විමල් හා උදයගේ හඬට කැබිනට්ටුවේත් දොර වැසේ – විරෝධය කුණු කූඩයට – සජිත් සමග හමුවක් ?

සියලු අමාත්‍යාංශය වලින් ඉදිරිපත් කරන ව්‍යාපෘති මහා භාණ්ඩාගාර ලේකම් යටතේ පවතින කමිටුවකින් කලමණාකරනය කළ යුතු බවට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු දැක්වූ විරෝධතාවය නොතකා සම්මත කරගෙන තිබෙන බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම කැබිනට් පත්‍රිකාවට අනුව සෑම අමාත්‍යාංශයකම ව්‍යාපෘති අනුමත කිරීම හා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුවේ අනුමැතිය ලැබිය යුතුව තිබේ.

පසුගිය මස 22 වැනි දින මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර ඊට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය දක්වමින් සඳහන් කර තිබෙන්නේ ඉන් ඇමතිවරුන්ට සිය අමාත්‍යාංශවල ව්‍යාපෘති සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි කටයුතු කිරීම අහිමි වන බවය.

ඇමතිවරුන් ජනතා ඡන්දයෙන් පත්වූවන් බැවින් රටේ සංවර්ධනය ව්‍යාපෘති නිලධාරි කමිටුවකින් අනුමත කිරීම පිටුපස වෙනත් අයගේ අරමුණු ඇති බව මේ ඇමැති දෙපළ ප්‍රකාශ කර තිබෙන්නේ ඒ පිටුපස බැසිල් රාජපක්ෂ මහතා සිටින බවත් මේ ව්‍යාපෘති ඔහු යටතේ ඇති ආර්ථික කළමනාකරණ කමිටුව යටතට පත් කර ගැනීමේ උවමනාව මත යන සැකය මත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ඇමති දෙපළගේ විරෝධය මත ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ගැන පමණක් මෙම කමිටුවෙන් තීරණ ගැනීමට එකඟ වී තිබේ.

එක් කැබිනට් මණ්ඩල රැස්වීමක ඉදිරිපත් වන කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් පසු ඒවා අනුමත කිරීම සිදුවන්නේ ඊලග කැබිනට් මණ්ඩල රැස්වීමේදී වීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර ඒ අනුව එම කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ මාර්තු 2 වැනිදා ය.

එදින කැබිනට් මණ්ඩල රැස්වීමට විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගී වී නොමැති අතර ගම්මන්පිල අමාත්‍යවරයාද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වූ කාර්යාලයෙන් මදකට ඉවතට ගොස් ඇති අවස්ථාවේ හදිසි යෝජනාවක් ලෙස මෙහි මුල් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති අතර සංශෝධනවලින් තොරවම එය සම්මත වී තිබේ.

ඒ අනුව සියළු අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා මහා භාණ්ඩාගාරය යටතේ පවතින කමිටුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබේ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇතැයි ගුවන් විදුලි නාලිකාව වෙබ් අඩවියක සඳහන් කර තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේදී බව එම ප්‍රවෘත්තියේ දැක්වේ.

කෙසේ වෙතත් මෙම පුවත අසත්‍යයයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා සදහන් කරයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් ගුවන් විදුලි නාලිකාවක සඳහන් කර ඇති විශේෂාංගයෙහි පළව ඇති “සජිත් විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේ දී” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බවයි.

එම නිවේදනය නිකුත් කරන්නේ විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි බවයි.මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ජායාරුපය, පෙරේදා මහරගම දැදිගම මුදලාලිගේ නිවසේ පැවති අවමගුල් උත්සවයකදී ගෙන ඇති ජායාරුපයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.  එම අවමගුල් නිවසට තමා සහභාගිව සිටියදී විපක්ෂ නායකවරයාද පැමිණ සිටි බවත් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේදී විපක්ෂ නායකවරයා හමුවූ කතාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද විමල් විරවංශ අමාත්‍යවරයා අවධාරණය කළේය. මේවන විට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතරද පසුගියදා හමුවක් සිදුව ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා අතර ඉතා සුහද මිත්‍රත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

Next Post

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟයට - කුලේ කවුදැයි දැනගන්න මෙන්න සුපිරි පොස්ට් 15ක්

Fri Mar 19 , 2021
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා  කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125 ක් රැස් කළ […]

Breaking News