80,000ක් ඉන්න ශ්‍රීලංකා පොලිසියේ රාජකාරි කරන කවුරුවත් නොදන්න 09 දෙනෙක් මෙන්න

අසූ දහසකට ආසන්න නිලධාරීන් පිරිසක් රාජකාරියේ යෙදෙන ශ්‍රී  ලංකා පොලිසිය තුළ උසස් වීම්, තානාන්තර හා වරප්‍රසාද භුක්ති විඳින්නන් සංඛ්‍යාව අති විශාලය. උසස්වීම් අහිමි වීම, තානාන්තර ප්‍රමාද වීම, වරප්‍රසාද නොලැබීම නිසා ඇතැම්  නිලධාරීන්ගෙන් නැඟෙන මැසිවිලිද ඒ හා සමානය.

තමන් සතු සුදුසුකම්, දක්ෂකම්, බාහිර ක්‍රියාකාරකම් මෙන්ම දේශපාලන අත පෙවීම් තම අනාගත අභිවෘද්ධිය උදෙසා මංමාවත් සකස්කර ගන්නා පිරිස්ද පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝය. 

මෙලෙස වරප්‍රසාද, උසස් වීම් ලැබූවද ඊටත් එහා දෑ ලබා ගැනීමේ අරමුණින් තමන්ට අසාධාරණකම්, අකටයුතුකම් සිදුවන බව කියමින් සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමට මාන බලන පිරිසක්ද පොලිස් දෙපාර්තමේන්තුවේ වෙති. 

එහෙත් අවධානයට හා නිසි සැලකිල්ලට ලක් නොවූ පිරිසක්ද නිහඬව නමුත් සිය රාජකාරිය මනා ලෙස ඉටු කරමින් සිටින බව කිවයුතුය. ඔවුන් නම් මෙතෙක් දෙපාර්තමේන්තුව තුළ ගෞරවයට, බුහුමානයට ලක්වී නැත.

මීට වසර ගණනාවකට පෙර මහ ඉහළින් වැජඹුණු මහ සැරයන්, ප්‍රධාන සැරයන් නොහොත් සාජන් මේජර් තනතුර මේ වනවිට කාගේත් අවධානයට ලක්වී නැති බව පවසන්නේද ඉතා කනගාටුවෙනි. මෙම තනතුර සඳහා අද මුළු ලංකාවම නියෝජනය කරන්නේ නිලධාරීන් 09 දෙනකු පමණක් බවත් වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථාන පිරිස් පාලන අංශයේ ප්‍රධානියකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ, දිවයින පුරා සාජන් මේජර්වරුන් 22ක් සිටි නමුත් මේ වනවිට ඔවුන්ගෙන් පිරිසක් විශ්‍රාම ගොස් හෝ උසස් වීම් ලැබ පිටව යෑම නිසා දැනට දිවයින පුරාම රාජකාරියේ යෙදෙන්නේ සාජන් මේජර්වරුන් නව දෙනකු පමණක් බවය. 

මෙහි විශේෂත්වයක් වනුයේ 2019 වසරේ පුහුණුව ලබා පිටව ගිය සාජන් මේජර්වරුන්ගේ අනුඛණ්ඩයන්ගෙන් පසු මෙතෙක් ඒ තනතුරට බඳවා ගැනීමට අදාළව සම්මුඛ පරීක්ෂණයක් හෝ පවත්වා නොතිබීමය. එය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් විය යුත්තක් නොවේ දැයි සාජන් මේජර්වරුන් විමසන්නේ ඔවුන් ඒ තනතුරේ ඇති වටිනාකම දන්නා හෙයිනි. 

සාජන් මේජර් තනතුර සුළුපටු එකක් නොවේ. ඔවුන් සිය දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් කරන කැපවීම හා සේවය අතිමහත්ය. ඔවුන්ගේ පළපුරුද්ද, නිසි විනය හා මාර්ගෝපදේශකත්වය මත තවමත් අපේ පොලිසියේ අභිමානය රැඳී ඇති බව පැහැදිලිය.

කොස්තාපල්, සැරයන්, උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරි, පොලිස් අධිකාරි, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති, ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස්පති තනතුර කාගෙත් කතාබහට ලක්වුවද මහ සැරයන් හෙවත් ප්‍රධාන සැරයන් තනතුර කිසිවකුගේ අවධානයට ලක් නොවීම කනගාටුවට කාරණයකි. 

කොස්තාපල් තනතුර ස¼දහා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු පුද්ගලයකුට සැරයන් තනතුරට උසස් වීමෙන් අනතුරුව මෙම මහ සැරයන් නොහොත් සාජන් මේජර් තනතුරට ඉල්ලුම් කළ හැකිය. එහෙත් සැරයන් තනතුරුවල රාජකාරි කරන සෑම නිලධාරියකුටම ඊට සුදුසුකම් ලැබීමේ හැකියාවක් නැත.

අප මේ පිළිබඳව පොලිස් මූලස්ථාන පිරිස් පාලන අංශයෙන් කළ විමසීමකදී ලැබුණු පිළිතුරු මෙසේය.

 මහ සැරයන් හෙවත් සාජන් මේජර් තනතුර සඳහා ඉල්ලුම් කිරීම සඳහා අදාළ සැරයන්වරයා සුදුසුකම් රැසක් සපුරා තිබිය යුතුය. 

සැරයන් තනතුරේ ස්ථිරත්වය ලබා තිබීම මෙහි පළමු සුදුසුකමයි. සැරයන් තනතුරේ වසර තුනක කාලයක් සක්‍රියව රාජකාරි සම්පූර්ණ කිරීමද මේ සඳහා ඇති තවත් සුදුසුකමකි. එමෙන්ම එම නිලධාරියා අවම වශයෙන් පොලිස් සේවයේ වසර 10ක් සක්‍රිය රාජකාරියේ නිරත වූවකුද විය යුතුය. විශේෂ වැටුප් වර්ධක හැර වැටුප් වර්ධක තුනක් තම සේවා කාලය තුළ උපයාගෙන තිබිය යුතු අතර අනුමත කාර්ය සාධක ඇගයීම් පටිපාටියට අනුව උසස් වීමේ දිනට පෙරාතුව අනුගත වසර 03ක සතුටුදායක මට්ටමින් සිය කාර්යභාරය සම්පූර්ණ කළ යුතුය. 

නියමිත කාර්යක්ෂමතා කඩඉම් සමත් වී තිබීම මෙන්ම අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාවද ලබාගත යුතුය. එමෙන්ම අයැදුම්පත් කැඳවන අවසන් දින පූර්වාසන්න වසරක කාලයක් තුළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිට ඉන් සමත් වීමද සුදුසුකම් අතර වේ.

සාමාන්‍ය පොලිස් රාජකාරිවල යෙදෙන සැරයන්වරුන්ට හැර අතුරු හමුදා මූලික පුහුණු පාඨමාලා හදාරා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරුන්ටද මෙම මහ සැරයන් තනතුර සඳහා පෙනී සිටීමට හැකියාව ඇත.

මෙවැනි නීතිරීති සමුදායක් සපුරා සැරයන්වරුන් මෙම මහ සැරයන් (සාජන් මේජර්) තනතුරට ඉල්ලුම් කළද අදාළ විභාගවලින් අසමත් වන්නන්ද විශාලය. එමෙන්ම එම තනතුර ස¼දහා මූලික පුහුණුව ලැබීම පවා පහසු කටයුත්තක් නොවේ.

මේ නිසා බොහෝ සැරයන්වරුන් කෙළින්ම උප පොලිස් පරීක්ෂක තනතුර ස¼දහා ඉදිරිපත් වන අතර මහ සැරයන් නොහොත් සාජන් මේජර් තනතුරට තේරී පත්වන්නේ ඉතාමත් ටික දෙනෙකි. මෙම තනතුරේ මෙතෙක් රාජකාරි කළ මහ සැරයන්වරුන්ද මේ වනවිට උප පොලිස් පරීක්ෂක තනතුරට පත්ව ඊට ඉහළ නිලතලද හොබවමින් සිටින අතර මහ සැරයන් තනතුරේ තවමත් රැඳී සිටින්නේ නව දෙනකු පමණ කියති.

මෑතකදී උතුරු මැද පළාතේ අනුරාධපුර පොලිස් කොට්ඨාසයට අනුයුක්තව මෙවන් සාජන් මේජර්වරු දෙදෙනකු රාජකාරි කළද මේ වනවිට ඔවුහුද උප පරීක්ෂක තනතුරට උසස් වීම් ලැබ සිටිති. එහෙත් උප පරීක්ෂක තනතුරට සුදුසුකම් සපුරා තිබියදීත් සාජන් මේජර් තනතුරේම රැඳී සිටිමින් පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව හා පුහුණුව ලබාදීම වෙනුවෙන් කැපවී සිටින පිරිසක්ද සිටිති. ඒ දැනට දෙපාර්තමේන්තුව තුළ නොයෙකුත් පළාත්වල රාජකාරි කරන සාජන් මේජර්වරුන් 09 දෙනා පමණි.

මෙවන් රාජකාරියක යෙදෙන සුවිශේෂීි නිලධාරියකු පසුගියදා අපටද මුණගැසිණි. සුගත් ධර්මසිරි බණ්ඩාර නම් වූ ඔහු උතුරු මැද පළාතටම අද සිටින එකම සාජන් මේජර්වරයා වීමද විශේෂත්වයකි.

කොත්මලේ, මඩකුඹුර ප්‍රදේශයේ ඉපදුණු බණ්ඩාර යාය අට මහකලපොලවැව මයුරපාද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. ඉන් අනතුරුව ශිෂ්‍යත්වය සමත් වී මඩකුඹුර නු/ශ්‍රී  පරාක්‍රම මහා විද්‍යාලයට හා මල්දෙණිය මහා විද්‍යාලයටද, මැදිරිගිරිය විජයපුර මහා විද්‍යාලයටද ගියේය. නැවත මඩකුඹුර පරාක්‍රම මහා විද්‍යාලයට ඔහු පැමිණ ඇත්තේ උසස් පෙළ හැදැරීම සඳහාය.

ඉන් අනතුරුව පොලිසියට බැඳීමේ ආශාවෙන් ඔහු ඉල්ලුම්පතක් යොමු කළේය. 1989.06.15 දින තමයි මම පොලිස් සේවයට එක්වුණේ. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් කොස්තාපල් කෙනකු හැටියට පුහුණුව ඇරැඹුවා. මූලික පුහුණුව මාස 06යි. ඉන්පස්සේ මාස තුනක (ධ්.ර්ණී.ඊ.) විශේෂ පුහුණුව ලැබුවා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි 89/12/15 වැනිදා නුවරඑළිය කොට්ඨාසයේ ලඳුල පොලිසියට මුල්ම රාජකාරියට වාර්තා කළේ. ඒ පොලිසියේ අවුරුදු දෙකක්ම රාජකාරි කරලා ඉන්පස්සේ මැදවච්චිය පොලිසියට වාර්තා කළා.”

සාජන් මේජර් බණ්ඩාර සිය පොලිස් රාජකාරිය ඇරැඹුණු ආකාරය පැහැදිලි කළේ එසේය. මැදවච්චියෙන් පසු මැදිරිගිරිය, මාවනැල්ල, හිඟුරක්ගොඩ, වැලිකන්ද, අනුරාධපුර උඩමළුව, පොළොන්නරුව, වවුනියාව, කන්තලේ ආදී පොලිස් ස්ථානවල සේවය කළ ඔහු මේ වන විට පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ මහ සැරයන්වරයා ලෙස රාජකාරියේ යෙදී සිටියි. කොස්තාපල්වරයකු ලෙස ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූයේ තවත් නිලධාරීන් 297ක් සමඟිනි. ඒ අතරින් ඔහු සමඟ 54 දෙනෙක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූහ.

මෙලෙස වසර 16ක් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කළ බණ්ඩාර නියමිත සුදුසුකම් සපුරා පොලිස් සැරයන්වරයකු ලෙස 2006.01.01 දින උසස් වීම් ලැබීය.  ඔහු ඉන් අනතුරුව රාජකාරි කළේ පොලිස් රථ වාහන ඒකකයට අනුයුක්තවය.

“සාජන් තනතුරට ස්ථිර වුණාට පස්සේ සාජන් මේජර් තනතුරට සුදුසුද බලන්න පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ විභාගයක් පැවැත් වුණා. ඒකට විශාල පිරිසක් ඉදිරිපත් වුණා. මේ විභාගයෙන් සමත් වුණේ නිලධාරීන් 62යි. ඒ අතරිනුත් සැරයන්වරියන් දෙන්නකුට සාජන් මේජර් තනතුර ලැබුණේ නැහැ. එතෙක් කල් සැරයන්වරියන්ට මේ තනතුර ලබාදීලා තිබුණේ නැහැ. පස්සේ අපි 60 දෙනා පී.ටී.එස්. එකේ පුහුණු වුණා. දිගටම තිබුණේ පුහුණු වීම්. අපිට මුලින් ලැබුණේ පුහුණු උපදේශක හැටියට රාජකාරි කරන තනතුරක්. 2014 මැයි මාසයේ ඉඳලා 2019 දක්වා අපි මේ අමාරු දුෂ්කර පුහුණුව ලැබුවා. 

මේ පුහුණුව වැඩියෙන්ම ලැබුණේ පෙළපාළි පුහුණු උපදේශක තනතුර සඳහායි. මුලින් මාස 03ක පුහුණුවක් දීලා පස්සේ කොට්ඨාසවලට දැම්මා. පෙළපාළි පුහුණුවට මට වඩා ඉහළ තනතුරුවල නිලධාරීනුත් සහභාගි වුණා. කොස්තාපල්, සැරයන්, උප පරීක්ෂක වගේ අයට තමයි මම වැඩිපුරම පුහුණුව දුන්නේ.

පොලිස් නිලධාරියකු මියගියාට පස්සේ ඔහු වෙනුවෙන් පවත්වන අවමංගල්‍ය පෙළපාළිය සම්පූර්ණයෙන්ම පුහුණු කරලා මෙහෙයවන්නේ සාජන් මේජර් විසිනුයි. ඒක ලීඩ් කරන්නේ සාජන් මේජර්. 

මීට අමතරව අවි හඳුනා ගැනීම, අවි පුහුණු කිරීම, කැරලි මර්දන කණ්ඩායම් පුහුණු කිරීම, අවි ගබඩ පරීක්ෂා කිරීමද සාජන් මේජර්ගේ වගකීමකි. 

පොලිස් කොට්ඨාසවල තියෙන මාසික පරීක්ෂණ, අර්ධ වාර්ෂික පරීක්ෂණ, වාර්ෂික පරීක්ෂණ ආදියට සහභාගි වීමටද සාජන් මේජර්වරයාට හැකියාව ලැබෙනවා. දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කොට්ඨාස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග පරිදි පොලිස් ස්ථානවල තියෙන (අවි ගබඩා) පරීක්ෂා කිරීමේ නීතිමය බලය තියෙන්නේ සාජන් මේජර්වරයාටයි.

ඒ හැම අවි ගබඩාවකම හැම අවියක්ම, පතරොම නිසි පරිදි ගබඩාවෙලා තියෙනවද, කෙතරම් අවි ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවද, ඒවාට අදාළ සටහන් මොනවාද යනාදිය කිරීමේ සම්පූර්ණ බලය 1972.02.01 දිනැති චක්‍රලේඛයෙන් සාජන් මේජර්වරයාට පැවරී තිබෙනවා.

ඒ නිසා කිසිම පරීක්ෂණයකදී සාජන් මේජර් කෙනෙක් නැතිව අවි ගබඩාවක් පරීක්ෂා කෙරෙන්නේ නැහැ. පරීක්ෂාවෙන් පසු එස්.එස්.පී.ට වාර්තාවක් භාරදීමේ වගකීමක් සාජන් මේජර්ට පැවැරිලා තියෙනවා.

ඒ වගේම පොලිස් ස්ථානවල තියෙන අවි ගබඩාවේ කොච්චර අවි අස්ථානගත වෙලා තියෙනවද, ඒවා ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පවත්වාගෙන යන මධ්‍යම අවි ගබඩාවට භාරදීලා තියෙනවාදැයි සොයා බලා දින තුන-හතරක් ඇතුළත වාර්තාව දෙන්නෙත් සාජන් මේජර් තමයි.

සමහර අවි ගබඩාවල යුද්ධ කාලයේ පාවිච්චියට ගත්ත බර අවිත් තියෙනවා මම දැකලා තියෙනවා. ඒවා භාර දෙන්න පියවර ගන්නවා. ඒ වගේම අවියක් අස්ථාන ගත වෙලානම් ඒ බවත් දැනුම් දෙන්නත් ඕනෑ.”

සෑම පොලිසියකටම කැරලි මර්දන ඒකකයක් පිහිටු වීම සාජන් මේජර්වරයකුගේ වගකීමක් බවද ඔහු කියයි. අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කැරලි මර්දන ඒකකය සඳහා සුදුසු යැයි නිර්දේශ කරන නිලධාරීන්ට ඒ සඳහා පුහුණු වීම් ලබාදීම සාජන් මේජර් විසින් සිදු කෙරෙන බව හෙතෙම සඳහන් කළේය. 

“මම රාජකාරි කරන්නේ උතුරු මැද පළාතට අනුයුක්තව පොළොන්නරුව පොලිස් කොට්ඨාසයේ. ඒ කොට්ඨාසයේ හැම පොලිසියකම මේ වගේ ඒකකයක් පිහිටුවලා තියෙනවා. කොට්ඨාසයේ පොලිස් ස්ථාන 09ක් තියෙනවා. ඒ හැම ඒකකයක්ම පුහුණු කළේ මගේ නායකත්වය යටතේ.

ඒ වගේම නිලධාරීන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කිරීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සොයා බැලීම, ප්‍රථමාධාර පුහුණුව ලබාදීම මේ සාජන් මේජර්ගේ වගකීමක්. 

හැම පොලිසියකටම මේ වගේ ප්‍රථමාධාර කණ්ඩායම් හදලා පුහුණු කරලා වසර 10ක් ගියාම නිලධාරීන්ට ප්‍රථමධාර පදක්කම් පිරිනමනවා. 

ඒ වගේම පොළොන්නරුව කොට්ඨාසයේ සෑම අර්ධ වාර්ෂික පරීක්ෂණවලදී නිලධාරීන් පෙළපාළිවලට සූදානම් කිරීමත් මගේ වගකීමක්. පෙළපාළිය පරීක්ෂා කිරීම, පැවැත් වීම නිලධාරීන්ගේ නිල ඇඳුම පරීක්ෂා කර වාර්තා කිරීම මම විසින් කළ යුත්තක්.

කොට්ඨාසයේ නිලධාරියකු වීර වික්‍රමාන්විත ලෙස මියගියහොත් ගෞරව ආචාර පෙළපාළියක්, වෙඩි මුර 21ක් සහිතව පැවැත් වීමත් සෑම සාජන් මේජර්ගේ වගකීමක්. ඒ වගේම විශ්‍රාමගිය නිලධාරියකු මියගිය අවස්ථාවකදී අදාළ පෙළපාළිය භාරව කටයුතු කරන්නෙත් සාජන් මේජර්.”

සාජන් මේජර් බණ්ඩාර පවසන අන්දමට ඔහු මේ වන විට සැරයන්වරුන් 300 දෙනකුට පුහුණුව ලබාදී තිබේ.

කන්තලේ කොට්ඨාසයේ පුහුණු උපදේශකවරයකු ලෙස රාජකාරි කළ කාලය තුළ ඔහු දින 21 පාඨමාලා 14ක් පවත්වා තිබේ. මේ අතර පොළොන්නරුව කොට්ඨාසයේ මෑතකදී උසස් වීම් ලැබූ සියලුම සැරයන්වරුන්ට පාඨමාලා කිහිපයක් යටතේ පුහුණුව ලබාදීමට ක්‍රියාකර ඇති මොහු තම රාජකාරිය දේවකාරියක් සේ සලකන බවද කියයි.

මෙතරම් වගකීම් සහිත භාරධූර රාජකාරියක් වන සාජන් මේජර් තනතුර අතහැර උප පොලිස් තනතුර සඳහා උසස්වීම ලැබ යෑමට ඔහු කැමැත්තක් නොදක්වයි. 

අපේ කණ්ඩායමේ හැට දෙනෙක් හිටියට දැන් මුළු ලංකාවටම ඉන්නේ නව දෙනයි. සාජන් මේජර්ලා වෙලා හිටපු දෙන්නෙක් මේ ළඟදී එස්.අයි. වුණා. මටත් ඒ තනතුරට යන්න පුළුවන්. ඒත් මම මේ රාජකාරිය ආශාවෙන් මම පුහුණුව ලැබුවෙත්්, ගොඩක් අමාරුවෙන්. මට පහළ නිලධාරීන්ටත් වගේම ඉහළ නිලධාරීන්ටත් පුහුණුව දීලා මම ලොකු සතුටක් ලබනවා.

හැම යුද හමුදා කඳවුරකම සාජන් මේජර් කෙනෙක් ඉන්නවා. ඒත් පොලිසියේ එහෙම නැහැ. දැන් ඉන්නේ 09යි. මේක හරි දුර්ලභ තනතුරක් නිසා හුඟාක් අය මේ තනතුරට කැමැති නැහැ.  කෙළින්ම එස්.අයි. වෙලා යන්න බලනවා. මගේ සහෝදර නිලධාරීන් 09 දෙනාත් මේ තනතුර දාලා යන්න කැමැති නැහැ. සමහර නිලධාරීන් උප පොලිස් පරීක්ෂක තනතුර ලැබිලත් ගියේ නැහැ.

තනතුරේ රාජකාරි කරද්දී හුඟාක් වෙහෙසෙන්න ඕනෑ. කැපවෙන්න ඕනෑ. මේක ගුරුවරයකුගේ රාජකාරියට සමානයි. මේ පුහුණුව තවත් නිලධාරියකුට දීලා මම ලබන ආත්මාභිමානය විශාලයි.

දෙපාර්තමේන්තුවේ ඉන්න සාජන් මේජර්ලා 09 දෙනා පැන්ෂන් ගියාට පස්සේ මේ තනතුරට කවුරුත් නැති වේවි. ඒ වගේම මේ තනතුර ගැන කාගෙත් අවධානයක් නැහැ. දෙපාර්තමේන්තුව මට්ටමිනුත් එහෙමයි. මාධ්‍යයක් වුණත් අද තමයි පළමු වතාවට කතා කළේ. අපි 09 දෙනා කරන සේවය නිසා තමයි පෙළපාළි පුහුණුව ආදිය තියෙන්නේ.”

මහ සැරයන් බණ්ඩාර පවසන අන්දමට ඔහු සමඟ පුහුණුව ලැබූ තවත් නිලධාරීහු කන්තලේ, මාතර, පානදුර, කුලියාපිටිය, කුණ්ඩසාලේ, ඇල්පිටිය හා ගල්කිස්ස යන  පොලිස් කොට්ඨාසවල රාජකාරි කරති. මෙම නිලධාරීන්ද උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇතත් තවමත් සාජන් මේජර් තනතුරේ රැඳී සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ යහපත පතාය.

 සාජන් මේජර් තනතුරේ රාජකාරි කරන තවත් කිහිප දෙනකුගෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් විමසුවෙමු. ඔවුන්ද පවසන්නේ සාජන් මේජර් තනතුර හැකියාවෙන් පිරුණු එකක් බවයි. කුලියාපිටිය පළාතට අනුයුක්තව රාජකාරි කරන මහ සැරයන් සෙනෙවිරත්න මහතා අද උප පොලිස් පරීක්ෂක තනතුරට පත්ව සිටියත් ඔහු පැවැසුවේ උප පරීක්ෂක තනතුරට වඩා මහ සැරයන් තනතුර ඉතා අගනා බවයි.

සාජන් මේජර් තනතුරට තේරුණු අන්තිම බැජ් එක තමයි අපේ බැජ් එක. ඒක තිබ්බෙත් අවුරුදු 23කට පස්සේ. නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහත්තයා තමයි මේ තනතුර දිගටම පවත්වා ගෙන යන්න ඕන කියලා කිව්වේ. ඒ වගේම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ඉදිරියේ දැනට ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේවර්ධන මහත්තයා විනාඩි 45ක්ම කතා කළා මේ සාජන් මේජර් තනතුර පොලිස් දෙපාර්තමේන්තුවේ තිබිය යුතුම තනතුරක් කියලා. මොකද ශ්‍රී  ලංකා පොලිසියේ විනය පවත්වාගෙන යෑම සඳහා සාජන් මේජර් තනතුර හා පුහුණුව ඉතා වැදගත් වෙනවා. මේ තනතුරට බලය ලැබිලා තියෙන්නේ පොලිස් ගැසට්වලින් චක්‍රලේඛ මඟින්.” උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Next Post

ඥාණාලෝක හිමියන්ගේ හදිසි අපවත්වීම ගැන ආනන්ද සාගර හිමියන් කියන කතාව

Mon Mar 8 , 2021
පූජ්‍ය පන්නල ඥාණාලෝක හිමි අපවත් වූයේ කො°විඩ් මර්දන එන්නත එන්නත් කිරීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් නිසා බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන්කරයි අපවත් වන විට උන්වහන්සේ 43 වැනි වියේ පසුවූ බව පෙන්වා දෙන ආනන්ද සාගර හිමියන් පන්නල ඥාණාලෝක හිමියන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් කළ බවද අවධාරණය කරයි. විශේෂයෙන්ම කවි […]

Breaking News