විනාඩි කිහිපයකින් ව්‍යාංජන හයක් ලෝකෙ දිනා රහටම ඉව්වත් ඒත් මට රස දැනෙන්නේ නෑ – මිනෝලි

පසුගියදා ඔස්ට්‍රේලියාවේ ප්‍රකට රූපවාහිනි නාළිකාවක් වන ‘නෙට්වර්ක් ටෙන්’ මගින් සංවිධානය කළ ‘මාස්ටර් චෙෆ්’ සූපවේදි තරගයේ අවසන් වටයට පිවිසීමට දැනට එරට වෙසෙන ලාංකික යුවතියක් වන මිනෝලිද සිල්වා සමත් වූවාය. තරග වට දහතුනකින් පසුව අවසන් තරගයට තේරුණු තරගකරුවන් විසි හතර දෙනකු අතරින් අවසන් පස් දෙනා අතරට එක් අයකු වීමට පත්වෙමිනි.

අවසන් වටයේ තරගයේ දී ඇය තෝරාගෙන තිබුණේ සිංහල ආරට හැදුන සුදු බතක්, සැර කුකුළුමස් හොද්දක්, කිරිකොස් මාළුවක්, වම්බටු ව්‍යාංජනයක් හා ලූනු සම්බෝලයක් හා පොල් සම්බෝලයකි.

කුකුළු මස් හොද්ද පිළියෙල කරන මිනෝලි පදම බැලීමට හැන්ද අතට ගත්තාය. අපේ අම්මල ගෙදරදී උයන බතක මාලුවක රස බලන්නේ හොදි බින්දුවක් හැන්දට ගෙන එය අල්ලට දමා රස බැලීමෙනි. ඒත් මිනෝලි කළේ හොදි ස්වල්පයක් හැන්දට ගෙන සුවඳ බැලීමයි. මින් පුදුමයට පත් විනිසුරු මඬුල්ල ඇය සෙසු ව්‍යාංජන රස බලන්නේ කෙසේදැයි බලා සිටියේය. ඒවාද ඒ ආකාරයටම විය.

මේ අමුතු රස බැලීම බොහෝ දෙනෙක් සිතුවේ සූපවේදයේ අලුත් වෙනසක් කියාය. කෙසේ වෙතත් නාසයෙන් සුවඳ බලා රස විඳි ඒ අමුතු ව්‍යාංජන හයම අලංකාර බාහාලුම්වල දමා කෙසෙල් කොළයක් මත තබා විනිශ්චය මණ්ඩලයට පිළිගැන්වූයේය. එම පිළිගැන්වීම ඉහළින්ම ඇගයූ විනිශ්චය මණ්ඩලයත් ඇයගෙන් පැනයක් විමසීය.

‘‘ඔබ හිතනවාද මේ කෑම වට්ටෝරුව රසවත් කියලා. මොකද ඔබ අරගෙන තියෙන්නේ ඉතාමත් අවදානම් කටයුත්තක්. විනාඩි කිහිපයක් තුළ ව්‍යාංජන හයක් හදනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙවෙයි. එකක රස නැති වුණොත් අනෙක් සියල්ලෙන්ම වැඩක් නැති වෙනවා.’‘ කියා විනිශ්චය මණ්ඩලයේ සාමාජිකා මෙලිසා ලියොන් ඇගෙන් ඇසුවාය.

එයට පිළිතුරු දීමට ප්‍රථම මිනෝලි විනාඩි කිහිපයක් ඔවුන් දෙස බලා සිටියාය. ඉන්පසුව සිනා සී ‘‘මම ඇත්තටම මේ කෑමවල රස බැලුවේ නැහැ. මොකද මට රස බැලුවත් රස දැනෙන්නේ නැති නිසා. ඒ මීට වසර කිහිපයකට පෙර මට රස දැනීමේ සංවේදනය නැති වුණ නිසා.’’ යැයි ඈ කීවාය.

ඒත් රස දැනීම මිනෝලිගෙන් ඈත් වුවත් ව්‍යාංජනයට දැමිය යුතු අඩුම කුඩුම පිළිබඳව ඇයට හොඳ අවබෝධයක් තිබුණි. ඒ යමක සුවඳින් එය කුමක්දැයි කියා හඳුනා ගැනීමටත්, ව්‍යාංජනයක සුවඳින් එහි රස ගුණ තීරණය කිරීමටත් ඈ දැක් වූ දස්කම නිසාවෙනි.

මේ කතාව ඇසූ අපගේ මතකයට එකවරම ආවේ ජර්මානු ජාතික මහා සංගීතවේදී වැන් බිතෝවන්ය. ලොව පවතින තාක්කල් නොමැකෙන සංගීත ඛණ්ඩ බිහි කළ මේ ගාන්ධර්වයාට ඒ එකක්වත් ශ්‍රවණය කර බැලීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ ඔහු තරුණ වියේදීම ශ්‍රවණාබාධිතයෙක් වීම නිසාය.

ඒ ආකාරයටම රස දැනීමේ හැකියාව පැවැති කාලයේදී තමන් සෑදු ආහාරවලට වඩා රස නොදැනීමෙන් පසු පිසූ ආහාර වඩාත් රසවත් බව ඇයගේ මව කියූ බවත් මිනෝලි කීවාය.

මෙසේ ඇයට හදිසියේම රස සංවේදන හැකියාව අහිමි වූයේ 2017 වසරේදී ඇයට ඇති වූ ශාරීරික වේදනාවක් නිසාවෙනි. ඒ පිළිබඳ වෛද්‍යවරුන් කළ පරීක්ෂණවලින් දැනගැනීමට ලැබුණේ ඇයට පියයරු පිළිකාවක් වැලඳී ඇති බවයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට තිබූ එකම ක්‍රමය විකිරණ ප්‍රතිකාරයි. එකී විකිරණ ප්‍රතිකාරවලින් පසු මිනෝලිගේ දිගට තිබූ වරලසේ කෙස් හැළිණි. හැඩැති සිරුර සිහින් විය. වෙනදා කෑමවල රස ගුණ මොහොතින් දැනෙන ඇයට විනාඩි දහයක් හෝ මුවේ ආහාර තබා ගෙන සිටියත් එහි රසයක් නොදැනුනි. ටිකෙන් ටික වයස අවුරුදු තිස් එකේ කඩයිම පසුකරමින් සිටින ඇයට මුළුමනින්ම රස දැනීමේ හැකියාව නැති විය.

නමුත් කුමන දේ ඇයට අහිමි වුවත් ජීවිත බේරා ගැනීමට හැකි වූ නිසා අලුත් ජීවිතයක් වෙනුවෙන් හැඩ ගැසීමට මිනෝලි තීරණය කළාය.

ලාංකික සම්බවයක් ඇති මිනෝලි ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් බවට පත්වන්නේ 1993 වසරේදී මව, පියා සහ සහෝදරියන් දෙදෙනා සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්ථිර පදිංචියට පැමිණීමත් සමගය. එවකට වයස අවුරුදු හයක දැරියකි. මිනෝලිට ලංකාව පිළිබඳව තිබුණේ කෙටි මතකයකි.

ඇය ලංකාවෙන් ඈත් වුවත් ලංකාවේ කෑම රස ඇගෙන් ඈත් වූයේ නැත. ඇගේ මව මංගලා ද සිල්වා ගෙදර නිතර පිළියෙල කළේ ලංකාවේ කෑමය. ඒ කෑම උයන පිහන ආකාරය මිනෝලි කුඩා කළ සිටම හොඳින් බලා සිටියාය.

මෙසේ සිංහල ක්‍රමයට මිනෝලිලාගේ මෙල්බන් මුළුතැන්ගෙයි හැදෙන ව්‍යාංජනවලින් ‘කළු මස් කරිය’ ඇයගේ ප්‍රියතම කෑමයි.

‘‘අම්මගේ අතින් හදන ඕනෑම කෑමක් දිව්‍යමය රසයි. අපි කන්න අකමැති කරවිල පවා ඇය රසට හදනවා. ඇයගේ ඒ අත්ගුණය නිසා ඕනෑම එළවළුවක් ඉතාමත් රසවත් කෑමක් බවට පත් කරන්න පුළුවන්, ඒ අඩි පාරේ තමයි මමත් යන්න කැමති. ඒවා හදන්නේ කොහොමද? මොනවාද දාන අමුද්‍රව්‍ය කියලා දැනගන්නත් ගොඩක්ම කැමති.’’ කියා මාස්ටර් චෙෆ් තරගාවලිය අතරතුර විනිශ්ච මණ්ඩලය විමසූ පැනයට ඈ පිළිතුරු දෙමින් පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඇය 2004 දී ලෝතර් හෝල් ඇන්ග්ලිකන් ව්‍යාකරණ පාසලෙන් උපාධිය ලබා ගත්තේය. ඉන්පසුව ආර්.එම්.අයි.ටී විශ්වවිද්‍යාලයෙන් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළාය. එමෙන්ම ඇය වෘත්තියෙන් රසායනික ඉංජිනේරුවරියකි.

මේ ආකාරයෙන් ඕනෑම තරුණියකගේ සිහිනය වන්නේ අධ්‍යාපනය අතින් ඉහළට ගොස් තමන් ලබාගත් උපාධියට සරිලන රැකියාවක් කිරීමටය. ඒත් මිනෝලිට අවශ්‍ය වූයේ අධ්‍යාපනයත් සිය සිහිනයත් යන දෙකම එකවර සැබෑ කර ගැනීමටය. එනම් කෙදිනක හෝ ලෝකයේ කතාබහක් ඇති කළ හැකි සූපවේදිනියක් වීමටය.

මෙසේ රසවත් කෑම සොයා යන ගමන් මගේ ඇයගේ සිත නැවතුණේ රසවත් ආහාර සංස්කෘතියකට හිමිකම් කියන ජපානයේය. ඒ පිළිකා මාරයා ඇයව සොයා ඒමට පෙර ඇය සංචාරකයෙක් ලෙස ජපානයට ගිය විට එහි විසිතුරු බඳුන්වල අලංකාර ලෙස සරසා පිළිගැන්වූ ප්‍රණීත ආහාර පානවල රස බැලීමෙන් අනතුරුවය.

‘‘ඇත්තටම මම ජපානයේ කෑම බීමවලට වශී වුණා කිව්වොත් හරි. ඔවුන් කෑම සකසන විදිහේ ඉඳලා පිළිගන්වන විදිහ දක්වාම තිබුණේ අලංකාර රසවත් බවක්. ඒ නිසා මට හිතුණා මේ ලස්සන ආහාර සංස්කෘතිය මම ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ විදිහට හිතලා මම ලෝකයේ ප්‍රසිද්ධ සූපවේදීන් වන යෝතම් ඔටොලෙන්ගි, සමින් නොස්රත් සහ මැසිමෝ බොටුරා කියන අය උයන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා.

අනික මට මගේ අම්මාගෙන් හොඳ අත්ගුණය කියන උරුමය ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතුවා ඉවීමේ කලාවේ රසවතෙක් වෙන්න. ’’ කියාය. මෙසේ රස නොදැනී පවා ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ සූපවේදියෙක් බවට පත්වීමය. එමෙන්ම දිවේ රස අහිමි වූවාට ඈ අද විශ්වාස කරන්නේ ඇයට පරම්පරාවෙන් ලද අත්ගුණය සහ ආත්ම විශ්වාසයයි.

Next Post

වෙහෙස නොබලා දිවා රෑ කටයුතු කරන සියලු සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක්ම වේවා

Sun May 2 , 2021
මා_රා-න්තික දෙවැනි වසංගත රැල්ල ඉන්දියාව අතුගා දමමින් ම_රණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා ගියත්, ඉදිරි පෙළ සටනේ නිරත එරට වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය ලොව බොහෝ රටවල සෞඛ්‍ය සේවකයන් මෙන්ම, දිවා රෑ නොබලා ජීවිත රැකගැනීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බව නොරහසකි. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ඉදිරි පෙළ හෙදියක ලෙස කටයුතු කරන විවේකී කපූර්, […]

තවත් මෙවැනිම පුවත්..........