ඔබ නොදැනුවත්ව ආහාරත් එක්ක කළු පුස් වගේ එන ඇෆ්ලටොක්සින් ගැනයි මේ….

ඇෆ්ලටොක්සින් මේ දවස්වල හැමෝගේම වාගේ උනන්දුව තියෙන්නේ මේ ඉංගී්‍රසි වචනයේ තේරුමට වඩා ඒ පිළිකා කාරකය මොකක්ද කියලා හොයන එක.

ඒකට හේතු වුණේ අහඹු ලෙස අහුවුණු පිළිකා කාරක පොල්තෙල් බවුසර් දෙක හා ඊට සම්බන්ධ කතාව. මේ කතන්දරයේ උච්චතම අවස්ථාවට හැටියට අපට සඳහන් කරන්න වෙන්නේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය වූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය ඒ වෙනුවෙන් දැක්වූ අදහස්.

ඇය සඳහන් කළේ “ඇෆ්ලටොක්සින්” අපේ බොහෝ ආහාරවල අඩංගු බවයි.  ඒ වගේම කාලෙක සිටම ඒ සම්බන්ධව දැනුවත් වී සිටි බවයි. 

ආචාර්ය සිද්ධිකා සඳහන් කරන ආකාරයට එම දේශීය සමාගම් කුමන ඒවාදැයි හෙළි නොකරන්නේ ඒවායේ පැවැත්ම ගැන සිතන නිසා බවයි.

ඇත්තටම මේ “ඇෆ්ලටොක්සින්” යන පිළිකා කාරකය අපේ ශරීරයට  බලපාන්නේ කෙසේද? මේ විස සහිත පිළිකා කාරකය ඇති ආහාර මොනවාද? අපි මේ පිළිබඳව සොයා බලන්නට ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා ඇමැතුවෙමු.

ඇෆ්ලටොක්සින් කියන්නේ පුස් වර්ගයක්. මේ පුස් වර්ගය හැදෙන්නේ අපේ සාමාන්‍ය සමාජය තුළිනුයි. මේවා බහුලව හැදෙන්නේ ආහාරවල.  ඒ පුස් වර්ගය කළු පාටින් යුක්තයි.

විශේෂයෙන්ම පොල්තෙල් හැරුණුකොට හාල්, මිරිස්, ගම්මිරිස්, එළවළු, ඉරිඟු,  මුං ඇට, කඩල වගේ ඇට වර්ගවලත් ඒ වගේම කරවල හා උම්බලකඩවලත් මේ පුස් වර්ගය හැදෙන්න පුළුවන්. උෂ්ණත්වය හා ජල වාෂ්ප තිබෙන්නේ කොහෙද එතැන මේ “ඇෆ්ලටොක්සින්” විස කාරකය හැදෙනවා.

අපේ බොහෝ නිවෙස්වල ආහාර වර්ග තිබෙන්නේ වහලා.  එහෙමත් නැත්නම් ශීතකරණයේ. සමහර ඒවා විවිධ භාජනවල, බෑග්වල දාලා  ඔතලා අරන් තියෙනවා.  මෙන්න මේ ආහාරවල තමයි ඉක්මනින්ම මේ පුස් වර්ගය   හැදෙන්නේ.  කළුපාට මේ පුස් වර්ගය ගැන බොහෝ අය දන්නේ නැහැ.  අතින් සූරලා, එහෙමත් නැත්නම් සෝදලා පරිභෝජනයට ගන්නවා.

මේ නිසා එළවළු විතරක්ම නොවෙයි පලතුරු ආහාරයට ගන්න විටත් ඒවායේ මේ කළුපාට පුස් වර්ග තිබෙනවාද කියා ඕනෑකමින් බලන්න වෙනවා.”

ඇෆ්ලටොක්සින් අපට අලුත් වචනයකි. අලුත් කතාවකි. එහෙත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මේ වචනය අලුත් නැත.  මේ  පුස් වර්ගය එසේත් නැත්නම් පිළිකා කාරකය ලෝක සෞඛ්‍ය බලවතුන් සොයා ගත්තේ හෙළිදරව් කළේ 1960 දීය.  අපේ රටේ ප්‍රථම වරට  “ඇෆ්ලටොක්සින්” අඩංගු ආහාර ගැන වාර්තාවක් සකස් කර ඇත්තේ 1983 දීය. ඒ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම  අංශයෙනි.  එමෙන්ම පොල් පර්යේෂණ මණ්ඩලයත්් මේ සම්බන්ධව දක්වා ඇති උනන්දුව හා කැපවීම අති විශිෂ්ටය.

ඔවුන් පොල් ත්‍රිකෝණයේ ආයතන 344 ක් මේ සඳහා යොදාගෙන තිබුණා.  එහිදී සොයා ගෙන තිබුණා “ඇෆ්ලටොක්සින්” අඩංගු පොල්තෙල් අපේ නිෂ්පාදනය වෙනවා කියලා. විශේෂයෙන්ම මීට හේතු වී තිබුණේ කළුපාට කොප්පරා පාවිච්චිය.

සාමාන්‍යයෙන් හොඳ පොල්ගෙඩි 10,000 කට එක කළු පාට කොප්පරා එකක් එකතු වුණොත් “ඇෆ්ලටොක්සින්” මිශ්‍ර වෙනවා.”

විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා සඳහන් කරන්නේ කොප්පරාවලින් පසුව පුන්නක්කුවලින්ද සැලකිය යුතු “ඇෆ්ලටොක්සින්” ප්‍රමාණයක් වක්‍රව අපගේ ශරීරයට ඇතුළුවන බවය.

ගවයන්ට කන්න දෙන්නේ පුන්නක්කුනේ. ඉතිං මෙහෙම කන ගවයන්ගේ ඇඟටත් “ඇෆ්ලටොක්සින්” ඇතුළු වෙනවා. ඒ පුන්නක්කුවල මේ විස බහුලව තිබෙන හන්දා.

ඉතිං ගවයාගෙන් අපි කිරි ගන්නවා. ඊළඟට  බටර්, යෝගට් හදනවා. මේවා තුළින් අපගේ ශරීරයට “ඇෆ්ලටොක්සින්” විස ඇතුළු වෙනවා. ඒ විතරක් නොවෙයි ගවයෝ ලෙඩ වෙලා මියැදෙන්න පවා ඉඩ තියෙනවා. ”

ඇෆ්ලටොක්සින්” නිසා අපට ඇතිවන රෝගී තත්ත්ව පිළිකාව පමණක්ද? මේ සම්බන්ධ ඔබ දැනුවත් විය යුතුමය. ඒ නිසා අපි ඒ ගැටලුව විශේෂඥ වෛද්‍යවරයාට යොමු කළෙමු.

පිළිකාව හැදෙන්නේ කාලයක් තිස්සේ අපි “ඇෆ්ලටොක්සින්” අඩංගු ආහාරවලට පුරුදු වුණාමයි. නමුත් අපි මුලින්ම ගොදුරු වෙන්නේ අක්මාව ලෙඩ වෙන තත්ත්වයකටයි.

ඊට අමතරව ගර්භණී මවුවරුන්ගේ ශරීරය තුළට “ඇෆ්ලටොක්සින්” එකතු වුණාම උපදින දරුවෝ ආබාධිත හා මන්දමානසික දරුවන් වෙනවා. විවිධ ආබාධවලට ගොදුරු වෙනවා.

සමහර දරුවෝ එවැනි තත්ත්වයකට ගොදුරු නොවී ඉපදුණත් ශරීරය හොඳින් වැඩෙන්නේ නැහැ. උස යන්නේ නැහැ. මන්දපෝෂණය හැදිලා වගේ තමයි ඉන්නේ”.

සාමාන්‍යයෙන් “ඇෆ්ලටොක්සින්” විස විනාශ වන්නේ පැය 18ක් පමණ අව් රශ්මිය තුළය. මේ නිසා පොල්තෙල් නිෂ්පාදනයේදී පවා එම පොල්තෙල් හිරු රශ්මියෙහි තැබුවොත් 80% කින් පමණ “ඇෆ්ලටොක්සින්” විස අඩුකර ගත හැකි බව විශේෂඥ මතයයි.

මීට අමතරව එම පොල්තෙල් කාලයක් තිස්සේ ගබඩා කර තැබීමද නොකළ යුතුයි.

අපි හැම විටම ආහාර ප්‍රයෝජනයට ගනිද්දී මේ ආහාරවල කළු පැල්ලම්, කළු ලප තිබේදැයි හොඳින් සලකා බැලිය යුතුයි. කල්ගත ආහාර විශේෂයෙන්ම එළවළු  පලතුරු පාවිච්චියට නොගත යුතුයි.

අද බොහෝ සමාගම් පොල්තෙල් වගේම ආහාර කාලයක් පුරා ගුදම්වල රඳවා තබනවා. ගබඩාවල තබා ගන්නවා.

දැන් ඔය හාල් වුණත් කාලයක් ගබඩා කර තබා ආහාරයට ගන්න එක සුදුසු නැහැ.  ඒ හාල්වල කළු ඇටවල තමයි “ඇෆ්ලටොක්සින්” අඩංගු වෙන්නේ.  ඒවා කුකුළන්ට වුණත් කන්න දෙන්න හොඳ නැහැ. ඒ සතුන් පවා මිය යනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි.

එක කාලයක් අප්‍රිකාවේ මිනිසුන්ට අක්මා රෝගය බහුලව හැදෙන්න ගත්තා. විමර්ශනය කරලා බලද්දී ඔවුන් වැඩිපුර ආහාරයට ගන්නා ඉරිඟුවලින් තමයි මේ විස ශරීරගත වී තිබුණේ.  ඒ තමයි ඇෆ්ලටොක්සින්වල ඇති භයානක තත්ත්වය.” 

 විශේෂඥ  වෛද්‍ය කපිල පියසේන මහතා කියන හැටියට  හිතුමතේ ආහාර නොගෙන  ආහාර සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.  අපේ ශරීරයට  විස කාරක ඇතුළත් වීම  අඩු කරගත හැක්කේ එබඳු අනවරත අවධානයකිනි.

Next Post

ජනප්‍රිය ගායක දිනේෂ් තරංගගේ ආදරණීය කැදැල්ලේ සොදුරු ජායාරූප

Sat Apr 17 , 2021
දිනේෂ් තරංග කියන්නේ කාලයක් පටන් එක ලෙසින් ජනප්‍රියත්වය රඳවාගෙන ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක් .ඔහු ගයනා කරනු ලබන ගීත වලට රසික ජනතාව බොහෝ සෙයින් ආදරය කරනු ලබනවා . ඒ වගේම එම ගීත ඒ ලෙසම ජනප්‍රියත්වයට පත් වනු ලබනවා. බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ගායකයෙක් තමයි දිනේශ් කියන්නේ . ඔහු විවාහ වෙලා […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News