුවේ අත්හැරීම පුරුද්දක් වශයෙන් සංසාරය පුරාම කරගෙන ආ පුරුද්දකට වන්නටද ඇත.තම දෑතින් ගොඩනැඟූ ව්‍යාපාරය විකුණා දැමූ අයිරින් – බුද්ධදාස යුවළ ඉන්පසු නගරයේ නිවෙසක් සාදාගෙන චාම් ජීවිතය නිදහසේ ගෙවා දමන්නට තීරණය කළේය.

අපි ඉතිං ඔහොම නිදහසේ ඉද්දී අපි ළඟ වැඩ කරපු සේවකයෝ නිතර නිතර අපිව බලන්න එනවා. ඒ අය නිතරම ඇවිත් කියනවා අනේ ආපසු ව්‍යාපාරය පටන් ගන්න කියලා. ඒ ගමන අපි දෙන්නා ආපහු ව්‍යාපාරය කරන්න හිතුවා.

මධුර පලතුරු බීම ව්‍යාපාරය මිලදී ගත් ව්‍යාපාරිකයෝ වෙනත් නමකින් ව්‍යාපාරය කරගෙන ගිය නිසා මධුර නමින් ඔවුන් නැවතත් පලතුරු බීම ව්‍යාපාරය ආරම්භ කළේය.දෙවැනි වතාවටත් ආරම්භ කළ ව්‍යාපාරය නැවතත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වෙද්දී දිනෙන් දිනම ව්‍යාපාර ජීවිතයට සැනසීම නිදහස ගෙනෙනවාට වඩා තවතවත් බරක් එක් කරන බව දෙදෙනාටම අවබෝධ වන්නට විය.

ඒ වතාවේ නම් අපි හිතුවා මේ ව්‍යාපාරය නතර කරලාම දාමු කියලා. ඒ 2016 වසරේ අපි ව්‍යාපාරය දෙවැනි වතාවටත් නතර කරලා පුංචි වාහනයක් විතරක් තියාගෙන අනිත් වාහන ඔක්කෝම විකුණලා දැම්මා.ලැබුණු මුදල්වලින් බැංකුවේ ණය ඔක්කොම ගෙවලා ඉවර වුණාට පස්සේ අපි හිතුවා ජීවිතේ ගැනත් ඉතිරි කරගත්ත ධනයත් අපට බරක් නොවන විදිහට පිළිවෙළක් කරන්න ඕනි කියලා.

ජීවිතයට බරක් එක්කර නොගන්නට සිතූ අයිරින් – බුද්ධදාස යුවළ මහපොළවටද බරක් නොවන්නට තීරණය කර තිබිණි. ජීවිතයේ සැ¼දෑ සමය ගෙවිය යුත්තේ කෙසේද යන්න දෙදෙනාටම තිබුණේ එකම ආකාරයේ තෘෂ්ණා නැති සිතිවිලිය.

අපි දෙන්නම හිතුවා අවසානයේ අපි ඉතිරි කරගත්ත දේපළ ආයුර්වේද මධ්‍යස්ථානයකට පරිත්‍යාග කරන්න. මොකද අපේ දේශීය වෛද්‍ය ක්‍රමය හරහා රෝගියකුට ලැබෙන සුවය මොනතරම් කුසලයක්ද?”

කාලයක් ලංකාව පුරාම අතිශය ජනප්‍රිය වෙළෙඳ නාමයක් වූ මධුර පලතුරු බීම ව්‍යාපාරයද, එම ව්‍යාපාරයේ අවසානයේ ඉතිරි කරගත් කෝටි තුනක් වටිනා දේපළ සියල්ල අත්හළ මේ යුවළ සිටින්නේ එදාටත් වඩා අද ඔවුන්ට සියල්ලක්ම තිබෙනවා තරම් සැහැල්ලුවකින් සතුටකින්ය. පාරේ බළලන්, බළලුන්ට ආහාර පිසිමින් මේ ඔවුන් ගෙවා දමන්නේ ජීවිතයේ සැ¼දෑ සමයය. 

හැමදෙයක්ම හරි කාලෙට සිද්ධ වුණා. ඉස්සරහට යන්න ඕන කාලේ ගියා. නතර වෙන්න ඕනි කාලේ නතර වුණා. සමහර විට අපිට දරුවෙක් හිටියා නම් මේ ජීවිතෙන් මේ තරම් පහසුවෙන් ගැලවෙන්න බැරි වෙන්න තිබුණා.”

අවසාන වශයෙන් අයිරින් නෝනා  පැවැසුවේ අත්හැරීම ගැන නොලැබුණු දෙවල් ගැන අකම්පිතවය.ජීවිතයේ දේවල් ලැබුණු කල්හිද _ ජීවිතයේ දේවල් ගෙවුණු කල්හිද ඇගේ සිනහව ඒ ආකාරයම ඒ මුහුණේ තිබෙන්නට ඇත.  බුද්ධදාස – අයිරින් නෝනාගේ නවාතැනින් මම සමුගත්තේ පාර දිගේ ඔවුන් හොයා එන බල්ලන්ට පිටුපාමිනි.

Next Post

ඇමතිකමෙන් අයින් වෙන්න කියූ පොහොට්ටුවේ ලියුමට ගම්මන්පිල උත්තර දෙයි - මාධ්‍ය හමුවක් හදිසියේ කැදවයි

Sat Jun 12 , 2021
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. කොවිඩ් අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජනතාව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට […]

Breaking News