ඇලවුණු කුලුනේ නිවසක මිල අඩු වෙයි – මාබල් ඉතාලි – ලී ජර්මන් – නාන කට්ටල ඔස්ට්‍රියාවේ – ඇමෙරිකාවේ ජිම්

කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කරන අපට ගංගාරාමය පසුවෙත්ම ‘‘ඇලවුණු ගොඩනැගිල්ලක්” පෙනෙන්නේය. එය ඊයේ පෙරේදා විවෘත වූ ඕල්ට්එයාර් නිවාස සංකීර්ණයයි. එය දුටු පමණින් ඕනෑම අයෙක්ට සිහිවන්නේ ඉතාලියේ පිහිටි පීසා කුලුනයි. තවත් අයෙක්ට මේ ගොඩනැගිල්ල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ තවත් ගොඩනැගිල්ලකට ගැසූ කූඤ්ඤයක් සේය. අනෙක් අතට මේ අමුතුම ගොඩනැගිල්ල අසලින් යනෙන අයෙක් ”ඇත්තටම මේ ගොඩනැගිල්ල ඇදද? නැතිනම් ඇලවෙලාද?” කියා සිතනු නොඅනුමානය.

ඒ නිසාම පසුගියදා අපි මේ අරුම පුදුම ගොඩනැගිල්ලේ සුලමුල සොයා ‘සර් ජේම්ස් පිරිස් මාවතේ‘ පිහිටි ‘ඕල්ට්එයාර් බහුමහල් නිවාස සංකීර්ණය‘ වෙත ගියෙමු. එහි ඉදිරිපසින් පෙනේනේ කොළඹ ගංගාරාම විහාරයේ සීමාමාලකයයි. ඊට නුදුරින් බේරේ වැවයි. තවත් සුවිශාල ප්‍රමාණයේ ගොඩනැගිලි කිහිපයක්ම අතපොවන මානයේ තිබෙන මේ ගොඩනැගිල්ල කොළඹ නගරයට අමුතුම සිරියක් එක්කර ඇත්තේය.

මීට වසර කිහිපයකට පෙර මේ භුමියේ මුල් අයිතිකරුවන් වූයේ නාගරික සංවර්ධන අධිකාරියයි. ඔවුන් විසින් බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධනයක් ඇති ඉඩම් සංවර්ධනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් දියත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාගමක් වන ‘‘සවුත් සිටි ප්‍රොජෙක්ට් කොල්කටා” විසින් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2011 වසරේදී අනූනම අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන දෙදාස් පන්සීය හැටක මුදලකට ‘‘සවුත් සිටි ප්‍රොජෙක්ට් කොල්කටා” මෙම ඉඩම බදු දුන්නේය. එසේ ලබාදුන් ඉඩමේ ප්‍රමාණය අක්කර දෙකකි.

එදා මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම ලබා දුන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂය. ඒ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදීය.

‌​ෙකසේ වෙතත්, 2012 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය පනහක මුදලක් ආයෝජනය කරමින් ඉන්දීය ‘‘සවුත් සිටි ප්‍රොජෙක්ට් කොල්කටා” විසින් ‘ඕල්ට්එයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය‘ හා හා පුරා කියා ආරම්භ කළේය. ඒ සඳහා ගෘහ නිර්මාණකරණයෙන් දායකත්වය දැක්වූයේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී මෝෂේ සෆ්ඩි විසිනි.

ඊශ්‍රායලයේ උපන් මෝෂේ විසින් නව චැංගි ගුවන්තොටුපළේ ස්වර්ණාභරණ සාප්පු සංකීර්ණය, මරීනා බේ සැන්ඩ්ස්, ඇමරිකානු කෞතුකාගාරයක් වන ක්‍රිස්ටල් බ්‍රිජ්ස් සහ චීනයේ රැෆල්ස් සිටි යන ගොඩනැගිලි සංකීර්ණ සියල්ලේම නිර්මාතෘවරයා ද වන්නේය. එපමණක් නොව, විසි එක්වැනි සියවසේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අතර ඉහළින්ම වැජඹෙන තරුවක් ලෙසත් මෝෂේ හැඳින්විය හැක. මෙලෙස ලංකාවේ කොළඹ නගරය සිසාරා ඉදිවෙන මේ ආකර්ෂණීය නිවාස සංකීර්ණය සඳහා වැඩි වශයෙන්ම ගැනුම්කරුවන් පැමිණියේ මෝෂේගේ නමට තිබූ ප්‍රසිද්ධිය නිසාම බව ‘ඕල්ට්එයාර් සමාගමේ‘ අලෙවි කළමනාකාර සුරංග ගමගේ කීවේය.

‘‘අපිට ඉන්දියාවේ සමාගමක් තමයි මේකට ආයෝජනය කළේ. ඒකේ නම තමයි ‘සවුත් සිටි‘ ආයතනය. එයාලා තමයි මෝෂේ සෆ්ඩි කියන ලෝකප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියාව තෝරාගෙන තිබුණේ. ඔහු දැනට ලෝකේ ඉන්න හොඳම ගෘහ නිර්මාණ ශිල්පීන් පස්දෙනා අතර ඉන්න කෙනෙක්. එයාගේ නිර්මාණයක් තමයි අද අපි මේ දකින ‘ඕල්ට්එයාර් බහුමහල් නිවාස සංකීර්ණය‘ කියලා කියන්නේ. ඇත්තටම, ලංකාවේ අය වගේම විදේශිකයන් පවා අපේ නිවාස මිලදී ගන්න ලොකුම හේතුව වුණේ අපේ ගෘහ නිර්මාණ ශිල්පියයි. ඔහුගේ ඇති දක්ෂතාවය වගේම ඔහු ගැන තියෙන විශ්වාසය තමයි අපේ නිවාස සංකීර්ණ ඉක්මනින්ම මිලදී ගන්න බොහෝදෙනා උත්සුක වුණේ.”

ඒ වගේම නිවාස සංකීර්ණයට මුල්ගල තබා අත්තිවාරම දමන මොහොත වනවිටත් ගැනුම්කරුවන් සියයට තිහක පමණ සංඛ්‍යාවක් අත්තිකාරම් මුදල් ගෙවා තිබූ බව සුරංග ගමගේ කීවේය. මේ මොහොත වනවිටත් ඕල්ට්එයාර් නිවාස සංකීර්ණයේ තිබෙන නිවාස වලින් සියයට හැටක්ම මිලදී ගෙන ඇත්තේ ලාංකිකයන්ය. එයින් ඉතිරි සියයට හතළිහම මිලදී ගෙන තිබෙන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් විසිනි.

එමෙන්ම, කලබලකාරී කොළඹ නගරයේ කාෂ්ඨක අව්ව සහ දුහුවිලි පරිසරයේ හරිත පැහැයෙන් යුතු නිවාස සංකීර්ණයක් ඉදි කිරීම කාගේත් කතාබහට ලක්වූයේය. ඊට එක් හේතුවක් වූයේ මෙම කුලුන ඇළවී තිබීමයි. නිවාස සංකීරණය ඇළයට හදන්නට අදහස පහළ වූයේද මෝෂේටය. ඒ ඔහු තමාගේ හැම නිර්මාණයකටම අලුත් යමක් එකතු කිරීමේ පුරුද්ද නිසාය. එමෙන්ම, ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ දකින්නට ලැබෙන්නේ ගස්වැල් වලින් අනූන පරිසරයකි. එයට හොඳම උදාහරණය ඔහු නිර්මාණය කළ සිංගප්පුරුවේ චැංගි ගුවන්තොටුපළයි. එසේම 2019 වසරේදී ‘වසරේ කලාකරුවාට’ හිමි වුල්ෆ් ත්‍යාගය දිනා ගැනීමටත් මෝෂේ සෆ්ඩිට හැකිවිය.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට කාලය යෙදී තිබුණේ 2017 වසරේදීය. නමුත්, සංවර්ධකයින් සහ ප්‍රවර්ධකයන් අතර ඇති නඩු හේතුවෙන් 2019 දී මෙම ව්‍යාපෘතිය සඳහා කාලය ගත විය. ඒ අතරට රුපියලේ අගය පහල වැටීම, පාස්කු සිදුවීම සහ දැන් ඇති වසංගතයත් වැනි හේතුන්ද පැමිණියේය. අනතුරුව, මෙම ගොඩනැගිල්ල 2020 වසරේ මැයි මාසයේ දී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයටත් ලක් විය.

‘‘අපි හැමෝම එක පවුලක් වගේ තමයි මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු කළේ. ඒත් විවිධ ගැටලු තත්ත්වයන් කිහිපයක් නිසා අපිට මේ ව්‍යාපෘතියට ටිකක් කාලය ගතවුණා. ඒත් දවසක් ජනාධිපතිතුමා අපේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු බලන්න ආවා. එයා කිව්වා ඉක්මනට මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කරලා නිවාස හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාස භාරදෙන්න කියලා. මේ වසරේදී හැකි ඉක්මනින් ව්‍යාපෘතිය අවසන් කරලා අයිතිකරුවන්ට ඔවුන්ගේ නිවාස ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.’’ කියා ඔහු කීවේය.

අද වන විට මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතුවලින් සියයට අසූ පහක්ම නිමවා ඇත්තේය. මෙසේ ඉදිවන නිවාස සංකීර්ණයේ බාහිර පෙනුම එක් කුලුනක් මත අනෙක් කුලුන හේත්තු වී පවතින ආකාරයට කුලුනු දෙකකින් යුක්තව නිර්මාණය කර තිබුණි. මෙහි එක් කුලුනක උස මීටර් දෙසීයක් වන අතර මහල් හැට අටකින් සමන්විතය. එහි එක් මහලක නිවාස හතරක් ඉදිකිරීමට ‘ඕල්ට්එයාර් සමාගම‘ තීරණය කර ඇත්තේ නිවෙස් හිමියන්ට වැඩි සුවපහසුවක් ලබාදීමේ අරමුණෙනි.

එමෙන්ම, යමකුට මෙම නිවාස සංකීර්ණය දුටු පමණින් මෙහි නිවාස ඇත්තේද ඇලයටදැයි සිතෙන්නට පුළුවන. ඒ පිළිබඳව අප සුරංග ගමගේන් විමසිය. ඔහු අපට කීවේ, පෙනුමෙන් ඇල ලෙස තිබුණත් නිවස සම්පූර්ණයෙන්ම සිරස්ව සාදා ඇති බවයි. එමෙන්ම, මෙය තරප්පු පෙළක් නොපිටට හැරවූවා සේ ‘‘ඇලවුණු ගොඩනැගිල්ලේ” නිවාස ඉදිකර ඇත්තේය. එමෙන්ම, මෙහි එක් නිවසක වටිනාකම අවම කෝටි නවයකි.මෙම නිවසක කලින් මිල නියම කර තිබුනේ කෝටි එකොළහකටය.

මේ ආකාරයට වැඩ නිමවෙමින් පවතින ‘ඕල්ට්එයාර් බහුමහල් නිවාස සංකීර්ණයේ‘ නිවාස හාරසිය හතරක් ඉදිකර ඇත. එහි කාමර දෙකේ, තුනේ, හතරේ සහ පහේ අංග සම්පූර්ණ නිවාස කාණ්ඩ හතරක් දකින්නට ලැබෙන්නේය. එමෙන්ම, එම නිවෙස් වර්ග අඩි 1468 සිට වර්ග අඩි 5200 ක් දක්වා ප්‍රමාණවල ඉදිකර තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ ලෝකයේ පිළිගත් සන්නාම යටතේ පවතින ආනයනය කළ ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයක් භාවිත කර තිබීමයි. එහිදී, ඉතාලියෙන් මාබල්, ජර්මනියෙන් දැව, සනීපාරක්ෂක උපකරණ සහ මුළුතැන්ගෙයි උපකරණ, ඔස්ට්‍රියාවෙන් නානකාමර කට්ටල සහ නිදන කාමර කට්ටල, චීනයෙන් දොර ජනෙල්, ස්විස්ටර්ලන්තයෙන් ටයිල් සහ කායවර්ධන උපකරණ ඇමරිකාවෙන්ද ගෙන්වා ඇත්තේය.

මෙසේ නිවෙස් හාරසිය හතරකින් සමන්විත නිවාස සංකීර්ණයේ පහළොස් වැනි මහල වෙන් කර ඇත්තේ නිවෙස් හිමියන්ගේ නිදහස සහ සුවපහසුව උදෙසාය. එහිදී, කායවර්ධන මධ්‍යස්ථානයක්, වාෂ්ප සම්බාහන මධ්‍යස්ථානයක්, ජැකුසි, ක්ලබ් හවුස්, යෝගා මධ්‍යස්ථානයක්, ශරීර සුවතා මංතීරු සහ ළමා උද්‍යානයක් ද තිබෙන්නේය.

තවද, ‘ඇලවෙන ගොඩනැගිල්ල‘ අහස් උයනක්, උණු ජලය සහිත තටාකයක්, විවේකාගාරයක් සහ උත්සව අංගණයකින් ද යුක්තය. එමෙන්ම, ලංකාවේ පළමු අහස් උයන ලෙසත් මෙය හැඳින්විය හැක.

කෙසේ හෝ මෙහි විදුලි සෝපාන දහඅටක් ඇත. ඒවා සාමාන්‍යයෙන් පහළ සිට ඉහළ මාලයට තත්පර හැටක වේගයෙන් ගමන් කරන්නේය. ඒ අතර වේගවත් විදුලි සෝපාන නමයක් ඇති අතර විශාල ප්‍රමාණයේ විදුලි සෝපාන දෙකක්ද, වාහන අංගණයට සහ පහළම මාලයට යෑමට විදුලි සෝපාන හතරක් තිබේ. එමෙන්ම, තවත් විදුලි සෝපාන තුනක් සාමාන්‍ය භාවිතය සඳහා වෙන්කර ඇත්තේය. මේ අතර නිවෙස් හිමියන්ට තමන්ගේ වාහන නවතා තැබීම සඳහා නවීන පන්නයේ රථ ගාලක් ද ඉදිකර තිබුණි. එහි එකවර වාහන හයසියයක් නවතා තැබිය හැකි බව සුරංග ගමගේ කීවේය.

මෙසේ ඉන්දියානු ආයෝජනයෙන් සහ එහි හිමිකාරිත්වය යටතේ ඉදිවූ මේ සුවිසල් ‘ඕල්ට්එයාර් බහුමහල් නිවාස සංකීර්ණයේ‘ සේවයේ නියුතු අයගෙන් සියයට අසූවක්ම ශ්‍රී ලාංකිකයන් වීමත් විශේෂත්වයකි. එයින් දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුමට සහනයක් ලබාදීමට හැකි වන අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහි කිරීමට හැකිවීමත් මෙහි ඇති අනෙක් විශේෂත්වයයි

Next Post

සිසු සිසුවියන් 194,297කට සරසවි වරම් - 2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

Wed May 5 , 2021
ඊයේ පස්වරුවේ නිකුත් වූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථපල වලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 194,297දෙනෙකු සරසවි වරම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ප්‍රතිශතයක් ලෙස සියයට 64.39ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 301,771කි.ඉන් විභාග අපේක්ෂකයින් 86දෙනෙකුගේ ප්‍රතිඵල […]